Saturday, May 4, 2024

ජනාධිපතිවරණ වාර්රතාකරණය සඳහා මැතිවරණ කොමිසමෙන් මාධ්‍ය උපමාන 31ක්!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන.

01. සෑම මාධ්‍ය ආයතනයක්ම සිය ප්‍රවෘත්ති සංග්‍රහය සහ දේශපාලන කටයුතු හා සම්බන්ධ වෙනත් වැඩසටහන් ප්‍රචාරය හෝ විකාශය කිරීමේ දී හෝ ප්‍රසිද්ධියට පත් කිරීමේ දී නිවැරදි, සමතුලිත සහ අපක්ෂපාති තොරතුරු ලබා දිය යුතු වේ. මැතිවරණ පැමිණිලි පිළිබඳ නිත්‍ය නියෝජිත කමිටුව සහ මාධ්‍ය උපමාන පිළිබඳ නිත්‍ය නියෝජිත කමිටුව, මාධ්‍යවල මධ්‍යස්ථ හා අපක්ෂපාතීත්වය පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කළ යුතු ය.
02. සෑම රූපවාහිනී මාධ්‍යයක්ම, ගුවන්විදුලි මාධ්‍යයක්ම සහ මුද්‍රිත මාධ්‍යයක්ම යම් මැතිවරණයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී මධ්‍යස්ථ සහ අපක්ෂපාතී විය යුතු වන අතර, තරග කරනු ලබන යම් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට අසාධාරණයක් සිදු නොවන පරිදි හා විශේෂ වාසියක් ඇති නොවන පරිදි දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට ගුවන්විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ගුවන් කාලය ලබා දීම හෝ ප්‍රවෘත්ති පත්‍රයක ඉඩ වෙන්කර දීම කළ යුතු වේ.
03. ප්‍රවෘත්ති පත්‍රවල කර්තෘ වාක්‍ය පිළිබඳ විද්‍යුත් මාධ්‍ය මගින් අදහස් දැක්වීමේ දී ව්‍යාකූල සහ පක්ෂපාතී වීමට ඉඩ ඇති බැවින් ප්‍රවෘත්ති පත්‍රවල කර්තෘ වාක්‍ය පිළිබඳ අදහස් නොදැක්විය යුතු ය. කර්තෘ මතයක් ප්‍රචාරය කිරීම, විකාශය කිරීම හෝ පළ කිරීම කරනු ලබන කවර හෝ අවස්ථාවක දී ඉන් අගතියට පත් පාර්ශ්වයට හා එම මතයට විරුද්ධව ඉදිරිපත් කරන කරුණු ප්‍රචාරය කිරීමට, විකාශය කිරීමට හෝ පළ කිරීමට අවස්ථාව ලබා දිය යුතු ය.
04. රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන හෝ නිවේදනය කරනු ලබන සෑම තැනැත්තකුම, පුවත්පත් වැඩසටහන්වල දී පුවත්පත් සිරස්තල සහ කාටුන් විස්තර ඉදිරිපත් කිරීමේ දී එක් පාර්ශ්වයක් ප්‍රවර්ධනය කරන හෝ තවත් පාර්ශ්වයකට අගතියක් ගෙන දෙන අයුරින් සිය පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු වේ.
05. යම් වැඩසටහනක්, අතිරේකයක් හෝ ප්‍රවෘත්ති අංගයක් මැතිවරණ නීති සහ මැතිවරණ කොමිෂන් සභාවේ මාධ්‍ය උපමානවලට අනුකූල නොවන්නේ නම් මැතිවරණ කාල සීමාව තුළ දී එවැනි පක්ෂග්‍රාහී වැඩසටහනක් හෝ අතිරේකයක් ප්‍රචාරය, විකාශය හෝ පළ නොකිරීම සියලු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති සහ කාලීන පුවත් අංශවල වගකීම වන්නේ ය.
06. මැතිවරණ කාලසීමාව තුළ දී යම් සිද්ධියක් හෝ සිදුවීමක් ආවරණය කරමින් ඒ පිළිබඳව කරුණු එක් අපේක්ෂකයකු විසින් සිදු කරන අදහස් දැක්වීම් සහිතව ප්‍රචාරය කිරීමේ දී, විකාශය කිරීමේ දී හෝ පළ කිරීමේ දී එම සිද්ධිය ගැන උනන්දුවක් හෝ සැලකිල්ලක් දක්වන හෝ එම කරුණු මගින් බලපෑමට ලක්විය හැකි වෙනත් යම් පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ද එම සිද්ධිය හෝ සිදුවීම පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු ය.
