2018 අගෝස්තු 28

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සිය සුභාසිංශන එකතු කරයි.එක්සත් ජනපද ආරක්ෂක අංශ සහ සිවිල් පුරවැසියන් (මෙතැන් සිට ඇමරිකා අයවලුන් ලෙස සඳහන් කරයි) අරබයා වන ගැටලු සම්බන්ධයෙන් ද, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ගිවිසුම් ගතව සිටින, මෙරටට පැමිණි නෞකාවල සිටින, පුහුණු කටයුතු සඳහා, වැඩසටහන් සඳහා, මානවවාදී ක්‍රියාකාරකම් සඳහා සහ අන්‍යොන්‍ය එකඟතාවය මත වන වෙනත් ක්‍රියාකාරකම් සඳහා, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් (ශ්‍රී ලංකා නොවන සමාගම් සහ ආයතන, ශ්‍රී ලංකා පුරවැසියන් නොවන ඔවුන්ගේ සේවකයන්) පිළිබඳව වන ගැටලු සම්බන්ධයෙන් ද, වර්තමානයේ අප දෙරටේ රජයන් අතර පැවැත්වෙන සාකච්ඡාවට අවධානය යොමු කිරීමට අප කැමැතිය. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ගිවිසුම්ගතව නොමැති සමාගම් සහ ආයතන, ඔවුන්ගේ සේවකයන්, මෙම ගිවිසුම යටතේ හිමිවන කිසිදු වරප්‍රසාදයකට යටත් නොවන අතර, ඔවුන් මෙම ගිවිසුමට අදාළ නොවේ.

මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද අයවලුන්ට, රාජ්‍යතාන්ත්‍රික සබදතා සම්බන්ධයෙන් 1961 අප්‍රේල් මස 18 වැනිදා ඇතිකරගත් වියානා සම්මුතිය ප්‍රකාරව, තානාපති කාර්යාලවල පරිපාලන සහ තාක්ෂණික කාර්යමණ්ඩලයන්ට හිමි වරදාන, වරප්‍රසාදයන් සහ අවසරයන් ලබාදෙන ලෙසට තානාපති කාර්යාලය යෝජනා කරයි. එක්සත් ජනපද අයවලුන්ට තනිව හෝ කණ්ඩායමක් ලෙස ඇමරිකා හැඳුනුම්පතක් යටතේ ශ්‍රී ලංකාවට ඇතුලුවීමට සහ පිටවීමට අවසරය හිමිවනු ඇත.එක්සත් ජනපදය, එහි දේශපාලන උප අංශ සහ එක්සත් ජනපදයේ ප්‍රාන්තයන්, ඇමරිකා අයවලුන්ට නිකුත් කර තිබෙන වෘත්තිමය යැයි සැලකිය හැකි සියලුම බලපත්‍ර – බලයලත් ඇමරිකා අයවලුන්ට සේවා සැපයීම සඳහා වලංගු බවට ශ්‍රී ලංකා බලධරයින් සලකනු ඇත. රිය පැදවීම සහා අදාළ එක්සත් ජනපද බලධරයන් ඇමරිකා අයවලුන්ට නිකුත් කර තිබෙන රියදුරු බලපත්‍රයන් ශ්‍රී ලංකාව පිළිගනු ඇත. එය අයවලුන්ව රිය පැදවීමේ පුහුණුවලට හෝ රිය පැදවීම සඳහා වන බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන ගෙවීමකට හෝ යටත් නොකෙරෙනු ඇත. නිල රාජකාරිවල නියැලෙන අවස්ථාවන්හි දී ඇමරිකා පුරවැසියන්ට නිල ඇඳුමින් සැරසී සිටීම සඳහා, ලැබී තිබෙන නියෝගවල සඳහන් වන්නේ නම් ඔවුන්ට අවි රැගෙන යා හැකිවීම සඳහා, ඔවුන්ට අවසරය ලැබිය යුතු බවට තානාපති කාර්යාලය වැඩිදුරටත් යෝජනා කරයි.

ලංකාණ්ඩුවේ නීතිවලින් නිදහස්

එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ විනය පාලන කටයුතු එක්සත් ජනපද ආරක්ෂක බලධරයින් යටතේ සිදුවිය යුතුවීමේ වැදගත්කම ශ්‍රී ලංකා රජය පිළිගනී. ඒ අනුව, එම පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ගතකරන කාලය අතරතුර ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ඇත්තේ එක්සත් ජනපද රජයයි.

