ඊළඟ ජනවාරියේ මෛත්‍රීපාල සිරිසේන ධුරයෙන් ඉවත් වන විට ජනරජයේ ජනාධිපතිවරයා නාමික රාජ්‍ය නායකයෙකුගේ තත්වයට පත්වන්නේය. එය, විලියම් ගොපල්ලව විසින් වසර 15 ක් තිස්සේ ඉමහත් ගරුත්වයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතුව හෙබැවූ තනතුරට සමාන වනු ඇත. එසේ වන්නේ, 2015 දී ඇති කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පමණක් වන බැවිනි. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ සංක්‍රමණීය (තාවකාලික) විධිවිධානයක් පනවා තිබේ. ඒ නිසාම පමණක්, මෛත්‍රීපාල සිරිසේනට වර්තමාන තනතුර දරන තාක් කල්, ආරක්ෂක, මහවැලි සංවර්ධන සහ පරිසර යන අමාත්‍යාංශ තුන තමන් යටතේ තබා ගැනීමට අවසර ලැබී ඇත. එහෙත් මේ වන විට ඔහු කිසිම ව්‍යවස්ථාමය අධිකාරියකින් තොරව සහ භයානක ප්‍රතිවිපාක ද ගෙන දුන් අයුරින්, නීතිය හා සාමය අමාත්‍යාංශයත් තමන් අතට පවරාගෙන සිටීම වෙනම කාරණයකි.
ව්‍යවස්ථාමය රාජ්‍ය නායකයෙක්
නාමික (හෝ ව්‍යවස්ථාමය) රාජ්‍ය නායකයෙකු යනු හුදෙක් රූකඩ නායකයෙකුම නොවේ. ඔහු හෝ ඇය, රාජ්‍යයේ එක්සත් භාවය සංකේතවත් කරන නිර්-පාක්ෂික, නිර්-දේශපාලනික පුද්ගලයෙකු වන්නේය. නිදහසේ පටන් වසර 24 ක කාලයක් තිස්සේ ජනාධිපතිවරයා (සහ ඔහුට කලින් සිටි අග්‍රාණ්ඩුකාරවරයා) සන්නද්ධ හමුදා ප්‍රධාන අණදෙන නිලධාරියා මෙන්ම විධායකයේ ප්‍රධානියා ද වූවේය. එසේ වෙතත්, (ක්‍රියාත්මකව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වශයෙන් පවතින කිහිපයක් පමණක් මෙහිදී උදාහරණයකට ගතහොත්), ඉන්දියාවේ, කැනඩාවේ, ඕස්ටේ්‍රලියාවේ සහ එක්සත් රාජධානියේ මෙන්, රට පාලනය කිරීමේ වගකීම පැවරෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තෝරාපත් කරගන්නා කැබිනට් මණ්ඩලයකට ය. එම කැබිනට් මණ්ඩලය, සාමූහිකව පාර්ලිමේන්තුවට වගකීමට සහ වගවීමට බැඳී සිටී. ඒ ආකාරයේ ආණ්ඩුක්‍රමයක ඇති සාර්ථකත්වය සහ සක්‍රීයත්වය, 1962 ජනවාරියේ ඇති වූ රාජ්‍ය විරෝධී හමුදා-පොලිස් කුමන්ත්‍රණය අසාර්ථක කිරීමටත්, 1971 අප්‍රේල් කැරැල්ල මැඩපවත්වා රට සාමාන්‍ය තත්වයට පත්කිරීමටත් හැකි වීමෙන් පෙන්නුම් කෙරුණි. ඊට ප්‍රතිපක්ෂව ගත් විට, පූර්ණ විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමයට, 1983 දී සහ 1989 දී ඇති වූ විනාශය වළක්වා ගැනීමටවත්, 2004 දී සුනාමියෙන් විපතට පත් අවස්ථාවේ ඊට සාර්ථකව මුහුණදීමටවත් පුළුවන් වුණේ නැත.
