එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පවසා තිබේ.

මේ පිළිබඳ වාර්තා කරන ‌ඩේලි නිවස් පුවත්පත කියන්නේ දිගටම අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ මහ ලේකම් ලෙස තබා ගන්නැයි රනිල් වික්‍රමසිංහ  කොන්දේසියක් පනවා ඇති බවයි.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ  24 රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී සජිත් ජනාධිපති අපේක්ෂකයා කිරිමේ එකඟතාවකට එළඹ ඇතැයි ලංකාදිප පුවත්පත වාර්තා කරයි. එහි මෙසේ ද සඳහන් ය.

”එක්සත්  ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, සංවර්ධන උපාය  මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ .

මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා අවශ්‍ය නම් තමා පක්ෂ නායකත්වයෙන් වුවද යාමට  සූදානම් බව පැවසී යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලුම දෙනා එම තිර තීරණයට විරෝධය දැක්වූ බවත් පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් ඉදිරියටත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන ලෙස ජේෂ්ඨ නායකයන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ අනුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස ඉදිරිපත්  කිරීම්ට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතාගේ පූර්ණ  එකඟතාව පළ වී ඇති අතර අනිද්දා [ 26 ] පැවැත්වෙන  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම යෝජනාව සම්මත කිරීමට ද තීරණය කර තිබේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතික පෙර පෙරමුණ නියෝජනය කරන පක්ෂ  නායකයන් ද මීට පෙර තීරණය කර තිබිණි.”

‌එසේ නමුත් සජිත්වාදී ‌වෙබ් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබා දීම පිනිස රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලදැයි කියන ‌ ‌කොන්දේසි තමා පිළිනොගන්නා බව සජිත් ප්‍රේ්මදාස ප්‍රකාශ කරන බවයි. මෙම කොන්දේසි ඩේලි මිරර් පුවත් පතෙහි පළ කර තිබේ.

නිව්ස් ටියුබ් වෙබ් අඩවිය මෙසේ වාර්තා කරයි,

”’එහෙම කොන්දේසි පැනවීමක් ගැන මේ දක්වා මට දැනුම් දීමක් කර නැහැ. එත් එක දෙයක් ගැන පැහැදිලිව කියන්න ඕන.  මම කිසිම දෙකට රටේ ආත්ම ගෞරවය, පක්ෂයේ හෝ පෙරමුණේ ආත්ම ගෞරවය, ඒවගේම මගේ ආත්ම ගෞරවය තුට්ටු දෙකකට විකුනලා වාසි ගන්න කෙනෙක් නෙමෙයි. ඉතිහාසයේ එහෙම අය ඉන්න ඇති. එත්, මේ සජිත් ප්‍රේමදාස එහෙම කෙනෙක් නෙමෙයි. 

කිසිම කොන්දේසියකට යටත්වෙන බාල වැඩ කරන්නේ නැහැ. එනිසා කොන්දේසිවලට යටත්වෙලා අපේක්ෂකත්වය ගන්න සජිත් ප්‍රේමදාස සුදානම් නැහැ. එක ස්ථිරයි.”

වික්‍රමසිංහට පක්ෂපාතිත්වය දක්වන ලංකා ඊ නිව්ස් කියන අන්දමට එකී කොන්දේසි මෙසේ ය:

1 එක්සත් ජාතික පක්ෂය පිළිගත් ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා මිස අත්තනෝමතික ප්‍රතිපත්ති වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක නොකිරීමට සජිත් ප්‍රේමදාස මහතා එකඟ විය යුතුය. ඔහුගේ ජනාධිපති අපේක්ෂක ප්‍රතිපත්ති මාලාව සකසන්නේ යෝජිත පෙරමුණ විසිනි.

2 ජනාධිපති අපේක්ෂකයා වූවද ජනාධිපති වූවද එක්සත් ජාතික පක්ෂයේ නිලතල වෙනස් නොකළ යුතුය. එනම් දැනට පක්ෂ සම්මේලන වලින් සම්මත වී ඇති එජාප නිලතල වේ.

3 දැනට පවතින අගමැති ධූරය වෙනස් නොකළ යුතුය.

මේ අතර ඒක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව 2015 ජනාධිපතිවරනයෙහි දි රාජපක්ෂ සමඟ ඒක් වූ තිස්ස අත්තනායක සජිත් ‌ප්‍රේමදාසට සහය දීමට එක්ව තිබේ.

”විවිධ හේතු මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස කල නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක විසින් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත  පිළිතුරු ලිපියක් යොමුකරමින් මේ බව සදහන් කර තිබේ .” (නිව්ස් ටියුබ්)

වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි වලට ප්‍රේමදාස එක නොවන්නේ නම් 26වන දින විධායක කමිටුවෙහි ඡන්ද විමසමකින් ජනාධිිපති අපේක්ෂකයා තෝරා ගනු ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි. එහෙත් රනිල් වික්‍රමසිංහ එවැනි ඡන්දයකට අකමැතිවනු ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එවැනි ඡන්දයකින් පරාජය වුවහොත් පක්ෂය තුළ ඔහුට කිසිදු තැනක් නැති විමට ඉඩ ඇති නිසා ය.