Sunday, November 24, 2024

වධහිංසාව, අන්තවාද හා ප්‍රචණ්ඩත්වය කියන මාතෘකා කතා කරන කොට ඇති වෙන්නේ ප්‍රශ්න ගොඩක්! – ප්‍රියංකර රත්නායක

ඡායාරූපය: ‌ජේෂ්ඨ කතිකාචාර්ය ප්‍රියංකර රත්නායක.

වධහිංසාව, අන්තවාද හා ප්‍රචණ්ඩත්වය ගැන තිබෙන පණිවිඩය යන්න ඕන ජනතාව අතරට. විශ්ව විද්‍යාලයක උගන්වන කෙනෙක් හැටියට බොහෝ වෙලාවට අප විශ්ව විද්‍යාලයේදී කරන්නේ උගන්වන එක නෙමෙයි. ඉගෙන ගැනීම සඳහා යම් ප්‍රශ්නාවලියක් මගේ විද්‍යාර්ථයින්ට දෙන එක. අප විශ්ව විද්‍යාල වල උගන්වන්නේ ඒ අය සාමාන්‍ය පෙළ, උසස් පෙළ හදාරා පැමිණි විශයන්මයි. නාට්‍ය කියන එක සාමාන්‍ය ජනතාවට විශේෂ විෂයක් නෙමෙයි. විශ්ව විද්‍යාලයට එන්නෙත් ඒ ගැන ඉගෙන ගත්ත අය. ඒ අයට මොනවද තවත් උගන්වන්න තියෙන්නේ? අපේ ඉගෙනීමේ සීමාවක් නෑ. ඔවුන්ගේ ඥාණය සඳහා ඔවුන්ව යම් කිසි ප්‍රශ්නාවලියකට යොමු කරලා, සංවාදයක් ඇති කරලා, ඒ සංවාදය තුළින් අළුත් දැනුම් සම්භාරයකට යන්න තමයි, විශ්ව විද්‍යාලයේ උගන්වන්නේ. ඒ නිසාම මටත්, වධහිංසාව, අන්තවාද හා ප්‍රචණ්ඩත්වය කියන මාතෘකා කතා කරන කොට ඇති වෙන්නේ ප්‍රශ්න ගොඩක්. උත්තර සොයා ගත යුතු ප්‍රශ්න ගොඩක්. ඒකට මට තනියම උත්තර හොයාගන්න බෑ. අපි සමස්ත සමාජයත් එක්ක එකතු වෙලා, සමාජය යම් කිසි ආකාරයකට දැනුවත් කරලා, මේකට පිළිතුරු සොයා ගන්න ඕනා.

ප්‍රවේශය ඇතිවෙන්නේ ‌ ‌කොහොමද?

