Tuesday, July 16, 2024

දේශපාලන සහ සිවිල් සමාජයට කන් දී මරණ දඩුවම ඉවත් කරනු! – ලක්බිමේ මව්වරු සහ දියණියෝ

ජනාධිපති සිරිසේන විසින් මරණ දඩුවම යළි පැනවීම ට ගෙන ඇති තීරණය ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය හෙලා දකියි.

නීති පොතෙහි තිබුණද 1976 වසරේ සිට, එනම් දීර්ඝතම කාලයක් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන ලද රටක් ලෙස ශ්‍රී ලංකාව නමක් දිනාගෙන සිටියේ ය. දැන් මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය පිළිබදව මානව හිමිකම් ක්‍රියාධරයන් වශයෙන් අපි, තිගැස්ම ද විරෝධය ද ප්‍රකාශ කරමු.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජීවිතයට ඇති අයිතිය සහ  වද හිංසා, කෲර, අමානුෂික සහ පුද්ගල ආත්ම ගෞරවය කෙ‌ළෙසන දඩුවම් වලින් නිදහස්ව සිටීමට ඇති අයිතිය සහතික කර තිබේ. එසේ තිබියදීත් එවැනි ඉහළම දඩුවමක් වන මරණ දඩුවම සදහා ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීම අනුමත කළ නොහැකිය. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සදහා මරණ දඩුවම ලබා දීම ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද අන්තර්ජාතික ප්‍රඥප්තියේ 6 වන වගන්තියද එනම්, සිතා මතා කරන ලද මිනිස් ඝාතන ඇතුලත් වඩා බරපතල අපරාධ සදහා පමණක් මරණ දඩුවම සලකා බැලිය හැකි බව කියවෙන වගන්තිය උල්ලංඝණය කිරීමක් බව අපගේ විශ්වාසයයි.

මරණ දඬුවම ආපසු හැරවිය නොහැකි දඬූවමකි. කිසිම අධිකරණ පද්ධතියක් පක්ෂපාතකම් වලින් සම්පූර්ණයෙන්ම තොර වන්නේ නැති අතර සිය නිදොස් බව ඔප්පු කිරීමට නීතීඥ සේවා ලබා ගැනීමට තරම් වත්කමක් නොමැති පුද්ගලයන් අපේ සමජයේ එමට සිටී. බොහෝ කොටම මරණ දණ්ඬණයට ලක් වන්නේ සමාජයෙහි අව වරප්‍රසාදිත පිරිස් ය.  අප මරණ දඩුවමට එරෙහි වන්නේ ඒ නිසා පමණක්ම නොවේ. මරණ දඩුවම මගින් අපරාධ අඩු වීමක් සිදු නොවන බව අධ්‍යයන වලින් ඔප්පු වී ඇති නිසාත්ය, මරණ දඩුවම අමානුෂීය එකක් වන නිසාත් ය, තවද මරණ දඩුවම හිංසන සංස්කෘතියේ ලක්ෂණයති. එය හිංසනයට විසදුමක් නොවේ.

මරණ දඬුවම, දිනෙක දේශපාලන ප්‍රතිවාදීන් ඉවත් කිරීමේ ක්‍රමයක් බවට පත් වීමට ඉඩ ඇත. විරුද්ධ මත මරණ දඩුවමින් අවසන් කරන දේශපාලන සංස්කෘතික අඩිතාලම මෙය විය හැකිය.

මරණ දඬුවම පැමිණවීමට අගමැති ඇතුළු ආණ්ඩුවද විපක්ෂ නායක ඇතුළු විපක්ෂය ද එකඟ නැත. එපමණක් නොව මරණ දඬුවම යළි පැනවීමේ තීරණය නැවත සිතා බලන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුත්‍රේස් ප්‍රමුඛ අන්තර් ජාතික ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරමින් සිරිසේන ජනාධිපතිවරයා මේ පෙන්නුම් කරන දේශපාලන අත්තනෝමතිකත්වය ශ්‍රී ලංකාව කෙරෙහිම අහිත කර ලෙස බලපානු ඇත.

මරණ දඬුවම යළි පැමිණවීමට ආණ්ඩුව. විපක්ෂය දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන දක්වා ඇති විරුද්ධත්වය ගැන අපේ කැමැත්ත පළ කරමු. මේ සියල්ලන්ටම කන් දී මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මරණ දඩුවම යළි පැනවීමට ගත් තීරණය ඉල්ලා අස් කර ගන්නා ලෙස ජනාධිපතිවරයාට අපි බල කර සිටිමු.

පුරවැසියන් ලෙස, අප සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අත්තනෝමතික, අදූරදර්ශී තීරණ ඉවසා සිටීමට අප සූදානම් නොවිය යුතු බවයි.

2019 ජූලි 02.

Archive

Latest news

Related news