20 වැනි සංශෝධනයේ අරමුණු
ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය භූමිකාවේ වෙනසක් අපේක්ෂාවෙන් ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කෙළේ ඒ සන්දර්භය තුළ ය. ඒ කෙටුම්පතේ මූලික අරමුණු දෙකක් තිබුණි. එකක් වුණේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව ඉතිරිව තිබූ වෙනත් ආනුෂංගික සංශෝධන කිහිපයක් සම්මත කර ගැනීමයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 2015 අප්‍රේල් මාසයේ විවාදයට භාජනය කොට මහ රෑ වන තෙක් පැවති පාර්ලිමේන්තු සැසි වාරයක් හරහා සම්මත කර ගැනීමේදී, විශේෂයෙන් කාරක සභා අවස්ථාවේදී සිදු වූ වැරදි කිහිපයක් තිබුණි. උදාහරණයක් වශයෙන්, ජනාධිපතිවරයා විසින් තනතුරුවලට පුද්ගලයන් පත්කරනු ලැබීමේදී- ඇමතිවරුන් වේවා, වෙනත් ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් හෝ ස්වාධීන කොමිෂන් සභා වේවා- හැම විටකම අගමැතිවරයාගේ හෝ ‘ව්‍යවස්ථා සභාවේ’ හෝ උපදෙස් මත ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව එම සංශෝධනයේ සඳහන්ව තිබුණත්, ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් දෙවර්ගයක් එහිදි මගහැරී තිබුණි. එනම්, තානාපතිවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ය. 20 වැනි සංශෝධනයෙන් නිවැරදි කිරීමට බලාපොරොත්තු වූ එක් කාරණයක් එයයි.
අනෙක් ප්‍රධාන කාරණය වුණේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමයි. මේ තනතුර සතුව ඇති සියළුම විධායක බලතල පාහේ දැන් ඔහු අභ්‍යාස කරන්නේ (තව කෙනෙකුගේ හෝ ආයතනයක) උපදෙස් මත ය. එනම්, 1978 දී ජේ. ආර්. ජයවර්ධන ඇති කළ සර්ව බලධාරී ජනාධිපති ක්‍රමය තවදුරටත් නැති බව ය. එබැවින් එවැනි ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා, රට පුරා භේද ඇති කරවන මහ මැතිවරණයක් හා සමානව, විශාල වියදමක් සහ ප්‍රචණ්ඩත්වයක් දරමින් වෙනම ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අරුතක් ඇති බවක් නොපෙනේ. ඉන්දියාව සහ වෙනත් රටවල ව්‍යවස්ථාමය රාජ්‍ය නායකයා (එනම්, තමාගේ බලතල බොහොමයක් තවත් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක උපදෙස් මත අභ්‍යාස කරන තැනැත්තා), සාමාන්‍යයෙන් පත්කර ගැනෙන්නේ, මැතිවරණ කොලීජියකින් හෝ ව්‍යවස්ථාදායකයෙනි (පාර්ලිමේන්තුවෙනි). 1972 ලංකාවේ පැවති ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාව නම් කරනු ලැබුවේ අගමැතිවරයා විසිනි.