මගේ ප්‍රවේශය, හැඳින්වීම සිද්ධවෙන්නේ, සෞන්දර්යාත්මක රසවින්දනයන් තුළින්, මම බලන නාට්‍ය තුළින්, මම බලන චිත්‍රපටි තුළින්. මම නීතිය හෝ වෙනත් විශයයක් හදාරා නැහැ. මම සමාජය ප්‍රශ්න දිහා බලන්නේ මගේ විෂය ධාරාවන් හරහා. මට පේනවා මේ වධහිංසාව, අන්තවාද හා ප්‍රචණ්ඩත්වය යන තේමවාන් ගත්විට, ලෝකේ තියෙන හැම කලාකෘතියකම කතා කරන්නේ මේ ගැන තමයි. ලෝකේ කලාව තුළ තමයි, මේ කාරණය මුලින්ම කතා කරන්න පටන් ගත්නේ. එතකොට අපිට හිතෙනවා අපිට මේකට තවම විසඳුම් ලැබිලා නැහැ නේද කියලා? කලාව ඇතුළේ, මුළු සමස්ත සමාජයම සංවාදයට ලක් කරලා මේ සඳහා විසඳුම් සොයා ගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි විසඳුම් සොයා ගන්නා විට එය වෙනත් විදියකට මතු වෙලා එනවා. අපි දන්න ජන නාට්‍යයක් තමයි කොහොබා කංකාරිය කියන්නේ. දන්නවා ඇති. අහලා ඇති. කොහොබා කංකාරියේ තියෙනවා එක් අවස්ථාවක ගැමියෝ ඌරෙක් මරලා, ඌරව බෙදා ගන්නවා. ඌරව බෙදා ගන්නකොට, ගැමි කලාකරුවට දැනෙනවා ඌරව බෙදා ගැනීමේ ලොකු විසංවාදයක් තියෙනවා. වැරැද්දක් තියෙනවා. මොකක්ද වැරැද්ද? ඌරගේ හොඳම කොටස ලැබෙන්නේ ගමේ ප්‍රභූවරයට. ඌරගේ තියෙන නීරස, අවැදගත් කොටස ලැබෙන්නේ ගමේ ඉන්න පහළම පන්තියේ සමාජිකයට හැබැයි නාට්‍යකරුවා මේක ප්‍රශ්න කරනවා. සංවාදයකට ගේනවා. කලාව තුළ නිරන්තරයෙන්ම සංවාදයට ලක්වෙන්නේ මේ මාතෘකා තුන තමයි. ඒ විශයන් පවතින්නෙත් මේ තේමාවන් තුන මිනිස්සුන්ගෙන් කවදද මේක කෙළවරවෙන්නේ කියන ප්‍රශ්නය එන නිසා.

මේ ප්‍රචණ්ඩත්වය 2020 ‌වෙනකොට?‍‍‍‍‍‍

දැන් හිතන්න මේ අපි දැන් ජීවත්වෙන මොහොත ගැන. මේක හරිම සංකීර්ණ මොහොතක් නේ. සමහර විට මේ ප්‍රචණ්ඩත්වය අන්තවාදය, හිංසනය, 2020 දී ඉතාම බරපතල විදියට, ..තවත් සංකීර්ණ තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. 2019 දෙසැම්බර් මාසයේදී අපිට යම් කිසි තීන්දුවක් ගන්න වෙනවා අපි ජීවත් වෙන සමාජය වෙනුවෙන්. 2015 දී අපි තීන්දුවක් අරගෙන යම් යම් සාධනීය දේවල් දිනාගත්තා වගේම, ඉතාමත් නිශේධනාත්මක නොවිය යුතු දේවල් සිද්ධ වෙනවා. දැන් නැවතත් ඒ අවස්ථාව 2020 දී ලැබෙනවා. ඒ අවස්ථාව 2019 දී ආරම්භ වෙනවා. අපිම කරන වෙනසින් අපි බලාපොරොත්තු නොවන ආකාරයේ හිංසනයක්, ප්‍රචණ්ඩත්වයක් මේ සමාජය තුළ මතු වෙන්න පුළුවන්. මොකද එහෙම හිතෙන්නේ මේ දැන් සිද්ධවෙන දේවල් මේ සමාජය තුළ දැන් සිද්ධවෙන දේවල් හරිම සංකීර්ණයි. අපේ රටේ ප්‍රධානම පුද්ගලයෝ දෙන්නා අතර තියෙන විසංවාදය කොයිතරම් දරුණු ද කියලා. අපේ රටේ ප්‍රධාන පුරවැසියෝ දෙන්නා දෙන්නට ගරු කරන්නේ නැහැ. අපේ රටේ ප්‍රධාන පුරවැසියෝ දෙන්න ප්‍රසිද්ධියේ දෙන්නට දෙන්නා අපහාස කරගන්නවා. මේ දෙන්නා එකට යන්න තමයි ගමනක් පටන් ගත්තේ. වැරදි ගොන්බානක් කරත්තෙට බැඳලා මේ දේ කරගත්තේ අපිම තමයි.

