Monday, May 20, 2024

ඉස්ලාම් දහම, සාමය සහ ත්‍රස්තවාදය – සුලෝචනා රාජපක්ෂ

ඔබේ රාගී මන කැලඹේ දෝ….

පිවිතුරු හදවත පෑරේදෝ….

එමවිට පවසණු මුවින් ඔබේ….

බුද්ධං සරණං ගච්ඡාමි….

මේ ඔබට මට, මේ වෙසක් පොසොන් සමයේ නොවරදවා ඇසෙන පද පෙළකි. මේ සුමධුර හඬ වෙන කාගේවත් නොව,ඔබ අප කවුරුත් ආදරය කරන මොහිදීන් බෙග් මහතාගේයි. මුස්ලිම් ගායකයෙකු වන එතුමා ඉතා සුමදුර හඬින් ගයන බොදු බැති ගී අප සියල්ලන් තුල පහන් සිතුවිළි මතු වන්නට හේතු වී ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක  අංශයන්හි  විශිෂ්ට සේවයක් කළ මුස්ලිම් ජාතිකයන්

මේ දිනවල අප ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ පිළිබඳ කතාබහක සිටිනවා, එහිදී අපට අමතක කළ නොහැකි නම් කිහිපයක් තිබෙනවා. හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂක DIG මාර්සෝ මහතා මුස්ලිම් ජාතිකයෙක්. මාර්සෝ පරපුර එදාමෙදාතුර ආරක්ශක සේවයේ ඉමහත් සේවයක් ඉටුකල මුස්ලිම්  මැලේ පරපුරක්. එපමණක් නොව ලංකාවේ ප්‍රතම හමුදා රෙජිමේන්තුව වුනේ “මැලේ රයිෆල් රෙජිමේන්තුව “. පසුව 18 වන සියවසේ රයිෆල් රෙජිමේන්තුව බවට පත් වුනා. තවද, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු සිංහ රෙජිමේන්තුවේ පලමු බලඇණියේ සේනාධිනායකයා වූයේත් මුස්ලිම් ජාතිකයෙකි. ඔහු නමින් “තුවාන් සම්‍රියන් බුහාරි සාලේ” මහතා. අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ කලොනියල් හා බ්‍රිගේඩියර් තනතුරට උසස් කිරිමෙන් පසුව තුවාන් සම්‍රියන් බුහාරි සාලේ මහතා 1977 සිට 1979 දක්වා ලංකාවේ ප්‍රථම හමුදාපතිවරයා ලෙස සේවය කලා, එසේම තුවාන් බුහාරි සාලේ 1979 දී විශ්‍රාම ගත්තද අවසන් ඊලාම් යුද්දයේදී නැතුවම බැරි නිලධාරියෙක් විය.

ඉතිහාසයේ පමණක් නොව ආරක්ෂක අංශ සඳහා ලබා දී ඇති ශ්‍රී ලාංකීය මුස්ලිම් ජාතිකයන් වර්තමානයේද ආරක්ෂක අංශ වලින්ද දැක ගත හැක. මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව සිදුවන වැටලීම් සිදු කරන STF අණදෙන නිලධාරී ලතීෆ් ද මුස්ලිම් ජාතිකයෙකි. එතුමාගේ නායකත්වය යටතේ දියත් වූ මෙහෙයුම් යටතේ මෑතදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ මෙහෙයුම් කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතී. මේ විශේෂ කිහිප දෙනෙක් පිළිබඳ වූ තොරතුරු පමණි, නමුත් රට ජාතිය ආරක්ෂා කිරීම උදෙසා ඇස්, ඉස්, මස් ලේ දන් දුන් අපේ කාලයේ සැබෑ රණවිරුවන් මුස්ලිම් ජනතාව තුළද විය. නම් ගම් සඳහන් නොවූවද නිහඬ සේවයක නියුතු වූ මුස්ලිම් විරුවන් බොහොමයක් සිටින බව අප අමතක නොකළ යුතුය.

