Sunday, May 19, 2024

වත්කම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් ඇමතිවරු 8 කට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පැමිණිලි කරයි.

2019 අගෝස්තු 20 වනදා වන විට කැබිනට් ඇමතිවරුන් 8 දෙනෙකු 2018/19 වර්ෂයට අදාලව සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ බවට දැක්වෙන තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පතෙහි කරුණු උපුටා දක්වමින්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද (10) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

වත්කම් හා බැරකම් ප්‍රකාශන නීතියෙහි 4(a)(¡¡) කොටසට අනුකුලව සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු වේ. කෙසේ වුවද, TISL ආයතනය විසින් 2019 අගෝස්තු 28 දින ඉදිරිපත් කරන ලද RTI ඉල්ලුම්පතට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා සිටියේ,2019 අගෝස්තු 20 වන දින වන විටද කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකු තම වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කර නැති බවයි.

ගරු නවීන් දිසානායක, ගරු හරින් ප්‍රනාන්දු, ගරු මනෝ ගනේෂන්, ගරු එම්.එච්.ඒ හලීම්, ගරු අඛිල විරාජ් කාරියවසම්, ගරු රවී කරුණානායක, ගරු ගයන්ත කරුණාතිලක සහ ගරු සජිත් ප්‍රේමදාස මෙම අමාත්‍යවරුන් 8 දෙනා වේ.

TISL ආයතනය ප්‍රකාශ කර සිටියේ, වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් නොකිරීමේ වරදට, රුපියල් 1000 නොඉක්ම වන දඩයක් සහ / හෝ වසරක සිර දඩුවමකට ලක් කිරීමේ හැකියාව පවතින බවයි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නීතිමය අවශ්‍යතාවයන්ගෙන්ද ඔබ්බට ගොස් සිය වත්කම් මහජන දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කොට තිබෙන අතරතුර,(www.tisrilanka.org/MPassets වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය) තම වගකීමෙන් බැහැරව කටයුතු කරන පිරිස කෙරෙහිද අවධානය යොමු කල යුතු බවයි.

TISL ආයතනය,තම වත්කම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු නියෝජිතයන් හදුනා ගැනීම පිණිස මේ හා සමානවම තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ කතානායක කාර්යාලයෙන් ඉල්ලුම් කර ඇති බවත්, එම තොරතුරු ලද වහාම සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔබේසේකර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

වත්කම් හා බැරකම් ප්‍රකාශන නීතිය යටතේ, ක්‍රියාමාර්ග ගැනීමට බලය ඇති එකම ආයතනය ලෙස, එහි බලතල උපයෝගී කරගනිමින් මෙම පැමිණිලි විමර්ශනය වන බවට තහවුරු කරන මෙන්ද, සුදුසු පරිදි නඩු පැවරීමටත් කටයුතු කරන මෙන්ද, TISL ආයතනය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙතින් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news