Saturday, April 20, 2024

ජනපති මුක්තිය ගෝඨාභයට ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් නිදහස ගෙන එයි!

ජායාරූපය: ගෝඨාභය සිය පියාගේ කෞතුකාගාරය ඉදිරිපිට!

(ලංකා ට්රුත් 21/11/19) ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ හෝ සිවිල් නඩුවක් පවරා පවත්වාගෙනයාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම මත මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කොට ඇත.

සිද්ධියට අදාල නඩුව අද (21) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විනිසුරු මඬුල්ල මෙම නියෝගය සිදුකර තිබේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් නිකුත්කර තිබූ නියෝගයද අවලංගුකර අධිකරණය භාරයේ පැවති විදෙස් ගමන් බලපත්‍රයද මුදාහරින ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නඩුවෙන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල කටයුතු කළේය.

එසේම මෙම නඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන් සහ ඔවුන් තැන්පත් කර තිබූ ඇප මුදල් ද මුදාහරින ලෙස නියෝග කර ඇත.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම නඩුව විභාගය ගැනීම වලක්වා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි පරිශ්‍රමයක් දැරූ අතර ඒ අසඳහා අවස්ථා කිහිපයකදීම ඉහළ අධිකරණවලින් අතුරු තහනම් නියෝග ඉල්ලා සිටින ලදී. ඒ අනුව මේ වනවිටත් එම නඩුවේ සාක්ෂි විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ලබන දෙසැම්බර් 20දක්වා අත්හිටුවා තිබෙන අතර තමන්ගේ මෙම නඩුව විභාග වීම වලක්වා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම දෙසැම්බර් මස 10 වන දා විභාගයට ගන්නා බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය ඔක්තොම්බර් 11 වනදා තීරණය කර තිබිණි.

තමන් මෙලෙස අවභාවිතා කළ මුදල යළි අදාළ ආයතනය වෙත භාර දුන් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා මීට කලකට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබූ අතර ඔහුගේ එම ප්‍රකාශයම ඔහු ඊට වරදකරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂියක්ද වන අතර ජනාධිපතිවරයාගේ ජනාධිපති මුක්තිය යටතේ ඔහු එම නඩුවෙන් නිදහස් කර ඇත.

මෙහි අනෙකුත් විත්තිකරුවන් 06 දෙනා පිළිබඳව ලබන ජනවාරි 10 හෝ ඊට පෙර අධිකරණයට දැනුම්දෙන ලෙසද නියෝග කර ඇත.

Archive

Latest news

Related news