Thursday, April 25, 2024

ජාතික ජන බලවේගය දිය කර හරින්න භීතිය තව තව වපුරලා, ඡන්ද කඩා ගන්න බලන උත්සාහයන් තියෙනවා – මහින්ද රත්නායක, වාමාංශික එක්සත් ‌පෙරමුණ

ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ අනතුරට හෙළා ඇති ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න කියලා විශාල භීතියක් මවලයි. ඇත්තට ම ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළපු බොහෝ සිද්ධීන් නිර්මාණය කළේ ඒ ගොල්ලෝ. සහරාන් වගේ අය බිහි කරමින්, ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමට මුලපිරුවේ ඒ ගොල්ලෝ. ඒක මර්දනය කරන්න ඡන්දය ඉල්ලන එක තේරුමක් නැති වැඩක්. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ කණ්ඩායම ඉල්ලන්නේ, ගෝඨාභය රාජපක්‍ෂ දරුණු පාලකයෙක් බිහි වීම පරාද කරන්න ඡන්දය දෙන්න කියලයි. සමාජයේ මනෝභාවය භීතියෙන් ඇළලී ගිය ගමන් ම ඒ සමාජයේ බිහි වන පාලකයන් දරුණු පාලකයන් බවට පත් වෙනවා. ජාතික ජන බලවේගය ඉල්ලා සිටින්නේ, එවැනි කවර හෝ කුරිරු පාලනයක් බිහි වීම වළක්වා ගැනීමට ජනතාව සවිබල ගන්වන ලෙසයි. මේවාගේ පාලකයන් සම්බන්ධ අනතුර වළක්වා ගන්න පුළුවන් වන්නේ සමාජය සංවිධානය කිරීමෙන් විතරයි. එක්දහස් නවසිය අසූවේ වැඩ වර්ජනයේ සිට බිඳවැටුණු මේ සමාජ ව්‍යාපාරය ගොඩනඟා ගැනීම සඳහායි අපි මේ සටනට අවතීර්ණ වුණේ. මේ වන විටත් එහි සාර්ථකත්වයක් ලබලා තියෙනවා. අපි මේ මැතිවරණ ව්‍යාපාරයට එන කොට ප්‍රධාන අපේක්‍ෂකයෝ දෙන්නයි හිටියේ. නමුත්, සති දෙකක් ඇතුළත තුන් කොන් සටනක් බවට පත් කරන්න හැකි වුණා. ජනතාව ඒ දක්වා පෙළගැස්වූවා. ඒ නිසා මේ බලවේගය ආපස්සට හරවන්න පුළුවන් එකක් නොවෙයි කියලා කවුරුත් පිළිගන්නවා.

මේ අවස්ථාවේ අපි කල්පනාකාරී විය යුතුයි. ජාතික ජන බලවේගය දිය කර හරින්න භීතිය තව තව වපුරලා, ඡන්ද කඩා ගන්න බලන උත්සාහයන් තියෙනවා. අපි කියන්නේ, ඒකාධිපති පාලකයෙක් එනවා නම්, ජනතාව නිඳිගන්වන පාලකයෙක් පිටිපස්සේ ගිහිල්ලා, ඒකට මුහුණ දෙන්න බැහැ. ජනතාව අවදි කරලා, එළියට ගන්න පුළුවන් නායකයෙක් ඕනෑ. ඒ වෙනුවෙන් බලවේගය මේ වෙන කොටත් අපි ගොඩනඟලා ඉවරයි. තව තවත් ශක්තිමත් කරන්න විතරයි තියෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂය ගෙනාපු සමාජආර්ථික වැඩපිළිවෙළ ම මහින්ද රාජපක්‍ෂලාත් ක්‍රියාත්මක කළා. ඒ නිසා විරුද්ධ පක්‍ෂයේ කාර්යභාරය ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් විතරයි. අර්ථසාධක අරමුදල පික්පොකට් ගහන්න ලෑස්ති වෙන කොට ඒකට විරුද්ධව කටුනායක කම්කරුවන් නැඟී සිට එය පරාජය කළා. ජාතික ආරක්‍ෂාවේ නාමයෙන් හමුදාව, පොලිසිය ශක්තිමත් කළත්, අවසානයේ ජනතාවට විරුද්ධව ඒවා යොදවනවා. රතුපස්වල දී සිද්ධ වුණේ ඒකයි. ඒ නිසා ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන ලෙසත්, අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවන ලෙසත් අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමට ජාතික ජන බලවේගය පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

28 දින බත්තරමුල්ල හි පිහිටි අවකාශ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පවත්වන ලද කතාව ඇසුරෙනි.  

 

 

Archive

Latest news

Related news