19 වැනි ව්‍යස්ථා සංශෝධනය
යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් පනවා ගත හැකි බව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ඕනෑම ශිෂ්‍යයෙකුට වැටහෙන දෙයකි. 2015 අප්‍රේල් මාසයේ අගවිනිසුරු ශ්‍රී පවන් ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්, පහත සඳහන් කරුණු ජනමත විචාරණයකින් තොරව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පමණක් සම්මත කර ගත හැකි බව ඒකමතිකව තීන්දු කළහ:
1. ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීම
2. ජනාධිපතිවරණයකින් කෙනෙකු තුන් වැනි වරටත් බලයට පත්වීම තහනම් කිරීම
3. ජනාධිපතිවරයාට හිමි නෛතික මුක්තිය ඉවත් කිරීම
4. අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, විගණකාධිපති, පොලිස්පත්, ඔම්බුඞ්ස්මාන් සහ පාර්ලිමේන්තු මහලේකම් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය ඉවත් කොට, ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ මත පමණක් එම තනතුරුවලට පත්කළ යුතු බවට ජනාධිපති බලය යටත් කිරීම
5. මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය ඉවත් කොට, එම පත්කිරීම් සියල්ල ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ මත පමණක් සිදු කළ යුතු බවට ජනාධිපති බලය යටත් කිරීම
6. ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය ඉවත් කොට, පාර්ලිමේන්තුවේ අවසාන මාස හයක කාලය හැරුණු කොට වෙනත් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් එවැන්නක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් බවට ජනාධිපති බලය යටත් කිරීම
7. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය ඉවත් කොට, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් එම තනතුරුවලට පත්කළ යුතු බවට ජනාධිපති බලය යටත් කිරීම
8 ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය ඉවත් කොට, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් එසේ ඉවත් කළ හැකි බවට ජනාධිපති බලය යටත් කිරීම
9 අගමැතිවරයාව ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය ඉවත් කිරීම
ප්‍රමාද දෝෂයක් හරි ගැස්සීම
පෙනෙන්ට ඇති පරිදි නොදැනුවත්වම වුවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත්කරුවන්ට මෙහිදී අතපසු වීමක් සිදුව තිබේ. එනම්, ඉතා වැදගත් තනතුරු දෙකකට කෙරෙන පත්කිරීම් ජනාධිපතිවරයා අතේ ඉතිරිව තිබෙන්ට ඉඩ හැර ඇති බව ය. ඒවා නම්, තානාපතිවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ය. ඒ ප්‍රමාද දෝෂය නිවැරදි කිරීමේ අරමුණින් 20 වැනි සංශෝධනය හරහා යෝජනා කෙරුණේ එම පත්වීම් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු බවයි. එහෙත් ගිය වසරේ ඔක්තෝබර් මාසයේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය වුණේ, මෙවැනි සංශෝධනයක් සම්මත කර ගැනීම සඳහා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් පමණක් නොව, ජනමත විචාරණයකින් සම්මත වීමක් ද අවශ්‍ය බවයි.
මේ විනිශ්චය නීතිය පැත්තෙන් සදොස් වෙනවා පමණක් නොව, එය ප්‍රමාද දෝෂයක් ද වන බව පෙන්වා දිය යුතුය. අගවිනිසුරු ශ්‍රී පවන් ඇතුළු ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මේ විනිශ්චයට එළැඹෙද්දී, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මීට සමාන සාධක අරභයා ශ්‍රේෂ්ඨාධිකරණයම ඊට කලින් දී ඇති, මීට ඉහතින් සඳහන් විනිශ්චය ගැන කිසි සඳහනක් කෙළේ නැත. මීට සමාන කරුණු එම විනිශ්චය තුළ ඒ වන විටමත් නිශ්චය කොට තිබුණි. එම විනිශ්චය ගෙනහැර දැක්වීමක්වත්, එය ප්‍රතික්ෂේප කිරීමක්වත් මෙහිදී සිදු නොවුණි. ඇමතිවරුන්, විනිසුරුවරුන්, ඉහළ නිලධාරීන් සහ ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් පත්කිරීමේදී ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ වෙනත් බාහිර උපදෙස් මත පමණක් ය යන කාරණය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි නම්, ඉතිරි රාජ්‍ය නිලධාරීන් දෙවර්ගය පත්කිරීමේදී එසේ වෙනත් උපදෙස් මත ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව තීන්දු කිරීමට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකුත් අවශ්‍ය යැයි කීමේ පදනම කුමක් ද? ඇමතිවරයෙකු පත්කිරීමේදී ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් මත බවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට තීන්දු කළ හැකි නම්, අමාත්‍යාංශයක ලේකම්වරයෙකු පත්කිරීම කළ යුත්තේ කැබිනට් මණ්ඩලයේ උපදෙස් පරිදි යැයි කියා සිටීමට ජනමත විචාරණයක් අවශ්‍ය කරන්නේ ඇයි? ව්‍යවස්ථා නීතිය පිළිබඳ ශිෂ්‍යයෙකු වන මට එය නොවැටහේ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත්කර ගනු ලැබීම
20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් අරමුණු කළ තවත් කාරණයක් වුණේ, ජනාධිපතිවරණයකින් වෙනුවට පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුතු බවයි. ඒ සඳහා, වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාවේ සඳහන්, මා පහතින් වරහන් තුළ දක්වා ඇති වචන ඉවත් කිරීමෙන් සහ ඇද අකුරුවලින් යුත් වචන අලුතෙන් ඊට එකතු කිරීමෙන් එය කළ හැකි බව යෝජනා කොට තිබුණි.