මරාගෙන මැරෙන අන්තවාදය

අපි අන්තවාදය ගැන කතා කරනවා. ඒක කොයි තරම් ප්‍රචණ්ඩත්වයට ගිහිල්ලා තියෙනවද කියනවා නම්, තමන්ගේ කුසේ ඉන්න දරුවා, තමාගේ බිරිඳ පවා මේ මරාගෙන මැරෙන ක්‍රියාවලියට, ඒ ව්‍යසනයට ගොදුරු කරලා තියෙනවා. අපි මීට කලින් මේ රටේ මරාගෙන මැරෙන තත්ත්වයන් තිබුණා මේ රටේ. ඒවත් වැරදියි. ප්‍රචණ්ඩයි. නමුත් එයින් තමන්ගේ ජනකොටසේ යහපත සඳහා හෝ ඉලක්කයක් තිබුණා. මේ ත්‍රස්ත ක්‍රියාවලියේ එහෙම නැහැ. අන්තවාදය කියන දේ ආගම පැත්තෙන් විතරක් නෙමෙයි වෙනත් අන්තවාදයන් ද සමාජයේ තියෙනවා. තමන්ගේ දරුවෝ දෙන්නා එක්ක අම්මා කොච්චියට පනිනවා. තමන්ගේ දරුවා ළිඳට තල්ලු කරලා තාත්තා සියදිවිහානි කරගන්නවා. තමන්ගේ බිරිඳව මරන්න ස්වාමියා කොන්ත්‍රාත් දෙනවා. මේ වගේ දේවල් අපි පත්තරයක් ගත්තොත් කියවන්න, දකින්න ලැබෙනවා. මේ ප්‍රචණ්ඩත්වය කියන එක, හිංසනය කියන එක, අන්තවාදය කියන එක සමාජයේ සෑම කොටසකම හිත් ඇතුළට කාන්දු වෙලා තියෙන්නේ. ඔවුන් ගෘහස්ත ජීවිතයේ හැසිරෙන්නෙත් ඒ විදියට. සතියකට පෙර අපේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකට, ආදරය අහිමි කිරීම නිසා පෙම්වතෙක් විශ්ව විද්‍යාල භූමියට ඇවිල්ලා පිහියෙන් අනිනවා.

අපට අප ගැන බය හිතෙනවා!

අපිට දකින්න ලැබෙනවා සමාජයේ බරපතල ඛේදවාචකයක් ඉදිරියේ තමයි අපි ඉන්නේ. අපි නොදැනුවත්ව සමහර වෙලාවට අපි තුළම ප්‍රචණ්ඩත්වය මතු වෙනවා. අප්‍රේල් 21 වෙනි දිනින් පස්සේ අපිට අපි ගැන බය හිතෙනවා අපි තුළත් අන්තවාදය මතු වෙනවද කියලා? අපි තුළ නොතිබුණු මුස්ලිම් විරෝධයක් අපි තුළ මතු වෙනවා. අපිත් සමහර වෙලාවට ඒකේ ගොදුරු බවට පත්වෙනවා. දැන් රෙදි ගන්න කඩයකට යනනොට අපේ ඔලුවටත් එනවා අර මුස්ලිම් විරෝධී මානසික තත්ත්වය. යහපත් ආකල්ප ඇතිව ජීවිතය ගැන හිතන අයට පවා මේ ප්‍රචණ්ඩත්වය, හිංසනය, අන්තවාදී ලක්ෂණ හෙමිහිට මොදු වෙන්න පටන් ගන්නවා. මේ මෝදුවීම වැරදි ආකාරයකට අපි පාවිච්චි කළොත් 2019 පහුකරලා, 2020 වන විට අපිට දකින්න ලැබේවි 1971 වඩා දරුණු, 88-89 වඩා දරුණු, යුද කාලයටත් වඩා දරුණු සමාජ ජීවිතයක්.

