Tuesday, April 16, 2024

බ්ලේක් – ගෝඨා ගැන වාසුගෙන් හෙළිදරව්වක්

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැකසංකා මතු කරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.

පසුගිය 27 වනදා බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම දේශපාලන ප්‍රවණතාව පිළිබඳව කරුණු හෙළි කළේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව ජන සමාජයේ ඇති වූ කඩාවැටීම හරහා “තවදුරටත් දේශපාලනඥයන් එපා, පාර්ලිමේන්තුව එපා, මැතිවරණ එපා, පක්ෂ දේශපාලනය එපා” වැනි මනෝභාවයක් නිර්මාණය වූ බවත් මේ වනවිට එම මනෝභාවය දේශපාලන ප්‍රවණතාවක් බවට පත් කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් දියත්ව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

පාට – පක්ෂ භේද එපා කියන සටන් පාඨය එක්සත් ජාතික පෙරමුණ නිර්මාණය කළ නමුත් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉතා සූක්ෂ්මව එම සටන් පාඨය අධිරාජ්‍යවාදීන්ගේ බල වුවමනාව වෙනුවෙන් පෝෂණය කරන බව මෙහිදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ දේශපාලන ව්‍යාපෘතිය තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ 2020 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක්ද සිටින බව වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලංකාවට පැමිණි රොබට් ඕ බ්ලේක්, කොළඹ විශේෂ දේශනයක් පවත්වමින් මතුව ඇති තත්ත්වයට විකල්පය ලෙස “ගෝඨාභය වැන්නෙකු නිර්දේශ කිරීම” සහ රොබට් බ්ලේක්ගේ මෙරට සංචාරය සංවිධානය කළ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයන් ප්‍රතික්ෂේප කිරීමේ මතවාදය පෝෂණය කිරීම තුළ මේ සැකසහිත අධිරාජ්‍යවාදී බලවේගවල මැදිහත්වීම තහවුරු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ගෝඨභාය රාජපක්ෂ මෙරට දේශපාලනයේ ස්ථාන ගතකිරීමේ වුවමනාව ඇමරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතාවය මත සිදුවන්නක් බව මීට බොහො කළක සිට යම් යම් කණ්ඩායම් මතු කරමින් සිටි අතර පසුගිය රාජපක්ෂ සමයේ ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුම අත්සන් කළේද ගෝඨාභය රාජපක්ෂ සහ රොබට් ඕ බ්ලේක් දෙදෙනා විසිනි.

එමෙන්ම අද ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ මීලඟ ජනාධිපතිවරයා කළ යුතු බව සෘජුවම පවසන විමල් වීරවංස වැනි මන්ත්‍රීවරු මීට වසර ගණනාවක සිට මිලින්ද මොරගොඩ මහතා හැඳින්නූවේද ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාව කෙරෙහි යොමු කර ඇති ඒජන්තයා බව කියමිනි.

 by 

 

Archive

Latest news

Related news