07. යම් මැතිවරණ කාලසීමාවක් තුළ ප්‍රචාරය හෝ විකාශය කරනු ලබන මැතිවරණයට සෘජුවම සම්බන්ධ වන යම් වාර්තාමය වැඩසටහනක් හෝ විශේෂ වැඩසටහනක් ප්‍රචාරය හෝ විකාශය කිරීමේ දී පිටපත් රචක, නිවේදක හා සංස්කාරකවරයාගේ නම් හෙළිදරව් කළ යුතු ය. එම තොරතුරු හෙළිදරව් නොකිරීමේ අයිතිය යම් මාධ්‍ය ආයතනයක් විසින් රඳවා තබා ගන්නේ නම්, එම අවස්ථාවේ දී එම වැඩසටහන භාරව සිටින නිලධරයා එම වැඩසටහනේ අන්තර්ගතය පිළිබඳ වගකීම භාරගත යුතු ය.
08. යම් මැතිවරණයක් තරග කරන අපේක්ෂකයකුට විරුද්ධව තහවුරු කළ නොහැකි නම් සහ නිරවද්‍යතාව ඔප්පු කළ නොහැකි චෝදනා, යම් වැඩසටහනක දී හෝ ප්‍රවෘත්ති විකාශය අතරවාරයේ දී ප්‍රචාරය හෝ විකාශය කිරීමෙන් සියලු මාධ්‍ය ආයතන වැළකී සිටිය යුතු ය. තමන් සම්බන්ධයෙන් වෙනත් අපේක්ෂකයකු හෝ ආධාරකරුවකු විසින් කරන ලද ප්‍රකාශයක් අසත්‍ය හෝ අගතිදායක බවට යම් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයකු කියා සිටින්නේ නම් එම ප්‍රකාශයට විරුද්ධව කරුණු දැක්වීමට එකී පක්ෂයට, ස්වාධීන කණ්ඩායමට හෝ අපේක්ෂකයාට අවස්ථාවක් ලබා දිය යුතු ය.
09. යම් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කරන හෝ අගතියට පත් විය හැකි ආකාරයේ යම් රාජකාරි උත්සවයක් හෝ අවස්ථාවක් ආවරණය කරමින් අපරාධයකට සම්බන්ධ වන්නා වූ යම් ප්‍රවෘත්තියක් හෝ වැඩසටහනක්, එම ප්‍රවෘත්තිය හෝ වැඩසටහන මැතිවරණයකට සම්බන්ධ නොවූව ද, සෑම මාධ්‍ය ආයතනයක්ම එම ප්‍රවෘත්තිය හෝ වැඩසටහන පළ කරනු ලබන්නේ නම්, එහි නිරවද්‍යතාව තහවුරු කරගැනීම සඳහා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ද කරුණු විමසා සිටිය යුතු ය.
10. ඡන්ද විමසීම් කාලසීමාව තුළ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ යම් අමාත්‍යවරයකු විසින් මත හෝ අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක් ගුවන්විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ආවරණය කරන ලද අවස්ථාවක, එය එම තැනැත්තා අයත්වන දේශපාලන පක්ෂයට දෙන ලද ආවරණයක් ලෙස සැළකිය යුතු ය. එහෙයින් එම මැතිවරණය තරඟ කරන යම් ප්‍රතිවාදී දේශපාලන පක්ෂයක නායකයකුට ද වැඩසටහන්වල දී ඒ හා සමාන අවස්ථාවක් ලබා දිය යුතු ය. මුද්‍රිත මාධ්‍ය ද ඒ අයුරින් ම විශේෂ සාකච්ඡා පළ කිරීමේ දී සහ ප්‍රචාරක රැස්වීම් වාර්තා පළ කිරීමේ දී සියලු දේශපාලන පක්ෂවලට, ස්වාධීන කණ්ඩායම්වලට හා අපේක්ෂකයින්ට සමාන ඉඩක් හා ප්‍රමුඛතාවක් ලබා දිය යුතු ය.
11. යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් හෝ වෙනත් අපේක්ෂකයකු හට අගතියක් වන අයුරින් යම් අපේක්ෂකයකු වෙත විශේෂ හා වාසිදායක සැලකිල්ලක් දක්වා ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ ගුවන් කාලය හෝ ප්‍රවෘත්ති පත්‍ර ඉඩකඩ වෙන් කිරීම නොකළ යුතු ය.
12. මැතිවරණයක තරඟ වදින යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කෙරෙන අයුරින් හෝ වෙනත් යම් අපේක්ෂකයකු අගතියට පත්වන අයුරින් රාජ්‍ය නිලධාරීන් සමග පවත්වනු ලබන දේශන, සම්මුඛ සාකච්ඡා හා වෙනත් වැඩසටහන් ප්‍රසිද්ධියට පත් කිරීම හෝ පළ කිරීම හෝ විකාශය කිරීම ඡන්ද විමසීම් කාලසීමාවේ දී නොකළ යුතු ය.
13. කණ්ඩායම් සාකච්ඡා සඳහා සහභාගිවන්නන් තෝරාගැනීමේ දී සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන සහභාගිවන්නන්ගේ සංයුතිය තුලනය වන ආකාරයෙන් සාධාරණ ලෙස කටයුතු කළ යුතු ය. වැඩසටහනකට සහභාගි වන යම් තැනැත්තකු ප්‍රවීණත්වයක් නොදක්වන යම් භාෂාවක් යොදා ගනිමින් එම සහභාගිවන්නාට අගතියක්වන ආකාරයට වැඩසටහන මෙහෙයවීමෙන් යම් මාධ්‍ය ආයතනයක් වැළකිය යුතු ය. සහභාගිවන්නන්ගේ සම්මුඛ සාකච්ඡා පළ කිරීමේ දී ද ඒවා එම තැනැත්තා ප්‍රවීණත්වය දක්වන භාෂාවෙන් පළ කළ යුතු ය. අපැහැදිලි හෝ තේරුම් ගැනීමට අපහසු ප්‍රශ්න හරහා ලබා ගන්නා තොරතුරු පළ නොකළ යුතු අතර, එවැනි ප්‍රශ්න කිසිවිටෙකත් නොඇසිය යුතු ය. සදාචාර විරෝධී හෝ ආගමික සංහිඳියාවට හෝ වාර්ගික සමගියට හානි වන ආකාරයේ ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසට සහභාගිවන්නන්ට වැඩසටහනක් ආරම්භයේ දී ම දැන්විය යුතු අතර, සාකච්ඡාව අතරතුර දී එවැනි ප්‍රකාශ කරනු ලැබුවහොත් වැඩසටහන වහාම නැවැත්විය යුතු ය. සදාචාර විරෝධී හෝ ආගමික සංහිඳියාවට හෝ වාර්ගික සමගියට හානිදායක නොවන අයුරින් හා මැතිවරණ නීතිවලට අනුකූලව ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න හා යෝජනාවලට සමාන අවස්ථා ලබා දිය යුතු ය. එවැනි වැඩසටහනක් මෙහෙයවනු ලබන සෑම තැනැත්තෙකුම සමබර නොවන්නා වූ එවැනි යම් වැඩසටහනක් සම්බන්ධයෙන් වගකිව යුතු ය.
15. යම් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයක සභාපතිවරයකු, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයකු, අධ්‍යක්ෂවරයකු හෝ මාධ්‍යවේදියකු දේශපාලන කටයුතුවල ක්‍රියාකාරීව නිරතව සිටී නම් සහ සමබර ප්‍රවෘත්ති, ප්‍රචාරයට හෝ පළ කිරීමට එමගින් බැඳියාවන් අතර ගැටීමක් ඇතිවන අවස්ථාවක, එකී තැනැත්තා විසින් පහත සඳහන් කරුණු ආයතනයේ කළමනාකාරීත්වයට ලිඛිතව දැනුම් දිය යුතු ය.
(අ) එම පුද්ගලයාගේ දේශපාලන ක්‍රියාවල මැදිහත්වීමේ ස්වභාවය
(ආ) ආයතනයෙහි එම පුද්ගලයා දරන තනතුරු, සහ
(ඇ) වැඩසටහන් සංවිධානය කිරීමේ දී හෝ මෙහෙයවීමේ දී එම පුද්ගලයාගේ මැදිහත්වීමේ ප්‍රමාණය.
