Thursday, March 28, 2024

රජයේ වෛද්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්න- මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)

ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීය දායකත්වය සැපයීමත් වාර්තා වන කරුණු අනුව ඔහු එවැනි මැදිහත්වීමක් කර ඇත්තේ වෘත්තිය සමිතිය නියෝජනය කරමින් වීමත් ඊට හේතු හැටියට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය යොමු කළ එම ලිපියේ සඳහන් වේ.

මෙම තත්ත්වය මත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන එහි සාමාජිකයන් ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරිවලට අනුයුක්තව සේවය කරන්නේ නම් එය දැඩිව සලකා බැලිය යුතු කරුණක් යැයි ද එම නිරීක්ෂණ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතාගේ අස්සනින් යැවූ එම ලිපියේ සඳහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා තම දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරියෙක්ය යන්න පසෙකලා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීයව සහභාගී වෙමින් සිටින බව දන්වමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය 25 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබුණි.

බිඟුන් මේනක ගමගේ/ ලංකාදීප

ඡායාරූපය සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි.

Archive

Latest news

Related news