Friday, March 29, 2024

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනට හිටපු එල්ටීටීඊ සාමාජිකයකුට ජර්මනියේදී නඩු!

ඡායාරූපය: නඩුව විභාග වනු ඇත්තේ  අධි ආරක්ෂිත කලාපයක පිහිටි මෙම කලාපීය මහධිකරණයේ ය.Photo: Lichtgut / Max Kovalenko.

හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුට ජර්මන් පෙඩරල් නීතිපති දෙපාර්ථමේන්තුව නඩු පවරා තිබේ. ලබන ඔක්තෝබර් 16දා මෙම නඩුව ජර්මනියේ ස්ටුට්ග්‍රාට් නුවර කලාපීය මහාධිකරණයේදී නඩුව ආරම්භ වනු ඇත.

ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කරන ලද්දේ 2005 වර්ශයේ අගෝස්තු මාසයේදි ය. 1994 – 2001 දක්වාත් 2004 අප්‍රේල් මාසයේ සිට මිය යන තුරුත් ඔහු ලංකාවේ විදේශ ඇමැතිවරයා විය.

ඔක්තේබර් 16වනදා සැකකරුට චෝදනා පත්‍රය අසන්නට සලස්වා නිවැදිකරුද වැරදිකරුද කීමට අවස්ථාව ලබා දෙනු ඇත. මෙම චෝදනා පත්‍රය පිට 10 -15 විය හැකි යැයි අනුමාන කරන අතර නඩු දින 10-15 අතර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

යුද්ධාවසානයෙන් පසු ජර්මනියට පැමිණ ඇති සැකකරු එරට දේශපාලන රැකවරණ ලබා ඇති අතර ඔහු අත් අඩංඟුවට ගන්නා ලද්දේ පසුගිය ජනවාරියේදී Baden-Wuerttemberg හිදි ය.

අත් අඩංඟුවට ගෙන මාස 9යක් ඇතුළත නඩු පැවැරීමට ජර්මන් නීතිපති දෙපාර්ථමේන්තුව සමත් වි ඇතත් ශ්‍රි ලංකාවේ මෙවැනි සැකකරුවන් වසර 9ක් ගතවීත් නඩු නැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කරගෙන සිටින අවස්ථා තිබේ.

එමෙන්ම මෙම සැකකරුගෙන් තොරතුරු ලබා ගැනීම පිනිස වධහිංසා භාවිත කර ද නැත

තවද නඩුව පැවරෙන තුරු ඔහුගේ නම හෝ ඡායාරූප ප්‍රසිද්ධ නොකෙරේ. මෙරට දී නම් පොලිසිය අත් අඩංඟුවට ගන්නා විටම ඡායාරූප සහ නමගම යනාදී සියල්ල පුවත්පතවල පළවේ. නැත්නම් පොලිස් ප්‍රකාශකම ප්‍රසිද්ධියේ කියයි. නීතිය අනුව වැරදිකරුවකු වන තුරු සෑම පුද්ගලයකුම නිර්දෝශී වන බැවින් එළෙස නම් ගම් පළ කිරිම සදාචාරාත්මක නැත.

ජර්මනියෙහි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ගණනාවකටම ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයින් වී සිටීම යන චෝදනාව යටතේ නඩු ගණනාවක්ම පැවරී ඇතැයි ද දැන ගන්නට තිබේ.

මෙපරිද්දෙන්ම යුද අපරාධ සඳහා චෝදනා ලබා ඇති ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රධානීන් හෝ සෙබළුන් ජර්මනියට පැමිණිය හොත් ඔවුන් ද අත් අඩංඟුවට ගෙන නඩු පැවරෙනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි

මෙම පුවත පසුගිය සතියේ ස්ටුට්ග්‍රාට් පුවත් පතෙහි ච පළව තිබුණි. Stuttgarter-Zeitung.DE.

Archive

Latest news

Related news