 ඉස්ලාම් දහම ප්‍රචණ්ඩකාරීද?

මෙවන් කැප කිරීම් කළ සුවහසක් වූ ශ්‍රී ලාංකීය මුස්ලිම් ජාතිකයන් අතර ඉතා සුළු පිරිසක් වූ අන්තවාදීන් හේතු කොට ගෙන සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව දෙසට සහ ඔවුන්ගේ ආගම දෙසට ඇඟිල්ල දිඟු කිරීම කෙතරම් සාධාරණ දැයි ශ්‍රී ලාංකිකයන් ලෙස අප ප්‍රශ්ණ කළ යුතුය. කිසිම ආගමකින් වෛරය, ප්‍රචණ්ඩත්වය නූගන්වයි. බෞද්ධාගම, හින්දු හෝ කතෝලික ආගම් වලද අන්තවාදී අදහස් දරන්නන් හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නන් කොතෙකුත් දැක ගත හැක. එය එම ආගම් වෛරය ප්‍රචණ්ඩත්වය ඉගැන්වීම හේතුවෙන් සිදු වන්නක් නොව. එළෙසම ඉස්ලාම් දහම තුළද වෛරය ප්‍රචණ්ඩත්වය ඉගැන්වීම සිදු නොවේ. ලොව විශාලතම මුස්ලිම් ජනඝහනයක් සිටින්නේ කුමන රජ්‍යකදැයි ඇසුවහොත් බොහොමයක් දෙනා මැද පෙරදිග රටක් යැයි සිතීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත් ලොව විශාලම මුස්ලිම් ජනඝහනයක් වාසය කරන රට වන්නේ ඉන්දුනීසියාවයි. මිලියන 205 වූ මුස්ලිම් ජනඝහනයක් එහි වාසය කරයි. අනෙකුත් ඕනෑම රටක මෙන්, යම් යම් ගැටුම් පැවතියද ඉන්දුනීසියාව තුළ ISIS හෝ අල් කයිඩා දැක ගත නොහැක.  ඉස්ලාම් ප්‍රචණ්ඩකාරී ආගමක් නම් ISIS සහ අල් කයිඩා ඇතිවිය යුත්තේ විශාලම මුස්ලිම් ජනඝහනයක් වාසය ඉන්දුනීසියාව තුළයි.

ඉස්ලාම් දහමෙහි ඇති අගයන්

“ඉස්ලාම්” යන වචනය අරාබි භාෂාවෙහි “සාමය” යන වචනයෙන් ව්‍යුත්පන්න වචනයකි. අපරිමිත වූ දයාව සහ සාමය අරමුණු කරගත් ජීවිතයක් ඉස්ලාමයෙහි ඉගැන්වේ.

විශ්වාස කරන්ණනි! සාමයට ඇතුළු වන්න (ඉස්ලාම්). සාතන්ගේ ගිය ගමන් මඟ අනුගමනය නොකරන්න. සාතන් සම්පුර්ණයෙන්ම ඔබට එදිරිවාදියෙකි. (කුරාණය: 2, 208)

ඔබට පහර දෙන අයට එරෙහිව අල්ලාහ්ගේ කාරණයේදී ඔබ සටන් කළ හැකිය නමුත් ප්රචණ්ඩ නොවන්න. අල්ලා ප්රචණ්ඩත්වය ඇති කරනන්ට ආදරය නොකරයි.

  (කුරාණය: 2, 190)

සාතන් නම් සාමයේ සතුරා ලෙස හඳුන්වයි. මෙය ඉස්ලාම් දහමෙහි සාමයට ඇති ස්ථානය මැනවින් පැහැදිළි කරයි. ඉහත පදයෙහි, දෙවියන් වහන්සේ ඔවුන්ගේ අනුගාමිකයන් හට සාමයට ඇරයුම් කර ඇති අතර සාතන් ගත් මඟ නොගන්න. නැතිනම් වෛරයේ මඟ නොගන්නා ලෙස පැහැදිළිව දක්වා ඇත. ප්‍රචණ්ඩත්වය කුරාණය තුළ පිළිනොගනී, එය පිළිකෙව් කරණ බව මෙම වැකි වලින් ප්‍රකාශ වේ. ඉස්ලාම් දහමේ නමින් කිසිවෙකුට ප්‍රචණ්ඩත්වය සඳහා යොමිවිය නොහැක.

