Thursday, May 2, 2024

මෛත්‍රී – රනිල් යටගහපු රාජපක්ෂ ආර්යාවගේ “සිරිලිය සවිය” ගිණුමේ වංචා මෙන්න..!

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ‘සිරිලිය සවිය’ නමින් කොළඹ 10 සුදුවැල්ල මහජන බැංකුවේ 143-1-001-6235069 දරන බැංකු ගිණුමක් පවත්වාගෙන යන ලද අතර මෙම ගිණුම හරහා සිදුකල දුෂිත ගණුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂන චෝදනා විමර්ෂණ කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින්  අංක ACC/FC/2025/90 යටතේ කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකරන ලද නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය පන්නා දැමීමෙන් පසුව එම පරීක්ෂණ කටයුතු සදහා සිදුවුයේ කුමක්දැයි අල්ලස් හෝ දුෂන කොමිෂමේ නිලධාරීන් පවා කිසිවක් නොදන්නා බව වාර්තාවේ. මේ වනවිට එම විමර්ශණ වාර්තා අතුරුදහන්වී ඇති බවද අප වෙත වාර්තාවේ.

පසුගිය රාජපක්ෂ කළු දශකය තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූ හා ජනමාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වූ සංවිධායකි “සිරිලිය සවිය”. විවිධ සමාජ සත්කාර මුවාවෙන් දැවැන්ත ධනස්කන්දයක් ඒකරාශි කර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රිය බිරින්දෑ වන ශිරන්ති රාජපක්ෂ මෙම සිරිලිය සවියේ හිමිකාරියයි.

හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් හදුනාගන්නා ලද “සිරිලිය සවිය” ගිණුම හරහා සිදු වූ මූල්‍ය වංචා ප්‍රමානය අතිමහත්ය. ඉන් කිහිපයක් පහත දැක්වේ.

01. මෙම බැංකු ගිණුම ශිරන්ති රාජපක්ෂ විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් 2006.11.14 දින “සිරිලිය සවිය” නමින් ආරම්භ කර ඇති අතර එලෙස බැංකු ගිණුම් ආරම්භ කිරීම, ඊට මුදල් බැර කිරීම, එම ගිණුමේ මුදල් ආපසු ලබාගැනීම සම්බන්ධයෙන් සැකකටයුතු අවස්ථා රාශියක් පවතියි.

02. කුප්‍රකට ඇවන්ගාඩ් සමාගමෙන් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහයෙන් කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයන් විසින් මෙම ගිණුමට අයතා අයුරින් මුදල් තැන්පත් කර ඇති බව අනාවරණය වේ.

03. තවද චීනයේ බීජින් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති 2013.01.15 දිනැති විගණන විමසුමට අනුව එම තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන March Event උත්සවය සඳහා එකතු කරනලද මුදලින් රුපියල් 7,003,296.00ක මුදලක් මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව මෙම ගිණුමට බැරකර ඇත.

03. මෙම සිරිලිය සවිය ගිණුමට අවස්ථා 88කදී රුපියල් 82,900,089.00ක මුදලක් විවිධ පාර්ශව විසින් තැන්පත් කර ඇති අතර මෙම ගිණුමින් අවස්ථා 129යකදී රුපියල් 39,015,651.00ක මුදලක් ආපස් ලබාගෙන ඇත. මෙම ගිණුමට අමතරව සිරිලිය සවිය සංවිධානයට රුපියල් 10,000,000.00ක ස්ථාවර තැන්පත්වක්ද පවතියි.

04. මෙම ගිණුමේ මුදල් උපයෝගී කර ගනිමින් ශිරන්ති රාජපක්ෂ විසින් කොළඹ 07 ටොරින්ටන් මාවතේ අංක 260/17 හි පිහිටි නිවසක් රුපියල් 35,000,000.00කට මේරි ලූඩ්ස් වික්‍රමසිංහ නමින් මිලටගෙන ඇති බවද විමර්ශන මගින් තහවුරු වී ඇත.

මෙම විමර්ශන සම්බන්ධයෙන්  මෛත්‍රී මෙන්ම රනිල් වික්‍රමසිංහ විසින් කරනලද බලපෑමට අනුව ශිරන්ති රාජපක්ෂට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැත. ජනපති හා අගමැති එක්ව රාජපක්ෂ පවුලට අයත් පරීක්ෂණ යටගැසීමට අදාල මැදිහත්වීම් සිදුකරන බව මේවනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත.

පසුගිය කාලය තුල “සිරිලිය සවිය” ගිණුමට අදාලව සිදු වූ එකම ක්‍රියාදාමය වූයේ ශිරන්ති රාජපක්ෂ කතානායක නිලනිවසට කැඳවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් ප්‍රකාශයක් සටහන් කරගැනීම පමණි. එහිදී ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ හට දුරකථනයෙන් කතා කොට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂයට චූදිතයා පැමිනෙනවා වෙනුවට කතානායක නිලනිවස වෙත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ගොස් මෙම ප්‍රකාශය ලබාගන්නා ලදී.

නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා CRS/03/2016 යටතේ මීට වසර දෙකකට පෙර “සිරිලිය සවිය” ගිණුමට අදාල විමර්ශන නීතිපතිවරයා වෙත යවා ඇතත් ඉන් පසුව මෙම පරීක්ෂන සඳහා සිදුවූයේ කුමක්දැයි මේවනවිට කිසිවෙකුත් නොදනියි.

උපුටා ගැනීමකි.

 

Archive

Latest news

Related news