එක්සත් ජනපද අයවලුන් මෙරට ක්‍රියාත්මක බදු හෝ වෙනත් ගෙවීම්වලට යටත් නොවේ. ඔවුන්ගේ දේපළ, උපකරණ, වාර්තා සහ නිල මට්ටමේ වෙනත් තොරතුරු ආරක්ෂා කිරීම අරබයා වන පියවර ගැනීම සදහා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත. අපනයනය කිරීම්, ආනයනය කිරීම් සහ ඒවායේ භාවිතයන් කිසිදු අයුරක විමර්ශනයකට, බලපත්‍ර ලබාගැනීමකට, වෙනත් සීමාවකට, රේගු බදුවලට, බදු හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනත් ගෙවීම්වලට යටත් නොවනු ඇත. ඇමරිකා අයවලුන්, දේපළ, උපකරණ, වාර්තා සහ නිල මට්ටමේ වෙනත් තොරතුරු ආරක්ෂා කිරීම අරබයා වන පියවර ගැනීම සඳහා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

ඇමෙරිකානු හමුදාවන්ට ඒමට යෑමට සැරි සැරීමට සම්පූර්ණ නිදහස

භාවිතයට ගැනෙන හෝ අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන යාත්‍රා සහ වාහනවලට ශ්‍රී ලංකාවෙන් පිටවීමට සහ මෙරට නිදහසේ සැරිසැරීමට අවසරය හිමිවිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.එවැනි වාහන ගෙවීම් හෝ අයකිරීම්වලට යටත් නොවේ. එම සියලු වාහන මාර්ග ගාස්තු ගෙවීම්වලින් නිදහස්ය. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් හෝ එම දෙපාර්තමේන්තුව යටතේ භාවිතයට ගැනෙන යාත්‍රා හෝ ගුවන්යානා, ශ්‍රී ලංකා රජය යටතේ පාලනය කෙරෙන ගුවන්තොටුපලවලට ගොඩබැස්වීමේ දී ගෙවිය යුතු වන ගාස්තුවලට, වරාය ගාස්තුවලට, නියමු ගාස්තුවලට, යටත් නොවේ.අයත් හෝ, භාවිතයට ගැනෙන හෝ, අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන හෝ, යාත්‍රා හෝ ගුවන්යානා ශ්‍රී ලංකාවේ දේශසීමාව ඇතුළත සිදුකරන යාත්‍රා කිරීමකට, පියාසැරියකට, නවතා තැබීම්වලට, යනා දී කිසිදු කටයුත්තකට අදාළ කිසිදු ගෙවීමකට යටත් නොවනු ඇත. ඉල්ලා සිටින සහ ලැබෙන සේවාවන් සඳහා, එම සේවාවන්වලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිදුකරන ගෙවීම්වලට නොඅඩුව, සාධාරණ ගෙවීමක් සිදුකිරීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇත. එක්සත් ජනපදයට අයත් ගුවන්යානා සහ යාත්‍රා ගොඩවීමෙන් සහ පරීක්ෂාවට ලක්වීමෙන් ද නිදහස්ය.

ඕනෑම වර්ගයේ අමුද්‍රව්‍යයක්, භාණ්ඩ, උපකරණයන්, සහ සේවාවන් (කොන්ත්‍රාත්තු ඇතුලුව) ලබාගැනීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව කොන්ත්‍රාත් කැඳවනු ඇත. මෙම කටයුතුවලට අදාළව කොන්ත්‍රාත්කරුවා, භාණ්ඩ සපයන්නා හෝ එවැනි අමුද්‍රව්‍ය, භාණ්ඩ හෝ සේවා සපයන්නා තෝරාගැනීමේ දී කිසිදු සීමාවකට යටත් නොවී එම තෝරාගැනීම් සිදුකිරීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවසරය හිමිය. කොන්ත්‍රාත්කරුවා තෝරා ගැනෙන්නේ, කොන්ත්‍රාත්තුව පිරිනැමෙන්නේ සහ එහි කටයුතු පරිපාලනය කෙරෙන්නේ එක්සත් ජනපද රජයේ නීතිවලට යටත්වය. මෙම කටයුතු අරබයා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා සේවා හා වෙනත් දේවල් මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවෙන් පනවන කිසිදු බද්දකට හෝ වෙනත් ගෙවීමකට යටත් නොවේ.

බද්දෙන් නිදහස් යුද උපකරණ

දෙපාර්තමෙන්තුව ඇතුළත් වන ගිවිසුම්වලට යටත්ව එම ගිවිසුම්වල සදහන් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා වන කොන්ත්‍රාත්කරුවන් සිදුකරන ආනයනයන්ට, අපනයනයන්ට, ශ්‍රී ලංකාවෙන් ඕනෑම පෞද්ගලික දේපළක්, උපකරණයන්, භාණ්ඩ, අමුද්‍රව්‍ය, තාක්ෂණය, පුහුණුව, හෝ සේවාවන් ලබාගැනීමකට කිසිදු බද්දක් හෝ එවැනි කිසිදු ගෙවීමක් නොපැනවිය යුතු බව තානාපති කාර්යාලය වැඩිදුරටත් නිර්දේශ කරයි.එවන් ආනයනය කිරීමක්, අපනයනය කිරීමක්, සාමාන්‍ය අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ අනුගමනය කැරෙන බලපත්‍රගත කිරීමකින්, රේගු බදු පැනවීමකින්, බදු හෝ වෙනත් ගාස්තු පැනවීමකින් හෝ වෙනත් සීමා කිරීමකින් නිදහස් වනු ඇත.