ආගම පවතින තැන, ආගම සඳහා බලකිරීමක් නොමැත

(කුරාණය: 2, 256)

මෙම කුරාණ වැකියට අනුව ඉස්ලාම් සදාචාරයට අනුව ජීවත් වීමට කිසිවෙකුට බලකිරීමක් කළ නොහැක. දෙවියන්ගේ පැවැත්ම හා අල්-කුර්ආනයේ අනෙක් අයට අන් අය වෙත යොමු කිරීම ඇදහිලිවන්තයන්ට යුතුකමක් වන මුත් එය කරුණාව හා ප්‍රේමය පෙරදැරි කරගෙන මිස බලයෙන් කළ නොහැකි බව ඉතා පැහැදිළිව කුරාණයෙහි වැකි වලින් මනාව උද්දීපනය කර ඇත.

ඉස්ලාම් දහම තුළ වෛරයට ඉඩක් නොමැත, ඉස්ලාම් දහම තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැත, ඉස්ලාම් දහම තුළ ඉස්ලාම් දහම බලයෙන් අනෙකා වෙත දීමට ඉඩක් නැත එබැවින් කිසිවෙකුට අල්ලා ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය වැපිරිය නොහැක. ඉස්ලාම් දහම හිංසනය පිටු දකියි. යමෙක් ඉස්ලාම් දහමේ නාමයෙන් අල්ලාගේ නාමයෙන් අනෙකා හිංසනයට ලක් කරයි නම් එය ඉස්ලාම් දහමට විරුද්ධව ක්‍රියා කිරීමකි.

ඉස්ලාම් දහම අන්තවාදී කණ්ඩායම් මඟින් විකෘති කර එමඟින් ප්‍රචණ්ඩත්වය වැපිරීම හෝ ත්‍රස්තවාදය පෝෂණය කිරීම, ඉස්ලාම් දහම වෙත නිග්‍රහ කිරීමට යොදා නොගැනීමට සියල්ලන් බුද්ධිමත් විය යුතුයි. එතුළින් ඉස්ලාම් දහම නිසි ලෙස පිළිපදින සාමය අවිහිංසනය අගයන මුස්ලිම් ජනයා මහත් අපහසුතාවකට පත්වීමට හේතු වනු ඇත. ආගම දහම වැරදි ලෙස අවබෝධ කොටගෙන ක්‍රියාත්මක වන අන්තවාදීන් සියළු ආගම් තුළ දැක ගත හැක. නමුත් එම අන්තවාදී කණ්ඩායම් වල කුලකයටම සාමය සමඟිය සහ අවිහිංසාව අගයන සාමාන්‍ය ජනයා දමා අපහසුවට සහ පෙළීමට ලක් නොකළ යුතුයි. සරලව ඔබගේ අසල්වැසි මොහොමඩ් මේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසාවෙන් හිංසනයට ලක්විය යුතු නැත.

ලීක්වාන් යූ ගේ සිහිනය වුයේ සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කිරීමයි. නමුත් අද සිංගප්පූරුව ඇති තත්වය සහ අද ලංකාව පත්ව ඇති තත්වය සැසඳු කල  ඉතා ඛේදජනකය. ලීක්වාන් යූ ඔහුගේ අන්තිම කාලයේ ශ්‍රී ලංකාවේ තත්වය දැක පැවසුයේ, ලංකාව දියුණු නොවීමට හේතුව නම් වර්ගවාදය බවයි.

වර්ගවාදය පසෙකලා එක රටක් එක ජාතියක්, ශ්‍රී ලාංකිකයකු ලෙස සිතන්නට ගන්නේ කවදාද?

 

 

 

 

Archive

Latest news

Related news