සහරාන් බේරුවේ මෛත්‍රී

667
COLOMBO, SRI LANKA - JANUARY 09: Sri Lanka's newly elected president Maithripala Sirisena (C) prepares to take oath as he is sworn in at Independence Square in Colombo on January 9, 2015 in Colombo, Sri Lanka. Sirisena will be the 7th President of the Democratic Socialist Republic of Sri Lanka. (Photo by Buddhika Weerasinghe/Getty Images)

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ සැලසුම්කරු වූ මොහොමඩ් සහරාන් හෂීම් විවෘත වරෙන්තුකරුවෙකුව සිටියදී අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් සෘජුවම ජනාධිපතිවරයාද, අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු ආණ්ඩුවද වගකිව යුතු බව අනාවරණය වී තිබේ.

මොහොමඩ් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 අගෝස්තු මාසයේදී විවෘත අධිකරණ වරෙන්තුවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලබාගෙන තිබිණි. එහෙත් නාමල් කුමාර නම් පුද්ගලයා, ජනාධිපති ඇතුළු පුභූ ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවත් එයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී නාලක ද සිල්වා සම්බන්ධ බවත් මාධ්‍ය හමුවේ ප්‍රචාරය කළේ ය. තමා ඝාතනය කිරීමට ඉන්දීයාවේ “රෝ” ඔත්තු සංවිධානයද සැලසුම් කරන ලද බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීමත් සමග විවෘත වරෙන්තුකරුවකු වූ මොහොමඩ් සහරාන් හසීම් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම වැළැකී ගියේ ය. නාමල් කුමාර වචනයෙන් ප්‍රකාශ කිරීම හැර ජනාධිපතිවරයා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳ අන් කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් මේ සම්බන්ධව පැවැති පරීක්ෂණවලදී අනාවරණය නොවීය.

එල්ලකරන ලද ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කර සිටින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදි හෙළි වී ඇත්තේ එම ප්‍රහාරය වළක්වා ගැනීමට ආණ්ඩුව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මසකට වරක් කැඳවිය යුතුව තිබෙන ජාතික ආරක්ෂාව සඳහා වැදගත් ආරක්ෂක මණ්ඩල රැස්වීම අවසාන වරට කැඳවා ඇත්තේ පසුගිය පෙබරවාරි 19 වැනිදා බවද මෙහිදී හෙළි වී තිබේ. ඉන් පසුව අප්‍රේල් 21 ප්‍රහාරය දක්වාම මෙම ආරක්ෂක මණ්ඩල රැස්වීම නොකැඳවීම සම්බන්ධව බරපතල චෝදනාවක් ජනාධිපතිවරයාට එල්ල වීම නොවැළැක්විය හැකිය.

අප්‍රේල් 09 වැනි අඟහරුවාදා ආරක්ෂක බුද්ධි සමාලෝචන රැස්වීම පවත්වා ඇත. එය සෑම අඟහරුවාදාවකම නොකඩවා පැවැත්වෙන්නකි. එහි දී අනිවාර්යයෙන්ම සාකච්ඡාවට ගත යුතුව තිබූ එම ප්‍රහාරය ගැන සවිස්තර තොරතුරු කිසිවක් ගැන සාකච්ඡා නොකළ බව හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් 29 වැනිදා හෙළි කළේ ය.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්, හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් එම බුද්ධි සමාලෝචන රැස්වීම් පවත්වා තිබිණි. එයට ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන සහභාගී විය යුතුව තිබුණද ඔහු සහභාගී වී නොමැත. ප්‍රහාර පිළිබඳ තොරතුරු අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව නොදන්නා බව ප්‍රකාශ කර තිබුණද ඇමතිවරුන්ගේ පවුල්වල අය පවා දැන සිටි බව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ ප්‍රකාශයකින් හෙළි වී තිබේ.

සාක්ෂි විමසීම සඳහා ජුනි 04 වැනිදා මෙම තේරීම් කාරක සභාවට පොලිස්පති පූජිත ජයසුන්දර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඇතුළු තවත් ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් කැඳවීමට නියමිත බවත් තවත් තොරතුරු එහිදී අනාවරණය වීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර අප්‍රේල් 08 වැනිදා පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ රැස්වීමේදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තමා දැනුම්වත් කළ බවට පල වන වාර්තා අසත්‍යය යැයි හදිසියේම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ නිකුත් කර ඇත්තේ, මෙමඟින් තමාට සිදුවන බරපතල අවාසිය මඟහරවා ගැනීමේ පූර්ව අරමුණින් බවට සැකයක් මතුව පවතී.

ලංකා ඉරිදා සංග්‍රහය – ප්‍රියදර්ශන දයාරත්න