හිංසනයට ‌හේතු වූ ප්‍රවේශ 04ක්

එහෙම නම් අපි කොහොමද මේකට උත්තර හොයාගන්නේ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? එහෙම හිතෙනකොට දැනෙන දෙයක් තමයි මේ ප්‍රචණ්ඩත්වය, හිංසනය, අන්තවාදය මේ තරම් ප්‍රබලව මතුවෙන්න බලපාපු ප්‍රවේශ 04 ක් තියෙනවා. එකක් තමයි මේ රටේ දේශපාලනය. මේ රටේ දේශපාලනය වගකියන්න ඕනා, මේ ඇතිවෙලා තියෙන සංකීර්ණ තත්ත්වයට.ඊළගට මේ රටේ අධ්‍යාපනය. අනික් කණ්ඩායම මේ රටේ මාධ්‍යය. අවසාන වශයෙන් මේ රටේ තියෙන ආගම් ද මේ තත්ත්වයට වගකියන්න ඕනා. හැම ආගමක්ම වගකියන්න ඕනා. ආගම්, දේශපාලනය, අධ්‍යාපනය, මාධ්‍ය සම්බන්ධයෙන් රට තුළ දැවැන්ත ප්‍රතිසංස්කරණයන් සිදුවිය යුතුයි. අපේ මානසිකත්වය වෙනස් වෙන්න ඕනා. තමන්ගේ දරුවව විනාශ කරගෙන තමනුත් විනාශ වෙන මව්වරු බිහිවෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දෙන්. දේශපාලන ක්‍රමයේ වැරැද්දෙන්. මේ ආගමේ වැරැද්දෙන්. මාධ්‍යයේ වැරැද්දෙන්. මේවා මට මතුවෙන ප්‍රශ්න මේ. දැන් මගෙන් මේවට තියෙන උත්තර කව්රුහරි ඇහැව්වොත් මට හොයාගන්න බෑ. හැබැයි එතනින් ප්‍රශ්න මතුවෙනවා ඉදිරියට. අපි කතා කරනවා පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව. පොලිසිය පිළිබඳව අපට මතු කරලා තියෙන පොදු අදහස, ඉතාමත් නරක එකක්. පොලිසියට බඳවා ගන්නේ අධ්‍යාපනයෙන් පහළ අය කියන මානසික තත්ත්වය. අටපාස් කියන මානසික තත්ත්වය. නමුත් අපි උත්සාහ කරලා නෑ. අවුරුද්දට සමත් වෙනවා විශ්ව විද්‍යාලයට එන්න වරම් තියෙන අය ලක්ෂයක් විතර. නමුත් ගන්නේ හත්දාහක් පමණයි. නමුත් විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්න සුදුසු වුනු අය පොලිසියට බඳවගෙන, යම් නිශ්චිත ජනතාවක් එක්ක ගනු දෙනු කරන්න පුළුවන් අධ්‍යාපනයක් දීලා, ඔවුන්ව පොලිසියේ රාජකාරියේ යොදවන ක්‍රමවේදයක් අපිට නෑ. වර්තමානයේදී ගුරුවෘත්තියට ගැනීමේදී පවා පුහුණුවක් දෙන්නේ නැහැ. උගන්වන්නේ කොහොමද? උගන්වන්නේ කාටද? උගන්වන්නේ මොකටද? ඒ ඉගැන්වීමේදී සිසු ප්‍රජාව අතර සම්බන්ධයක් ඇති කරන්නේ කොහොමද? යන දේවල් ගැන පුහුණුවක් දෙන්නේ නැහැ.

