Friday, March 29, 2024

දේශපාලනය කළ ව්‍යාපාරිකයෙකු අයි.එස්. ත්‍රස්තයෙකු ලෙස නම් කළ බුද්ධි හීන බුද්ධි කොට්ඨාසය

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයද පසුගිය 15 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව අයි.එස්. ත්‍රස්තයෙකු බව සඳහන් කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නේ වත්තල මාබෝලෙනි. එම්.ඉෂෙඩ්.එම්. රිස්වාන් නැමැති එම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාය. ඉකුත් පළාත් පාලන මැතිවරණයටද ඔහු තරග කර තිබිණි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් රිස්වාන් අත්අඩංගුවට මාබෝලේ ඔහුට අයත් සුවිසල් නිවසේදීය. මේ ව්‍යාපාරිකයා හිටි හැටියේම කෝටිපතියෙක් වූවෙකි. සිය උපන් ගම වන මාලිගාවත්තේ ත්‍රී රෝද රථයක් පදවමින් සිටි ඔහු නැව් බඩු සමාගමකට සම්බන්ධ වී වාප්පු ලිපිකරුවෙකු ලෙසද කලක් සේවය කර ඇත්තේය. දැන් ඔහු නැව්බඩු සමාගමක හිමිකරුවෙකි.

බස්නාහිර බුද්ධි කොට්ඨාසයට ලැබී තිබුණු තොරතුරුවලට අනුව ඔහු සහරාන් සමඟද ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැත්වූවෙකි. මාබෝලේ පිහිටි ජාතික තවුහිත් ජමාත් පල්ලි දෙකක සභාපතිවරයා වන්නේත් ඔහුය. විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් රිස්වාන්ගේ නිවස වටලන්නේ එබැවිනි. සැකකටයුතු කිසිවක් එම වැටලීමේදී නිවෙස් දෙකෙන් එකකින්වත් සොයාගන්නට නොවීය. එය එසේ වූවත් අයි.එස්. සැකකරුවෙකු ලෙස බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන වත්තල පොලිසියට භාරදෙන්නේ දීර්ඝ විමර්ශනයකට මුල පුරමිනි. ඒ ඔහුගේ නිවසේ තිබී සොයාගත් වායු පිස්තෝලයක් සහ එම අවියට යොදන පතොරම් රැසක් සමඟිනි.

වායු පිස්තෝල වගා හානි කරන සතුන් පලවා හරින්නට ගොවීන් බහුල වශයෙන් භාවිතා කරන අවියකි. ඊට බලපත්‍රවල අවශ්‍යතාවක් පැන නඟින්නේ නැත. එහෙත් මේ වැටලීමට සම්බන්ධ වූ නිලධාරියෙකු මාධ්‍යයට ඉතා ඕනෑකමින් පවසන්නේ ජර්මනියේ නිෂ්පාදිත හඳුනා නොගත් පිස්තෝලයක් රිස්වාන් සතුව තිබී සොයාගත් බවය. එසේම රිස්වාන් කිසි දිනක ඇසුරු කර හෝ කතාබස් කර ද නැති බව හෙළිකරන මාකඳුරේ මධුෂ්ගේ සම්බන්ධයකටද පටලවා තිබිණි.

රිස්වාන්ගේ දේශපාලන ගුරුවරයා වත්තල මාබෝල නගර සභාවේ හිටපු සභාපතිවරයා මෙන්ම වත්මන් විපක්ෂ නායක මොහොමඩ් නෞෂාඩ්ය. රිස්වාන් අත්අඩංගුවට ගන්නා විට ඔහු සිටින්නේ ඉන්දියාවේය. එදින ලංකාවට පැමිණි වහාම ඔහු වත්තල පොලිසියට යන්නේ සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගන්නටය. එය සැලසුම් සහගත පැටලවීමක් බව පෙනී යන්නේ එවිටය. ඒ බව ඔහු තමන් දන්නා හඳුනන හැමෝටම කියා 18 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. රිස්වාන් ගැන කතාකළ නෞෂාඩ්ට ද අයි.එස්. ලේබලය ඇලවිනි. ඒ වත්තල පිහිටි ජාතික තවුහිත් ජමාත් පල්ලි හතරක ඔහු සභාපතිධුරය දරන බව සඳහන් කරමිනි. එහෙත් සොයාගෙන යනවිට හෙළි වූයේ රිස්වාන්ට හා නෞෂාඩ්ට සභාපති කම් දරන්නට වත්තල මාබෝල අවට එකම තව්හිද් ජමාද් පල්ලියක්වත් නොමැති බවය.

දැන් හෙළි වී ඇති ආකාරයට රිස්වාන්ට සහරාන් සමඟ හෝ තව්හිද් ජමාද් සමග හෝ අයි.එස්. සංවිධානය සමඟ කිසිදු සම්බන්ධයක් නැත. ඔහු පොදු කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කරන්නෙකි. දිගන සිදු වීමත් සමඟ ඇවිලෙන්නට ගිය වත්තල මුස්ලිම් වැසියන් පොලිසිය සමඟ එක්ව පාලනය කළේද ඔහුය. ඔහු පොලිසියේ සම්පත් දායකයෙක්ව සිටියේය.

රිස්වාන් තනිකරම අයි.එස්. ත්‍රස්තයෙක් බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබී ඇති තොරතුරු . සනාථ කරන්නට තවමත් ඔවුන්ට කිසිම හැකියාවක් ලැබී නැත. රාජ්‍ය බුද්ධි සේවය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද රිස්වාන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදීද තහවුරු වන්නේ ඔහු නිදොස් පුද්ගලයෙක් බවය. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට රිස්වාන් සම්බන්ධයෙන් මෙරතරම් වැරැද්දක් සිදුවූයේ ඇයි දැන් සොයමින් සිටී.

සිළුමිණ

Archive

Latest news

Related news