Monday, May 20, 2024

කිතුණුවනි ස්තූතියි! – සුලෝචනා රාජපක්ෂ

අප රටක් ලෙස නොයෙක් ජාතීන් ගෙන් නොයෙක් ආගම් වලින් හා සංස්කෘතීන් කිහිපයකින් පෝෂණය ලැබූ අවුරුදු 2500 ක ශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන සියලු ආගම් ජාතීන් එක්ව වාසය කල ස්වෛරී රාජ්‍යකි. ධම්මපදය, බයිබලය,වේද සහ කුරාණය යන සියල්ල මේ භුමිය තුල වෙනස් කමට ලක් නොවිණි. 2500 ශිෂ්ටාචාරයක් ,අවුරුදු 500ක යටත්විජිත වාදය, අවුරුදු 71ක් වූ නිදහස, 30 වසරක යුද්ධය, රට තුළ පැන නැගි ජවිපෙ කැරළි දෙකක් සහ සුනාමිය මේ රට අද සිටින තත්වයට නිර්මාණය වී ඇත. මේ සෑම දෙයක් මතින්ම ශ්‍රී ලංකාව නැතහොත් ශ්‍රී ලාංකිකයන් පන්නරය ලබා ඇත.

අන්තවාදයෙන් ත්‍රස්තවාදයට

අන්තවාදී කණ්ඩායම් වත්මන් ලෝකයේ ආගන්තුක දෙයක් නොවෙති. ඕනෑම රටක, ඕනෑම ජාතියක, ඕනෑම ආගමක අන්තවාදී කොටස් දැකගත හැක. මෙම අන්තවාදය කාලයත් සමඟ ත්‍රස්තවාදයට පරිවර්තනය වේ. අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ශ්‍රී ලංකිය කතෝලික, ක්‍රිස්තියානි, සාමාන්‍ය ජනයා සහ විදේශික සංචාරකයන් මිලේච්ඡ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර වලට ලක්විය. 21 වන පාස්කු ඉරු දින පමණක් නොව, එය දින ගණනාවක් පුරාවටම සිදු වෙමින් පවතී. මෙය මෑතකාලීන ශ්‍රී ලංකීය ඉතිහාසයේ සිදු වූ ඉතා ඛේදජනකම සිද්ධිය ලෙස හැඳින්විය හැක.

මෙම අවස්ථාවේ සියල්ලන් එකාවන්ව ක්‍රියා කළ යුතු මොහොතකි. ත්‍රස්තවාදීන් ලෙයින් තම දෙවියන් පුදයි නම් ඔබ එහි කොටසක් නොවන්න. සිංහලයන්, කිතුණුවන්, බෞද්ධයන්, හින්දුන්, මුසල්මානුවන් හෝ ඉස්ලාම් ලබ්ධිකයන් ලෙස බෙදා වෙන්වී ත්‍රස්තවාදීන්ගේ අවශ්‍යතාවන් පිරිමැසීමට අප ක්‍රියාත්මක නොවිය යුතුයි.

බොහොමයක් ප්‍රදේශ වල සුදු කොඩි වැල් වලින් වැසී ගොස් ඇත. එකෙකු දෙදෙනෙකු නොව, පවුල් පිටින් මිහිදන් වේ. කුඩා දරුවන් තම දෙමව්පියන්ගේ දේහ අසල අසරණව ඇත. දෙමව්පියන් කුඩා මෘත සිරුරු මත හඬා වැළපේ. අඳුරු අහස යට සුදු ලෝගු ඇඳි පියවරුන් මෘත දේහ කර ගසයි. මෙය කිසි රටක් කිසිම ජාතියක් මුහුණ දිය යුතු තත්වයක් නොව. එතරම්ම එය ඛේද ජනකය. ඔබ අප කිසිදෙනක මෙය බලාපොරොත්තු වුවක් නොව.

බෞද්ධ හැගිමක්

බෞද්ධ පරිසරයක හැදී වැඩුණු බෞද්ධයකු ලෙස මා හට බයිබලය පිළිබඳ මනා දැනුමක් නැත, කිසිදා කියවාද නොමැත, නමුත් මෙම සිද්ධි දාමයේදී මාධ්‍ය ප්‍රකාශ සිදු කිරීමේදී, කුඩා දරුවන් වලදැමිමේදී කිතුණු පියතුමන් සුදු ලෝගුවෙන් සැරසී සියල්ල සම සිතින් විඳ දරා ඉතා සංයමයෙන් හැසිරුණ ආකාරය බෞද්ධ මා තුල ඉතා පැහැදීමක් ඇති කරලීය. එමෙන්ම කිතුණුවන් අද වන තුරුද සීලයක් රකිනවාක් මෙන් කිසිම මුස්ලිම් අයකුට වචනයෙන් වත් හානියක් නොකිරීම තුළ, මා කිසිදා නොකියවූ මුත් බයිබලය තුළ පිරුණු ආදරය දැනෙන්නට විය, දකින්නට ලැබුණි. කිතු උපතේ සිට මරණය දක්වා ජේසුස් වහන්සේ වදාළ ප්‍රේමයේ ධර්මය කිතුණුවන් තම ක්‍රියා පිළිවෙත තුල ලඟා කරගෙන ඇති බව පැහැදිලිව දක්නට ඇත.

ජුදාස්ට සාප කරණු, පිලාත්ට වෛර කරණු වෙනුවට කිතුණුවන් වෙරෝනිකාවන් සහ සීමොන් සිරිනේවුස් වන්නවුන්ව ඇත. එය තවත් කළු ජූලියක් වැළක්වීමට සමත් විය. මෙම සංයමය නොවන්නට ලංකාව එකම ලේ විලක් වන්නට තිබුණි. ත්‍රස්තවාදීන් හට, ඉස්ලාමීය අන්තවාදීන් හට කිතුණුවන්ගෙන් මේ ආදරය කරුණාව උදුරා ගත නොහැකි විය.

පියාණනි ඔවුනට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔවුහු නොදනිති” ලූක් 23:34

ඇසට ඇසක් වෙනුවට, එක කම්බුලකට ගැසූ විට අනෙක් කම්බුලද දක්වා සතුරාට මෙත් වඩන ඔබේ ශක්තිය සියල්ල අභිබවයි.

ත්‍රරස්තවාදීනි, ඔබ මේ කුඩා දුපත තුළ කුඩා දරුවන්, මව්ව්වරුන්, පියවරුන්, තරුණයන්, අරක්ශක අංශවල නියුත්තන්, විදේශිකයන් බිලිගත්තා විය හැක, නමුත් ඔබේ මිලේච්ඡ ලේ පිපාසවන් සඳහා මේ අසිරිමත් දූපත සතු මනුසත් කම බිලිගත නොහැකි විය. ආගමේ නාමයෙන් මිලේච්ඡයන් විය නොහැක. අගෙයි කිතුණුවනි, ඔබ මනුෂ්‍යත්වය කුමක්දැයි, කිතුණු දහම කුමක්දැයි මිලේච්ඡයන් හට පසක් කරලීය. අපි නැගිටිමු එකාවන්ව, නොබෙදුණු බෙදන්නට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් ලෙස.

Archive

Latest news

Related news