විශ්ව විද්‍යාලය කියන්නෙත් හිංසන‌යේ නවාතැනක්

විශ්ව විද්‍යාලය කියන්නෙත් හිංසනය, ප්‍රචණ්ඩත්වය, අන්තවාදය සියල්ලම පවතින තැනක්. විශ්ව විද්‍යාලය කියන්නෙත් මේ සංස්කෘතියෙම කොටසක්. පන්ති කාමරය තුළ අධ්‍යාපනය වගේම, පන්ති කාමරය පිටත අධ්‍යාපනයක් ලබන පිරිසක් තමයි ගුරු වෘත්තියට යන්නේ. එහෙම පිරිසක් අධ්‍යාපනයට ඇතුළු වුනාම වෙන්නේ අධ්‍යාපනය කඩා වැටෙනවා. ඒ කියන්නේ නිවැරදි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනය කියන එක, දශක කිහිපයක් තිස්සේ අපේ රටේ දේශපාලනය, ආගම, අධ්‍යාපනය, මාධ්‍ය හැසිරීම ක්‍රමයෙන් සදාචාරාත්මක විරෝධී තලයකට ගමන් කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අපිට දිගු කාලීන විසඳුමක් තියෙන්න ඕනා. අධ්‍යාපනය තුළින් තමයි යම් කිසි පුද්ගලයෙකුට භාෂාව, සංස්කෘතිය, සෞන්දර්ය පිළිබඳ උගන්වන්නේ. ඒ පිළිබඳ අධ්‍යාපනයක් නැතුව, උපාධියක් ලැබුවට වැඩක් නෑ. අපි විශ්ව විද්‍යාලයෙන් වරක් ගියා රාගම වෛද්‍ය විද්‍යාලයට නාට්‍යයක් පෙන්වන්න. නාට්‍ය පෙන්වලා අවසන් වෙලා අපි වෛද්‍ය සිසු සිසුවියන් සමඟ කතා කළා. වෛද්‍ය සිසුසිසුවියන් විතරක් නෙමෙයි, එතන වෛද්‍ය විද්‍යාව උගන්වන ආචාර්යවරුනුත් හිටියා. එ නාට්‍ය බලපු ප්‍රේක්ෂාගාරයෙන් සියයට අනූපහක්ම ජීවිතේ පළමු වතාවට තමයි නාට්‍යයක් බලලා තියෙන්නේ. ඊට අවුරුද්දට පස්සේ අපි ගියා නැවතත් නාට්‍යයක් අරගෙන, රාගම වෛද්‍ය විද්‍යාලයට පෙන්වන්න. ඒ පෙන්නුවට පස්සේ අපි ඇහැව්වා, සිසුසිසුවියන්ගෙන් රසවින්දනය පිළිබඳව. ඒ සිසු ප්‍රජාව කිව්වා මේ තමයි ඒ අය බලපු දෙවෙනි නාට්‍යය. පළමුවැන්න ගිය අවුරුද්දේ අපි පෙන්නපු නාට්‍යය. දෙවැන්න මේ පාර පෙන්නපු නාට්‍යය. එහෙම සෞන්දර්යාත්මක වින්දනයක් නැති කෙනෙකුට, අනෙක් මනුෂ්‍යයා පිළිබඳ ආදරයක්, සෙනෙහසක් ඇති වෙයිද? එහෙම අය රෝගීන් දඬු අඬුවට දාලා වර්ජනය කරයිද? වර්ජනයන් කරන්න ඕනා. අයිතිවාසිකම් දිනාගන්න ඕනා. හැබැයි රෝගීන්ගේ ජීවිතය, අනතුරේ දාලා වර්ජනය කරයිද සෞදර්යාත්මක අත්දැකීම් තියෙනවා නම්. ඊයේ රෑ පාරේ යනකොට පාරේ මිනිස්සු වැඩියි. ඇයි දුම්රිය වර්ජනය නිසා. මේ අත්දැකීම ගැන මම ජපානයේ සිට පැමිණි මිතුරෙක් කිව්වා, ජපානෙත් මේ වගේම වැඩ වර්ජනයක් තිබ්බා, හැබැයි කොච්චි දිව්වා. ඒ අයගේ වර්ජනය දුම්රිය ධාවනය වෙනවා. ඒත් මගීන්ගෙන් මුදල් ගන්නේ නැහැ. මේ වැඩ වර්ජනවල බලපෑම කරන්න ඕන රජයටනේ. අපේ වැඩ වර්ජන වල බලපෑම කරන්නේ සාමාන්‍ය මගීන්ට. අපේ රටෙත් බැරිද ඕක කරන්න. බස්, දුම්රිය ධාවනය වෙනවා. නමුත් මඟීන්ගෙන් මුදල් අයකරන්නේ නෑ. ඒ විදියට දවස් 04,05 දිව්වොත් බලන්න පුළුවන් සෙල්ලම.

