Monday, May 20, 2024

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් සඳහා හානිපූරණය සඳහා ඉල්ලුම් කළ හැකි අයුරු – සුලෝචනා රාජපක්ෂ

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ආගමික වතාවත් වල යෙදී වුන් කිතුණු භක්තිකයන් සහ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකට සිදු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකිකයන් හට ත්‍රාසය සහ දුක කැඳවීමට සමත් විය. මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 253 වන අතර 485 කට අධික තුවාලකරුවන් රෝහල් ගත කර ඇත.

මෙම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ලබා දීම උදෙසා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙතෙක් වන්දි ලබා දීම සඳහා වූවේ, දේපළ සහ කර්මාන්ත පුනුරුත්ථාපනය කිරීමේ අධිකාරියයි (REPPIA) .එය 1983 කළු ජූලිය සහ ජ.වි.පෙ කළකෝලහාල තුළින් වූ විනාශය සඳහා වන්දි ලබා දීම අරමුණු කරගෙන ඇති විය. මෙය හදිසි නීති රෙගුලාසි යටතේ 1983 අගෝස්තු 08 වන දින විශේෂ ගැසට් නිවේදනයක් යටතේ ඇති වූවකි.

හානිපූරණය සඳහා වන කාර්යාල සඳහා වන පනතේ 26 වන කොටසේ සඳහන්ව ඇති ආකාරයට 1987 අංක 29 දරන තැනැත්තන්, දේපළ සහ කර්මාන්ත පුනුරුත්ථාපනය කිරීමේ පනත (REPPIA) මෙයින් ඉවත් කර ගන්නා ගන්නා ලදී. හානිපූරණය සඳහා වන කාර්යාලය ස්ථාපිත කිරීමට ප්‍රථමව තැනැත්තන්, දේපළ සහ කර්මාන්ත පුනුරුත්ථාපනය කිරීමේ කාර්යාලය ඔස්සේ වන්දි මුදල් ලබා දීම සිදු වුවත් එහි ඇති නොයෙකුත් අඩු ලුහුඬු කම් සහ පටු ස්වභාවය හේතුකොට ගෙන හානිපූරණය සඳහා වන කාර්යාල පනත 2018 ඔක්තෝම්බර් මස සම්මත විය. 2019 අප්‍රේල් මස හානිපූරණය සඳහා වන කාර්යාලය පිහිටවණු ලැබීය.

හානිපූරණය සඳහා වන කාර්යාලය ඔස්සේ වන්දි ලබාදීමට එහා ගොස් පුළුල් පරාසයක් ඔස්සේ වින්දිතයන්ට සහන සැලසීම සිදුවේ. පීඩාවට පත් තැනැත්තන්ට මනෝ සමාජීය සහය, ශාරීරික හානි සිදු වුවන් වෙත සහය, එදිනෙදා ජීවිකාවන් සඳහා සිදුව ඇති හානි සඳහා සහය සහ පවුලේ සාමාජිකයකු මියයාම යනාදී සියලු අංශයන් සඳහා මෙම හානිපූරණය සඳහා වන කාර්යාල ඔස්සේ සේවා සපයනු ලැබීම සුවිශේෂිය. සරළව කිවහොත් හානිපූර්ණය මඟින් ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් වේදනා විඳි වින්දිතයන් සඳහා සහන සලසනු ලැබේ. වින්දිතයන්ගේ හිමිකම් යළි ගොඩනැගීම හා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය විසින් පියවර ගැනීම මෙමඟින් සිදු වේ.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ වින්දිතයන් සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග

 21වන දින පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර වලින් පීඩාවට පත් වූ වින්දිතයන් සඳහා අවශ්‍ය කරන පූර්ව ගෙවීම් සිදු කිරීමේ අවශ්‍යතාව හානිපූරණය සඳහා වන කාර්යාල මඟින් හඳුනාගෙන ඇත.

2019.04.24 වන දින නිකුත්වූ නො. 19/1266/105/043 දරණ කැබිනට් තීරණය අනුව වින්දිතයන්හට පහත ආකාරයේ වන්දි මුදල් ප්‍රධානය කිරීම සිදුවේ:

  • මරණයට පත්ව සහ නිත්‍ය ලෙස ආබාධිතව ඇති වින්දිතයන් සඳහා රුපියල් මිලියන එකක මුදලක් ලබාදීම.

  • තුවාල ලැබූ සෑම අයකුටම (අනතුරු වී ඇති ප්‍රමාණය අනුව) රුපියල් 500,000 ක උපරිමයකට යටත් මුදලක් ප්‍රධානය.

  • රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ නියමය පරිදි හානිවී ඇති පෞද්ගලික දේපළ සඳහා රුපියල් මිලියන 5 ක උපරිමයකට යටත්ව මුදල් ප්‍රධානය කිරීම සිදුවේ.

තවද, මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ ඉතාම කිට්ටු ඥාතියා සඳහා පෙර ගෙවුම් සිදු කිරීම හදිසි මරණ පරීක්ෂක වාර්තාව සහ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ඇතුව, මහේස්ත්‍රාත් විසින් ජිවිතක්ෂයට පත්වූ පුදගලයාගේ දේහය නිකුත් කිරීමේදී දෙන ලද වන්දි ලබාදීමට අවශ්‍ය වන ලේඛන ආධාර කොට ගෙන ක්‍රියාත්මක වේ.

