Wednesday, May 8, 2024

4000 වඳ කිරීමේ කතාව යථාර්ථයක් නොවේ. – වෛද්‍ය SHO ගාමිණී විමලරත්න මහතා

කුරුණෑගල රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය SHO ගාමිණී විමලරත්න මහතා ගේ අදහස, 4000 වඳ කිරීමේ කතාව යථාර්ථයක් නොවන බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෑ කිවයුතුව තිබුණත් පවතින වාතාවරණය තුළ නිහඬව සිටින්නට උත්සාහ කළෙමි. නමුත් වගකිවයුතු දැනුමැත්තන්ගෙනුත් යම්‍ යම් නිවැරැදි නොවන ප්‍රකාශයන් නිකුත් වෙන බව පෙනෙන හෙයින් යමක් කිවයුතු බව හැගුණි.

ප්‍රථමයෙන්ම මේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා පිළිබඳව මාගේද එතරම් ප්‍රසාදයක් නැති බව කිව යුතුය. මා ඔහු දන්නා නමුත් අප අතර ඇසුරක් නොමැත.

මම කුරුණෑගල ශික්ෂණ රෝහලේම නාරි හා ප්‍රසවවේද අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි වරයෙක් ලෙස දීර්ඝ කාලයක අත්දැකීම් ඇත්තෙක්මි. හරිහැටි ගනන් බලා නොතිබුණත් මා සිසේරියන් සැත්කම් 4000කට වඩා කර ඇත.

“සිසේරියන් සැත්කමකදී ශල්‍ය කර්මය සිදුකරන වෛද්‍යවරයාගේ සහායට තවත් වෛද්‍යවරයෙක් සහ මනා පුහුණුවකින් යුත් හෙදියක් සහභාගී වේ. ශල්‍යකර්මයේ සියලුම පියවරයන් පිළිබඳ ඔවුන් මනාලෙස දැනුම්වත්‍ ය. ඔවුනගේ ඇස් වසා පැලෝපීය නාල ගැටගැසීමක්වත් ඒවා කැපීමක්වත් කළ නොහැක. මන්ද යත් එම ක්‍රියාවන් හට අවශ්‍ය උපකරණ, නූල් යනාදිය සැපයිය යුත්තේ සහායක හෙදිය විසින් බැවිනි. පැලෝපීය නාල යනු ඉතා කුඩා අන්වීක්ෂීය ඉන්ද්‍රියයන් නොවේ. ඒවා උපකරණයක් ඇසුරෙන් Clamp කළහොත් මනාව අවට සිටින්නන්ට දර්ශනය වේ”. නමුත් අනිත් අයගේ ඇස් වසා එක දෙයක් කළ හැකි බව කිවයුතුයි. එනම් තම ඇගිලි තුඩුවලින් නාල මිරිකා තැලීමකට ලක් කළ හැකියි. මෙයින් නාල වලට කිසියම් වූ හානියක් ඇති කළ හැකියි. එහෙත් ප්‍රායෝගිකව එම නාල නැවත යථා තත්වයට පත්වීමේ හැකියාව වැඩියි. කරුණු මෙසේ හෙයින් මේ 4000 වඳ කිරීමේ කතාව යථාර්ථයක් නොවෙන බව මගේ හැගීමයි. කලකට පෙර ශල්‍යකර්ම වලදී වකුගඩු ඉවත්කරන බවට පළ වූ කතාව සිහිපත් කරමි.

මෙහි පළ වූ තවත් අදහසක් ගැන අවධානය යොමුකරමි. එනම් නිසරු කාන්තාවන් හට කරණ පරීක්ෂණ හෝ ශල්‍යකර්ම වලදී නාල වලට හානි කිරීමට ඇති හැකියාව ගැනයි. පරීක්ෂණ (HSG වැනි) වලදී නාල අත නොගැසෙන බැවින් එවැනි යමක් කළ නොහැකියි. නාල සම්බන්ධ ශල්‍යකර්ම සාමාන්‍යයෙන් VOG වරයෙකුගේ මූලිකත්වයෙන් මිස SHO කෙනෙකුගේ මූලිකත්වයෙන් සිදුනොවේ.

අවසාන වශයෙන් මෙසේ කිවයුතුය. මෙකියන වෛද්‍යවරයා ඔවැනි දෙයක් කළා නම් සහායකයින්ගේ සහායෙන් තොරව එවැන්නක් කළ නොහැක.

මා ඉතා හොදින් දන්නා පරිදි එවැනි නිර්ලජ්ජිත සහායක වෛද්‍යවරුන් හෝ හෙද නිලධාරීන් කුරුණෑගල රෝහලේ නොමැත.

“එසේ හෙයින් සමාජ මාධ්‍යයක මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී පරෙස්සමින් හා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව කාරුණිකව ප්‍රකාශ කරමි”.

වෛද්‍ය SHO ගාමිණී විමලරත්න

BaduSure

Archive

Latest news

Related news