(අ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය (ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන) ජනරජයේ ජනාධිපතිවරයා විසින් සහ අමාත්‍ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.
(ආ) සෑම පුරවැසියෙකු විසින්ම (ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත්කිරීමේ ඡන්ද විමසීමේදී ද), පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත්කිරීමේ මැතිවරණයේදී ද, සෑම ජනමත විචාරණයකදී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාව සඳහා වන මේ සංශෝධන සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් පමණක් නොව, ජනමත විචාරණයක අනුමැතියත් අවශ්‍ය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේය. එකී විනිශ්චයත් නීතිය පැත්තෙන් ගත් විට සදොස් ය. මන්ද යත්, ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනමත විචාණයක අනුමැතියක් අවශ්‍ය නොකරන බැවිනි.
ව්‍යවස්ථාවේ ඇතැම් විධිවිධාන සංශෝධනය කළ හැක්කේ, ඒ සංශෝධන සඳහා වන කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීමෙන් පසු ජනමත විචාරණයකින් ද අනුමත කර ගැනීමෙන් පසුව පමණක් බව, අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාව පැහැදිලිවම ප්‍රකාශ කොට සිටී. ඒවා හැඳින්වෙන්නේ, ආරක්ෂිත විධිවිධාන වශයෙනි. එසේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහ ජනමත විචාරණයක අනුමැතිය යන කොන්දේසි දෙකම නොමැතිව සංශෝධනය කළ නොහැකි ආරක්ෂිත විධිවිධාන වන්නේ, රාජ්‍යයේ නාමය (1 වැනි ව්‍යවස්ථාව), රාජ්‍යයේ ඒකීය භාවය (2 වැනි ව්‍යවස්ථාව), ජනතා පරමාධිපත්‍යය (3 වැනි ව්‍යවස්ථාව), ජාතික කොඩිය (6 වැනි ව්‍යවස්ථාව), ජාතික ගීය (7 වැනි ව්‍යවස්ථාව), ජාතික දිනය (8 වැනි ව්‍යවස්ථාව), බුද්ධාගමේ ප්‍රමුඛ ස්ථානය (9 වැනි ව්‍යවස්ථාව), සිතීමේ, හෘද සාක්ෂියේ සහ ආගමේ නිදහස පිළිබඳ අයිතිය (10 වැනි ව්‍යවස්ථාව) සහ හිංසාවට හෝ කෲර සැලකිල්ලට ලක් නොවී සිටීමේ අයිතියයි. (11 වැනි ව්‍යවස්ථාව).
පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම (62.2 ව්‍යවස්ථාව) සඳහා වන කෙටුම්පතක් සඳහා ද ජනමත විචාරණයක් අවශ්‍ය කෙරේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමට පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන්නේ නම් (30.2 ව්‍යවස්ථාව) ඒ සඳහා ද ජනමත විචාරණයක් අවශ්‍ය කෙරේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාව, ජනමත විචාරණයක් අවශ්‍ය කරන ආරක්ෂිත විධිවිධානයක් නොවන බව හොඳින් පෙනී යයි. ඇත්ත වශයෙන්ම, 1978 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුල් කෙටුම්පත තුළ මේ කියන 4 වැනි ව්‍යවස්ථාව 83 වැනි ව්‍යවස්ථාව තුළට මුලින් ඇතුල් කොට තිබුණි. එය එසේම තිබුණි නම්, එය (4 වැනි ව්‍යවස්ථාව) සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය කරන්නට ඉඩ තිබුණි. එහෙත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුල් කෙටුම්පත සාකච්ඡා කෙරෙන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී එදා අධිකරණ ඇමති දේවනායගම්ගේ යෝජනාවක් මත එම 4 වැනි ව්‍යවස්ථාව 83 වැනි ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ලදි.
(ඉතිරිය ඉදිරියට)