පුළුල් පිළිතුරක් හොයාගැනීම ගැටළුවක්

මෙවැන සමාජයක් බිහිවෙන්නේ ඇයි? මෙවැනි සමාජයක් තුළ ප්‍රචණ්ඩත්වය, හිංසනය, අන්තවාදය කියන දේවල් මැඩපවත්ව ගන්න පුළුවන් වෙන්න ඕනා. මේ සඳහා පුළුල් පිළිතුරක් හොයාගන්න පුළුවන් වෙයිද කියන එක ගැටළුවක්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවක් ඉගෙන ගන්නේ නැතුව, කොහොමද තමන් ජීවත් වෙන සංස්කෘතිය පිළිබඳ ආදරයක් ඇති වෙන්නේ. තමන්ගේ ශිෂ්ඨාචාරය පිළිබඳ ආදරයක් ඇති වෙන්නේ? අනෙකා පිළිබඳ ආදරයක් ඇතිවෙන්නේ? ආගම් බිහිවෙලා තියෙන්නේ මොකටද? අපි ආගම් කියලා දකින්නේ ස්වභාව ධර්මය. අපි ආගමක් විශ්වාස කරනවා කියලා කියන්නේ ස්වභාව ධර්මය විශ්වාස කරනවා කියලා කියන එක. ඒ වුනාට අද අපි ආගම කියලා දකින්නේ ඒ ස්වභාව ධර්මයට ආදරය කරන ආගම නෙමෙයි. රාජ්‍යයේ අවශ්‍යතාවයට අනුගතවෙච්ච ආගමක්. අද විශ්ව විද්‍යාලවල නායකයා තෝරන්නේ දේශපාලන පක්ෂ. විශ්ව විද්‍යාලවල උපකුලපති තෝරන්නේ දේශපාලන අවශ්‍යතාවයන් අනුව. මේ කරුණු සමාජයට බරපතල විදියට කාන්දුවෙලා තියෙන්නේ.

මාධ්‍ය ‌කොහේද යන්නේ?

මාධ්‍ය සම්බන්ධයෙන් ද බරපතල ප්‍රතිසංස්කරණයකට යා යුතුයි. ඒ සඳහා බරපතල සංවාදයක් අපේ සමාජයේ ඇති කළ යුතුයි. කිසිම ආගමක මේකෙන් ගැලවෙන්න බෑ. හැම ආගමකම සිටිනවා අන්තවාදි කොටස්. ආගම කියන්නේ මෙලොව හා පරලොව ජීවිතයක් කියන දර්ශනයක්. ඒක ඇතුළට කොහොමද එන්නේ මනුෂ්‍යයාගේ ව්‍යසනයට එකතු වෙච්ච කාරණා. දේශපාලනය කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න ඕන ක්‍රමය. ඒක කොහොමද මිනිස්සුන්ට එරෙහිව යන්නේ. මිනිස්සුන්ගේ සිතිවිලි වලට, මානව හැගීම්වලට එරෙහිව යන්නේ. මිනිස්සුන්ගේ පැවැත්මට එරෙහිව ක්‍රියාත්මකවෙන්නේ. මාධ්‍ය කියන්නේ මිනිසුන්ගේ ඥාණය, සමාජය පිළිබදැනුම අවබෝධයෙන් වැඩි කළ යුතු ආයතන. ඒවා කොහොමද මිනිසුන්ගේ පැවැත්ම විනාශ කරන්නේ. අධ්‍යාපනය කියන්නෙත් එහෙම එකක්. හැබැයි මේ සියළු කාරණාවල වගකීම තියෙන්නේ, අපේ අතේ. අධ්‍යාපනය වෙනස් කිරීමේ වගකීම තියෙන්නේ අපේ අතේ. දේශපාලනය,ආගම, වෙනස් කිරීමේ වගකීම තියෙන්නෙත් ජනතාව අතේ. එහෙමනම් අපි මීට වඩා මතු කරගැනීම සඳහා කලාවට බරපතල වගකීමක් තියෙනවා.

