Sunday, May 19, 2024

රූපවාහිනිය පවරා ගැනීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පිළිකුලෙන් ‌හෙළා දකී.

මාධ්‍යය නිවේදනය/ මාධ්‍ය ආයතන ආරක්ෂක අමාත්‍යයංශය යටතට පත්කිරීමට විරෝධය.

අංක 2140/2 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කිරිමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ශ්‍රීලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මෙම තත්ත්වය ජනමාධ්‍ය නිදහසට කෙරෙන අනතුරු ඇඟවීමකි. මෙමගින් ජනාධිපතිවරයා වැරැදි පූර්වාදර්ශයක් සපයා ඇති බව අප සංගමයේ අදහසය.

ජනමාධ්‍ය විෂය සහ ආරක්ෂක අමාත්‍යාංශ විෂය එකිනෙකට නොපෑහෙන විෂයන් දෙකක් වන අතර ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කිරීම රූපවාහිනි ආයතනයේ ජනමාධ්‍යවේදීන්ට තම මාධ්‍යකරණය ස්වාධීනව සිදුකිරීමට නොහැකිවන ලෙස සිදු කරන බලපෑමකි. එක් අතකින් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියට මෙම තත්වය බලපෑමක්සේ සැලකියහැකිවාක්මෙන්ම ජනමාධ්‍යවේදීන් බියවැද්දීම සදහා ගනුලබන පියවරක ආරම්භයද විය හැක.

ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ රැසක් අභිමුව තිබියදී ගන්නා ලද මෙම තීරණය යම් ආකාරයක සැකයකට භාජනය වන අතර මේ තත්ත්වය වහා නිවැරැදි විය යුතු බවටද අවධාරණය කරමු.

ඇතිව ඇති තත්ත්වය නිවැරැදි කිරීම සඳහා ජනමාධ්‍ය විෂයට අදාලව කැබිනට් අමාත්‍යවරයකු පත්කිරීම ඉතාවැදගත් බව අප සංගමයේ අදහසය.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ඇතිව තිබෙන ගැටුම හරහා ජනමාධ්‍ය නිදහසට බාධා එල්ල වන්නේ නම් ඊට එරෙහි වන්නට අප පසුබට නොවන බවද අවධාරණය කරමු.

…………………………………… …………………………………….

දුමින්ද සම්පත් , සභාපති

ෆ්‍රෑන්ක් ද සොයිසා, ලේකම්

Archive

Latest news

Related news