Monday, May 20, 2024

මුස්ලිම් විරෝධය නතර නොකළහොත් සංචාරක ව්‍යාපාරයට හානිදායකයි – සංචාරක හෝටල් සංගමය

මෙරට පැතිරෙමින් පවත්නා මුස්ලිම් විරෝධී ක්‍රියා සහ වෛරය උසිගැන්වීම් නතර නොකළහොත් එය මෙරට සංචාරක ව්‍යාපාරයට අහිතකර ලෙස බලපානු ඇති බව ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි. එමගින් ශ්‍රී ලංකාව මිත්‍රශීලී සහ අනෙකා ඉවසනසුළු රටක් ලෙස පවතින පිළිගැනීම පළදුවනු ඇති බවද එය පවසයි.

පසුගිය 04 දා  ප්‍රකාශයට පත් කළ  ප්‍රකාශය මගින්  වර්ධනය වන මුසිලිම් විරෝධය සහ මෙරට වාර්ගික සහ ආගමික ප්‍රජාවන්ට එරෙහිව කැරෙන  වෛර ප්‍රචාරයන් තමන් තදින්ම හෙළා දකින බව  එම සංගමයේ සභාපති සනත් උක්වත්ත කියා සිටියි.

‘ අපි සියළුම ත්‍රස්තවාදී ක්‍රියාවන් සහ අන්තවාදී ක්‍රියාවන් හෙළා දකිමු. ඒවා ශ්‍රී ලංකාව ලෝකයේ ඉවසිලිමත් සහ මිත්‍රශීලී රටක් ලෙස තිබූ පිළිගැනීමට එරෙහිව යයි. අනෙකාගේ ආගමට සහ සංස්කෘතියට අප දක්වන ගරුත්වය, පිළිගැනීම සහ සහජීවනය අප රටට සංචාරකයින් පැමිණීමට එක් ප්‍රධාන හේතුවකි’ යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ.

‘බහු සංස්කෘතිකත්වය, වාර්ගික සංහිදියාව සහ විවිධ සංස්කෘතීන් තේරුම් ගැනීම ශ්‍රී ලාංකිකයින් තුළ මුල් බැස තිබේ. මෙම ලක්ෂන සරු සංචාරක ව්‍යාපාරයක් වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය යැයි අපි කල්පනා කරමු.’ යැයිද එය සඳහන් කරයි.

වෛර ප්‍රචාර, වාර්ගික ප්‍රචන්ඩත්වයන්, එක් ප්‍රජාවක් ඉලක්ක කර ගනිමින් භාණ්ඩ වර්ජනය කිරීම විසින් අවිශ්වාසය ජනිත කරනු ඇති බවත්, බෙදීම් උග්‍ර කරනු ඇති බවත්, ආරක්ෂිත සහ සහ සාමකාමී දේශයක් ලෙස මෙරටට ඇති පිළිගැනීම පලුදු කරනු ඇති බවත් එබැවින්ම එය දීර්ඝ කාලීන වශයෙන් ශ්‍රී ලංකාවට යහපතක් උදා නොකරන බවත් එහි තවදුරටත් සඳහන් වේ.

‘ සංචාරක ව්‍යාපාරය යනු ලෝකයේ ඇති ඉතාම සංවේදී කර්මාන්තයකි. අද අප අත් දකින පරිදි කවර ආකාරයක හෝ කලබල ඇති වීමත් ජනයා අතර අසමගිය ඇතිවීමත් ඒ මත බරපතල ලෙස බලපායි. . වාර්තාගත ආදායමක් ඉපයීමට නියමිතව තිබූ මෙම වසරෙහි පාස්කු ඉරිදා ප්‍රහාරයන් සහ අනතුරුව ඇතිවූ වාර්ගික ප්‍රචන්ඩත්වයන් නිසා සංචාරකයින් තුළ බියක් ඇති විය. ඔව්හු මෙරටට පැමිනීම අවලංගු කළහ. එමගින් සංචාරක ව්‍යාපාරය මත ඍජුව සහ වක්‍රව රඳා පවත්නා ලක්ෂ 20 පමණ වූ ජනයා දුෂ්කර තත්වයකට පත් විය.’

ශ්‍රී ලංකාවෙහි වෛර ප්‍රචාර, වාර්ගික සහ ආගමික විෂම සැළකීම් පැතිර යාම වැළක්වීමට අදාළ සියලු නීති යටතේ පියවර ගන්නා ලෙසත් සමාජීය ගැටුම් ඇති කරන පුද්ගලයින්ට විරුද්ධව ක්ෂණිකව පියවර ගන්නා ලෙසත් එම ප්‍රකාශය ඉල්ලා සිටියි.

 

 

Archive

Latest news

Related news