Thursday, May 2, 2024

ප්‍රගීත්, ලසන්ත ඝාතන, කීත් නොයර් පැහැර ගැනීම යනාදී ඝාතන පරීක්ෂන මෙහෙයවූ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉවත් කරයි!

(medialk) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (21) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි.

පොලිස් කොමිෂන් සභාව ගත් එම තීරණය අද(21) සවස්වරුවේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම් අත්සන් තැබූ අතර එය අද පස්වරුවේම පොලිස් මූලස්ථානයට ද යොමු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අබේසේකර මහතා ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර තිබේ.

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ. රතුපස්වල සිදුවීමට පමණක් මේ වන විට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

පසුගිය කාලේ දැඩි ආන්දෝලනයක් ඇති කළ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, බැඳුම්කර ගනුදෙනුව, විද්‍යා දැරියගේ ප්‍රධාන ඝාතකයාට රැකවරණය ලබා දීම වැනි තවත් විමර්ශන රැසක් ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු වෙයි.

මෑතකදී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේද ශානි අබේසේකර මහතා යටතේය.

මෙම හදිසි ස්ථාන මාරුව සිදු කරනු ලැබුවේ එම සංවේදී විමර්ශන අවුල් කිරීමට යැයි සැක සහිත බවට පොලිස් අභ්‍යන්තරයේ මේ වන විට කසුකුසුවක් ඇතිවී තිබේ.

ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය.

medialk.com

Archive

Latest news

Related news