වෘත්තිකත්වය අඟවන බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර අදාළව එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන්ට, එක්සත් ජනපද අයවලුන් හා සමානවම සැලකිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම ගිවිසුම යටතේ පවතින ක්‍රියාකාරකම්වලට අදාළව අන්‍යයෝන්‍ය වශයෙන් ඇතිකරගත් එකඟතාව යටතේ ප්‍රවාහන පහසුකම්, ගබඩා කිරීම් පහසුකම්, පුහුණු පහසුකම් සහ අනෙක් පහසුකම් භාවිතා කිරීමට සහ නිදහසේ ශ්‍රී ලංකාවේ සැරීමට එක්සත් ජනපද අයවලුන්ට අවකාශය තිබිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

ඇමෙරිකානු හමුදාවන්නට නොමිලයේ ‌‌රේඩියෝ සංඛ්‍යාතයක්

එක්සත් ජනපද ආරක්ෂක අංශවලට ඔවුන්ටම වෙන්වූ ගුවන්විදුලි සංඛ්‍යාතයක් තිබීමේ අවශ්‍යතාවයක් පැවැතිය හැකි බව ශ්‍රී ලංකා රජය හඳුනාගෙන තිබේ.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුවට ඔවුන්ගේම තොරතුරු සන්නිවේදන උපකරණ භාවිතා කිරීමට අවසරය හිමිවනු ඇත (1992 අන්තර්ජාතික ජනසන්නිවේදන සංගමය විස්තර කර ඇති පරිදි). එම උපකරණවල ක්‍රියාකාරීත්වයට අදාළ වන ඉහත අවශ්‍යතාවය සහ වෙනත් සේවා සපුරාගැනීමේ අයිතිය ද මේ හාම ඔවුනට හිමිවනු ඇත. වෙන්කෙරෙන රේඩියෝ සංඛ්‍යාතයට එක්සත් ජනපද රජය කිසිදු ගෙවීමක් සිදුකළ යුතු නැත.

මෙම ගිවිසුම යටතේ වන ක්‍රියාකාරකම්වලට අදාළව එක් පාර්ශ්වයක දේපළවලට සිදුවන අලාභ, අහිමිවීම්, සහ එක් පාර්ශවයක ආරක්ෂක අංශවල සිටින හෝ සිවිල් අංශය නියෝජනය කරන පුද්ගලයකු මරණයට පත්වීම හෝ අදාළව අනෙක් පාර්ශවයට එල්ල විය හැකි චෝදනා සියල්ල ඉවත් කරගත යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි (කොන්ත්‍රාත් කටයුතුවලට අදාළ චෝදනා හැර). එක්සත් ජනපද අයවලුන්ගෙන් තෙවැනි පාර්ශවයන්ට සිදුවන අලාභ හෝ අහිමිවීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නීති හා රෙගුලාසිවලට යටත්ව එක්සත් ජනපද රජය අදාළ පරිදි කටයුතු කරනු ඇත.

1995 වසරේ මැයි මස 16 වැනිදා ඇති කොළඹ දී ඇති කර ගැනුනු දෙපාර්ශවය අතර සටහන් හුවමාරු කරගැනීමේ ගිවිසුමට ඉහළින්, මෙම ගිවිසුම, එය බලාත්මක වූවායින් පසුව, එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සහ සිවිල් සේවකයින්ගේ මෙරට කටයුතු සහ වෙනත් නිල රාජකාරි සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බවට තානාපති කාර්යාලය වැඩිදුරටත් යෝජනා කරයි. අපගේ රජයන් ද්විත්වය, හෝ එම රජයන් තමන් වෙනුවෙන් පත්කරන ලද නියෝජිතයින්, මෙම ගිවිසුමේ අන්තර්ගත ප්‍රසම්පාදනයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආරම්භ කළ යුතුව ඇති බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම කරුණු ශ්‍රී ලංකා රජයේ එකඟතාවය අනුව වේ නම් මෙම සටහන, මෙම සටහනට පක්ෂව අමාත්‍යවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරය හා එක්ව, රජයන් දෙක ගිවිසුමට එළැඹි බව තීරණය කරන්නක් වන බවට සහ අමාත්‍යවරයාගේ පිළිතුර ලැබෙන දිනයේ සිට බලාත්මක වන බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම කාරණයට ඉහළම අවධානයක් යොමුකළ යුතුව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිහිපත් කරදීමේ අවස්ථාවක් බවට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙය පත්කර ගනී

පරිවර්තනය – කෝවිද ගුණසේකර.

ලංකාදීප පුවත්පතිනි.