16. යම් පිළිගත් දේශපාලන පක්ෂයකට කිසියම් නිලයක් දරන යම් තැනැත්තකු මාධ්‍ය ආයතනයක සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ප්‍රධාන විධායක හෝ ප්‍රධාන කර්තෘ වැනි ප්‍රමුඛ තනතුරක් දරන විට දී එකී තැනැත්තා යම් මැතිවරණයක අපේක්ෂකයකු වන්නේ නම් හෝ ඔහුගේ පක්ෂය යටතේ සෘජුවම හෝ පිළිගත් සන්ධානයකින් හෝ මැතිවරණයේ දී තරඟ කරයි නම් හෝ එම තැනැත්තා මාධ්‍ය ආයතනයේ තමාට පැවරී ඇති කටයුතු ක්‍රියාකාරීව කිරීමෙන් වැළකී සිටිය යුතු ය.
තව ද, එකී තැනැත්තා මැතිවරණ අපේක්ෂකයකු වන්නේ නම් හෝ මැතිවරණයක දී තරඟ කරන පක්ෂයක ප්‍රධාන නිලයක් දරන තැනැත්තකු වන්නේ නම් ඔහු රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවක දේශපාලනමය ස්වභාවයේ වැඩසටහන් මෙහෙයවීමෙන් වැළකී සිටිය යුතු අතර, මුද්‍රිත මාධ්‍යයක් සම්බන්ධයෙන්වන විට, එකී මාධ්‍ය හරහා දේශපාලනමය ලිපිලේඛන පළකිරීමෙන් වැළකී සිටිය යුතු ය.
17. යම් මාධ්‍ය ආයතනයක් විසින් කරන සාකච්ඡාවකට හෝ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවීම, දේශපාලන පක්ෂයක යම් තැනැත්තකු විසින් හේතු නොදක්වා ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක, එසේ සහභාගී නොවීම තහවුරු කිරීම සඳහා එම මාධ්‍ය ආයතනය විසින් හිස් පුටුවක් ප්‍රදර්ශනය කිරීම හෝ එවැනි ජවනිකාමය තත්ත්වයක් නිර්මාණය කිරීම නොකළ යුතු ය. සහභාගීවන්නා නොපැමිණීම සම්බන්ධව සෘජු හා සරල නිවේදනයක් කිරීම යෝග්‍ය වේ.
18. ඡන්දයක මත විමසුමක ප්‍රතිඵල විකාශය කරන විද්‍යුත් මාධ්‍යයක් හෝ එය පළ කරන මුද්‍රිත මාධ්‍යයක් එම මත විමසුම පවත්වන ලද සංවිධානයේ නම හෝ එම කාර්යය පවරන ලද හා ඒ සඳහා මුදලින් ප්‍රතිපාදන ලබාදුන් ආයතන හෝ තැනැත්තාගේ නම ඒ සඳහා යොදා ගන්නා ලද ක්‍රමය, නියදියේ ප්‍රමාණය, දෝෂ සීමාව සහ ක්ෂේත්‍රයේ සමීක්ෂණය කළ කාලසීමාව සඳහන් කළ යුතු ය. තව ද, එම මත විමසුම පවත්වන ලද අවස්ථාවේ පැවැති මහජන මතය පමණක් එයින් පිළිබිඹුවන බව විකාශක හෝ ප්‍රකාශක විසින් සඳහන් කළ යුතුය.
19. යම් අපේක්ෂකයකු විසින්, තමා අයත් නොවන වෙනත් යම් පක්ෂයක හෝ කණ්ඩායමක හෝ අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා යම් ප්‍රකාශ කරනු ලබන අවස්ථාවක එම ප්‍රකාශ විකාශය කිරීම මගින් ඒවාට ප්‍රසිද්ධියක් ලබා නොදිය යුතු ය.
20. මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිත අවසරයක් නොමැතිව යම් ඡන්ද මධ්‍යස්ථානයක් තුළ හෝ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් තුළ ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීමෙන් වැළකී සිටීමට මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම තැනැත්තන් ක්‍රියා කළ යුතු ය. අනවසරයෙන් ලබා ගන්නා යම් ඡායාරූපයක් හෝ වීඩියෝ දර්ශනයක් පුවත්පත්වල පළ කිරීම, විකාශය කිරීම හෝ කවර හෝ මාධ්‍යයකින් ප්‍රසිද්ධ කිරීම නොකළ යුතු ය. මැතිවරණ කොමිෂන් සභාවේ අවසර ලබා ගැනීමෙන් පසුව ලබා ගන්නා ලද ඡායාරූප සහ දර්ශන පවා පළ කිරීම හෝ විකාශය කිරීම කළ යුත්තේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව ය.
21. මැතිවරණ දිනයට පෙරාතුව විකාශය කරන ලද, ප්‍රචාරය කරන ලද හෝ පළ කරන ලද යම් අපේක්ෂකයකු විසින් මෙහෙයවනු ලැබූ හෝ අපේක්ෂකයකු පෙනී සිටි, යම් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරන හෝ අගතියට පත් කරන යම් වෙළඳ දැන්වීමක්, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්, විනෝදාත්මක වැඩසටහනක්, සංවර්ධන කටයුතු හෝ එවැනි ක්‍රියාකාරකම් හා සම්බන්ධ වැඩසටහනක්, චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක්, සංගීත ප්‍රසංගයක් හෝ එවැනි ස්වභාවයක වෙනත් යම් වැඩසටහනක් ඡන්ද විමසීමේ දිනට පෙරාතුවම පවතින නිහඬ කාලසීමාව තුළ දී විකාශය කිරීම, ප්‍රචාරය කිරීම හෝ පළ කිරීම නොකළ යුතු ය. ප්‍රචාරක කටයුතු අතරවාරයේ දී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති සහ ලබා දුන් පොරොන්දුවල හොඳ නරක පිළිබඳව කල්පනා කර බැලීමට හා සලකා බැලීමට ඡන්ද දායකයාට හැකිවන පරිදි නිහඬ වාතාවරණයක් ඡන්ද විමසීම් දිනයට පෙර පැවතීම වැදගත් ලෙස සැලකෙන බැවිනි.
22. සෑම මාධ්‍ය ආයතනයක්ම ආගමික විශ්වාස, ඇදහිලි, කථන භාෂා, වාර්ගිකත්වය, චාරිත්‍ර හා කුල ගෝත්‍ර ඇතුළු විවිධ හේතු පදනම් කර ගනිමින් ශ්‍රී ලාංකික ජනතාව තුළ වෛරය හා නොඉවසනසුලු බව ඇති වන හෝ ඇති කරවන ආකාරයට ප්‍රචාරක කටයුතු විකාශය කිරීම, ප්‍රචාරය කිරීම හෝ පළ කිරීමෙන් වැළකිය යුතු ය.
23. සෑම මාධ්‍ය ආයතනයක්ම, සමාජය තුළ හෝ  දේශපාලන ක්‍රියාකාරීන්  අතර වෛරී සහගත දේශපාලනයක්  ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු විකාශය කිරීමෙන් , ප්‍රචාරය කිරීමෙන් හෝ පළ කිරීමෙන් වැළකිය යුතු ය.
24. සෑම මාධ්‍ය ආයතනයක්ම, යම් අපේක්ෂකයකු හෝ ආධාරකරුවකු විසින් වෙනත් පක්ෂයක අපේක්ෂකයකු සම්බන්ධයෙන් අතීතයේ දී කරන ලද ප්‍රකාශයක් එම ප්‍රකාශය කරනු ලැබූ තැනැත්තාගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව නැවත පළ කිරීමෙන් හෝ නැවත විකාශය කිරීමෙන් වැළකිය යුතු අතර, තමා විසින් පෙර දී කරන ලද ප්‍රකාශය නැවත ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අදාළ ප්‍රකාශක විසින් කරනු ලබන ඉල්ලීමකට ගරු කළ යුතු ය.
25. කවර හෝ මාධ්‍ය ආයතනයක් නිර්නාමික දැන්වීම් හෝ ප්‍රචාරණ හෝ ව්‍යාජ තැනැත්තන් හෝ සංවිධානවල නම් යටතේ කරනු ලබන දැන්වීම් හෝ ප්‍රචාරණ ආවරණය නොකළ යුතු ය. ඒ සම්බන්ධයෙන් වන වගකීම අදාළ මාධ්‍ය ආයතන වෙත පැවරේ.