හානිපූරණය ලබා ගැනීමට අවශ්‍ය ලේඛන මොනවාද ?

හානිපූරණය සඳහා වන කාර්යාලය මඟින් වන්දි මුදල් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත.

ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ ඉතාම කිට්ටු ඥාතියා සඳහා වන්දි මුදල්:

  • හානිපූරණය සඳහා වන කාර්යාලය මඟින් නිකුත් කරන ලද ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද පිටපත් දෙකක් සමග සහන සේවා අයදුම්පත. මෙය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ලබා හැක.

  • මරණ සහතිකය 

  • ජිවිතක්ෂයටපත් පුද්ගලයාට ඇති ඥාතීත්වය සනාථ කිරීම සඳහා ලේඛන (විවාහ සහතිකය, විවාහක නම්/ යැපෙන්නාගේ උප්පැන්න සහතිකය)

  • බැංකු ගිණුම් තොරතුරු (ඉල්ලුම්කරුගේ සහ යැපෙන්නාගේ)

  • ඉල්ලුම්කරුගේ සහ යැපෙන්නන්ගේ ජාතික හැඳුනුම්පතේ පිටපත්

තුවාල වූ පුදගලයකුට වන්දි මුදල්:

  • හානිපූරණය සඳහා වන කාර්යාලය මඟින් නිකුත් කරන ලද ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද පිටපත් දෙකක් සමග සහන සේවා අයදුම්පත. මෙය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ලබා හැක. 
  • වෛද්‍ය සහතිකය වෛද්‍ය සහතිකයේ ස්වරූපය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගත හැකිය.

  • සාමාන්‍ය වවුචර 35ක් (පිටපත් 2ක් සමඟ)

  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය

  • බැංකු ගිණුම් තොරතුරු

  • ඉල්ලුම්කරුගේ සහ යැපෙන්නන්ගේ ජාතික හැඳුනුම්පතේ පිටපත්

ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සඳහා වන්දි:

  • කටුවපිටිය සෙන් සෙබෙස්තියන් දේවස්ථානයෙහි සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 92ක් සඳහා රුපියල් 82,800,000.00ක මුදලක්

  • මඩකළපුව සියොන් දේවස්ථානයෙහි සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 27ක් සඳහා රුපියල් 21,200,000.00ක මුදලක්

  • කොච්චිකඩේ සෙන් ඇන්තනී දේවස්ථානයෙහි සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 18ක් සඳහා රුපියල් 12,150,000.00ක මුදලක්

  • ශැංග්‍රිලා හෝටලයෙහි සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 04ක් සඳහා රුපියල් 2,800,000.00ක මුදලක්

  • සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙහි සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 03ක් සඳහා රුපියල් 1,400,000.00 ක මුදලක්

  • කිංග්ස්බරි හෝටලහි සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 01ක් සඳහා රුපියල් 900,000.00ක මුදලක්

  • නිව් ට්‍රොපිකල් ඉන් (දෙහිවල සත්වෝද්‍යානයට ආසන්නව) හි සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 02ක් සඳහා රුපියල් 1,100,000.00ක මුදලක්

අනතුරට පත්වූ පුද්ගලයන් සඳහා වන්දි:

  • කටුවපිටිය සෙන් සෙබෙස්තියන් දේවස්ථානයෙහි සිදු වූ පිපිරීමෙන් අනතුරට පත්වූ පුද්ගලයන් 137දෙනෙකු සඳහා රුපියල් Rs. 13,425,000.00 ක මුදලක්

  • මඩකළපුව සියොන් දේවස්ථානයෙහි සිදු වූ පිපිරීමෙන් අනතුරට පත්වූ පුද්ගලයන් 35දෙනෙකු සඳහා රුපියල් 3,675,000.00 ක මුදලක්

  • කොච්චිකඩේ සෙන් ඇන්තනී දේවස්ථානයෙහි සිදු වූ පිපිරීමෙන් අනතුරට පත්වූ පුද්ගලයන් 04ක් සඳහා රුපියල් Rs. 1,300,000.00 ක මුදලක්

ඇතැම් වින්දිතයින්ට හදිසි සහනයක් ලෙස පෙර ගෙවුම් සලසණු ලැබුවද, අනෙකුත් වින්දිතයන් හට පූර්ණ / අර්ධ වන්දි ලබා දී ඇත්තේ අවශ්‍ය ලියකියවිලි මත පදනම්ව බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

සියලුම වින්දිතයින්හට වන්දි ලබාදීමේ ක්‍රියාවලිය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සැලකිල්ලට ගන්න.

තොරතුරු දැන ගැනීම සඳහා සම්බන්ධ විය යුතු පුදගලයන්:

ආනන්ද විජේපාල මහතා (අධ්‍යක්ෂක):+94 112575826 හෝ ජේ. පී. ශාන්තා පද්මසිරි මහතා (සහාය අධ්‍යක්ෂක): +94 112575831

Archive

Latest news

Related news