සම්භාව්‍ය කලාව සහ ජනප්‍රිය කලාව කියලා වෙන් කිරීමක් ගැන අපි කතා කරනවා. ඇත්තමට එහෙම එකක් නෑ. සම්භාව්‍ය කලාව, ජනප්‍රිය කලාව කියලා එකක් නෑ. හොඳ කලාකෘතීන් හා නරක කලා කෘතීන් කියලා දෙයක් විතරක් තියෙනවා. සම්භාව්‍ය කියලා එකක් නෑ.සම්භාව්‍ය කියලා දෙයක් එන්නේ කොහොමද?. මම දන්න තරමින් ලෝකයේ පැරණි නාට්‍ය ලියපු පිරිස සම්භාව්‍ය නාට්‍ය කියලා දෙයක් ලියලා නෑ. පැරණිම නාට්‍ය කලාව හමුවෙන ග්‍රීසිය කියන රටේ, නාට්‍යයක් ගත්තොත්, ඒ නාට්‍යයේ ඉන්නේ නළුවෝ තුන්දෙනයි. බලන්න ප්‍රේක්ෂකයෝ එනවා 30000 විතර. මේ ගැන විස්තර අවශ්‍ය අයට අන්තර්ඡාලයෙන් ලබන්න පුළුවන්. අද ක්‍රිකට් මැච් එකක් බලන්න එන සෙනඟ අතීතයේ නාට්‍ය බලන්න ආවා.හේතුව නාට්‍ය තමයි මිනිස්සුන්ගේ ඥාණය වර්ධනය කරන ලද කලාව. කලාව ගැන කියන්නේ අනන්දයෙන් ප්‍රඥාව ලබාගන්නවා කියලයි. මිනිසුන්ගේ ඥාණය අවදි කරනවා. යහපත් පුරවැසියෙක් බිහි කරන්න. නාට්‍ය කලාව බිහි වුනේ ඒ සඳහායි.

කලාව තමයි අධ්‍යාපනය. අපිව කලාවෙන් ඈත් කරලා අපිට මොකක්දෝ දෙයක් හැත්තෑවේ දශකයෙන් පසුව ඇති කරපු ඒ ව්‍යාසනය නිසා සමාජයේ කිසිම තැනකට නිවැරදිව ගමන් කළේ නෑ. තාමත් සමාජයට නැගිටින්න බැරිවෙලා තියෙනවා. අපි ඉදිරියේ තීරණාත්මක මොහොතක් තියෙනවා. පාර්ලිමේන්තුවට යන්න ඉස්සෙල්ලා මිනිස්සු අපි වෙනස් වෙන්න ඕනා. අපි සමාජය දෙස මීට වඩා විවෘතව බලලා, හරිම මිනිස්සු තෝරාගන්න ඕනා. තෝරගෙන ඒ මිනිස්සු ලවා අධ්‍යාපනය,මාධ්‍ය,දේශපාලන,ආගම් සම්බන්ධයෙන් බරපතල ප්‍රතිසංස්කරණ සමූහයකට යෑමෙන් පමණයි, අපිට වධහිංසාව, අන්තවාදි හා ප්‍රචණ්ඩත්වය නැති කරන්න පුළුවන්.

ඡායාරූප හා සටහන -සුදේශ් ද සිල්වා / අයිතිය

Archive

Latest news

Related news