26. අවස්ථාවෝචිත පරිදි යම් ප්‍රකාශ හෝ ප්‍රවෘත්ති පළකරන, විකාශය කරන හෝ ප්‍රචාරය කරන යම් මාධ්‍ය ආයතනයකට සහ එම ප්‍රවෘත්ති හෝ ප්‍රකාශ කියවනු ලබන යම් තැනැත්තකුට යම් අසත්‍ය ප්‍රකාශයක් හෝ ප්‍රවෘත්තියක් පළ කිරීම , විකාශය කිරීම
හෝ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සමාන වගකීමක් පැවරෙන අතර, ඒ සම්බන්ධයෙන් වන නීති කෘත්‍යවලට ද ඔවුන් යටත් විය යුතු ය.
27. මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූල වීම සහ ඒවායින් බැදී ක්‍රියා කිරීම සෑම විද්්‍යුත් දස මුද්‍රිත මාධ්‍ය ආයතනයකම වගකීම වන්නේ ය.
28. සියලු රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් යම් දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කරනු පිණිස රාජ්‍ය දේපළ හා අරමුදල් යොදා ගැනීමෙන් සහ රාජ්‍ය ආදායමට අලාභ සිදුවන හෝ යම් ආයතනයකට හානි වන ක්‍රියාවකින් වැළකිය යුතුය. මධ්‍ය උපමාන කඩකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති දඬුවම්වලට අතිරේකව වගකිව යුතු තැනැත්තන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත හැකි ය.
29. සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් මෙම මාධ්‍ය උපමානවලින් බැඳී ක්‍රියා කළ යුතුවන අතර, අදාළ ආයතන එම උපමානවලට අනුකූලව ක්‍රියාත්මක වන බවට වගබලාගත යුතු ය.
30. යම් මැතිවරණ කාලසීමාවක් තුළ දී, මෙම මාධ්‍ය උපමානවලට අනුකූලව කටයුතු කිරීම සමාජ වෙබ් අඩවි හිමිකරුවන් හා සමාජ වෙබ් අඩවි පරිපාලකවරුන්ගේ ද කේබල් රූපවාහිනි නාලිකා හිමිකරුවන්ගේද වගකීම වන්නේ ය.
31. මෙම මාධ්‍ය උපමානවලින් බැඳීසිටීම මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ  හා සමාජ වෙබ් අඩවි පරිපාලකවරුන්  හා භාවිත කරන්නන්ගේ ද යුතුකමක් පමණක් නොව වගකීමක් ද වන්නේ ය. මක් නිසාද යත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙම මාධ්‍ය උපමානවලට අනුකූලව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන හෙයිනි.
32. මෙම මාධ්‍ය උපමානවල “ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව” යන්නෙන්, අවස්ථාවෝචිත පරිදි ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් හෝ පැවැත්වීම සඳහා ප්‍රකාශනයක් හෝ නියමයක් හෝ කරනු ලැබූ දිනයෙන් ආරම්භව, අවස්ථාවෝචිත පරිදි, ඒ ජනමත විචාරණයේ හෝ ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලබන දිනයෙන් අවසන් වන කාලසීමාව අදහස් වන්නේ ය.
33. මෙම මාධ්‍ය උපමානවලින් ආවරණය වන හෝ ආවරණය නොවන කරුණු සම්බන්ධයෙන් මුද්‍රිත, ගුවන්විදුලි, රූපවාහිනී හෝ අන්තර්ජාල/සමාජ ජාලා යන ඕනෑම මාධ්‍යයක් හරහා සිදු කෙරෙන ප්‍රකාශ, වාර්තා හෝ ප්‍රචාර මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ දිවයිනේ බලපැවැත්වෙන මැතිවරණ නීති හෝ වෙනත් ඕනෑම නීතියක් හෝ උල්ලංඝනය වේ නම් එවැනි ප්‍රකාශ, වාර්තා, හෝ ප්‍රචාර පළකිරීමෙන් හෝ විකාශය කිරීමෙන් වැලකී සිටිය යුතු ය.
34. අංක 2008/28 සහ 2017.03.03 වැනි දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය හා අංක 2048/1 හා 2017.12.04 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ.

Archive

Latest news

Related news