Monday, May 20, 2024

අවස්ථාවාදී, ජාතිවාදී ගැටුම් වාසි සලසන්නේ ත්‍රස්තවාදයටයි – ටිල්වින් සිල්වා

 

21 වැනිදා අවසනාවන්ත ප‍්‍රහාරයෙන් පසුව සති තුනක් ගතවී තිබියදී තවමත් එයින් අපේ රටට මිදෙන්න බැරිවෙලා තිබෙනවා. එදින එල්ල වූ ප‍්‍රහාරයෙන් පසුව රට ඉතා අනතුරුදායක තත්වයකට පත්වුණා. ජනතාව තුළ විශාල බියක්, සැකයක් නොසන්සුන්තාවයක් ඇතිවෙලා තිබෙනවා. දැන් සිදුකළ යුතුව තිබෙන්නේ, බිය සැක දුරු කරලා නැවතත් සාමාන්‍ය තත්වයට රට ගෙන ඒම සහ ඉස්ලාම් අන්තවාදීන් මුළුමනින්ම පරාජය කිරීමයි. අපේ රටේ ආරක්‍ෂක අංශ එම ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් මැඩ පැවැත්වීම සඳහා මැදිහත් වුණා. අන්තවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගත්තා. ඔවුන් සතුව තිබූ විවිධ අවි අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගේ යාන්ත‍්‍රණය අඩපණ කළා. ඒ වගේම පොදු ජනතාව කලබල නොවී ආරක්‍ෂක අංශවලට සහයෝගය ලබාදුන්නා. පසුගිය සති තුනක කාලය ගතවුණේ මෙහෙමයි. සියලූම දෙනාට අවශ්‍ය වී තිබුණේ අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත්කර ගැනීමයි.

එසේ තිබියදී පසුගිය දවස් දෙක-තුනක කාලය තුළ නැවතත් රට තුළ නොසන්සුන්තාවයක් ඇතිකොට තිබෙනවා. කුරුණෑගල, හලාවත සහ ගම්පහදී ජාතිවාදී ගැටුම් කිිහිපයක් වාර්තා වුණා. 21දා සිදුවුණු ඉතාමත් හානිකර අන්තවාදී ප‍්‍රහාරයෙන් පසුව එම වේදනාව එසේම තිබියදී එය සමහන් කිරීමට බාධා කරමින් නැවත වටයකින් අවස්ථාවාදී අන්තවාදී පිරිසක් ගැටුම් නිර්මාණය කරමින් සිටිනවා. පහුගිය කාලයේ සිංහල මෙන්ම මුස්ලිම් නායකයොත් ජාතිවාදය පෝෂණය කළා. ඊළඟ බලයට එන්න බලාගෙන ඉන්න කණ්ඩායම්, ජනාධිපති හීන දකින පුද්ගලයින් එම ජාතිවාදයට උදව් කළා. දැන් හෙළිදරව් වෙලා තිබෙන කරුණුවලට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ධුරය දරන කාලයේ අන්තවාදීන්ට සහ ජාතිවාදීන්ට එකම ගිණුමෙන් මුදල් ලබාදීලා තිබෙනවා. ඔවුන්ගේ අරමුණ ජනතාව තුළ බියක් හදලා එම භීතිය පාවිච්චි කරලා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමයි. ඔවුන්ගේ වුවමනාවන් ඉටුකරන ජාතිවාදී, අන්තවාදී සුළු කණ්ඩායමක් ගැටුම් හදන්න කටයුතු කරනවා. මේ ගැටුම් නිසා නැවත වතාවක් මර්දනය කරන්න හදන අන්තවාදයට හිස ඔසවන්න ඉඩක් හදනවා. ඉස්ලාම් අන්තවාදීන්ගේ කි‍්‍රයා සාධාරණීකරණය කරගන්න අවස්ථාවක් හදලා දෙනවා.

මෙම ජාතිවාදී ගැටුම ජනතාවට හිතකර දෙයක් නොවෙයි. මුළුමහත් සමාජයටම බරපතළ හානි ගෙන දෙන්නක්. ආරක්‍ෂක අංශ තවමත් මෙහෙයුම් කරමින් තිබෙන්නේ ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම් මර්දනය කිරීමටයි. එවැනි අවස්ථාවක රට තුළ ජාතිවාදී ගැටුම් ඇතිකිරීම තුළින් සිදුවන්නේ ආරක්‍ෂක අංශවල අවධානය එම ජාතිවාදී ගැටුම් වෙතට යොමුවීමයි. ඒමගින් උමතු ඉස්ලාම් අන්තාවාදී කණ්ඩායම් පිළිබඳව අවධානය ආරක්‍ෂක අංශවලින් ගිලිහෙනවා. එම නිසා තැන තැන ඇතිවන මේ ජාතිවාදී ප‍්‍රහාර අවසන් වාසිය ගෙන දෙන්නේ අන්තවාදීන් සහරාන්ලාටයි. අපේ රටට මෙවැනි තත්වයක් උදාවීමට හේතු වුණේ ජාතික සමගිය නැතිවීමයි. ජාතිවාදී රෝගයෙන් පෙළීමයි. 21වැනිදා ප‍්‍රහාරයේදී අපේ රටට අහිමි වුණේ ජීවිත 300කට ආසන්න ප‍්‍රමාණයක්. නමුත් 83 දෙමළ ජනතාවට එරෙහිව ඇති කළ කෝලාහලයෙන් විශාල ලෙස ජීවිත, දේපළ විනාශ කළා. ඒ මොහොතේ කඩ ගිනි තියපු අය සතුටක් වින්දා වෙන්න පුළුවන්. නමුත් දෙමළ අන්තවාදී ත‍්‍රස්තවාදයක් නිර්මාණය කිරීමට 83 කළු ජූලිය හේතුවක් වුණා. එම ත‍්‍රස්තවාදීන්ට ජාත්‍යන්තරව සහාය ලබාගන්න කළු ජූලියේ සිදුවීම් උදව් වුණා. එම ත‍්‍රස්තවාදයෙන් අපේ රටේ ජනතාව විශාල ඛේදවාචකයකට මුහුණ දුන්නා. පොදු ජනතාව ජීවිත දහස් ගණනින් වන්දි ගෙව්වා. එවැනි ත‍්‍රස්තවාදී යුද්ධයක් අවසන් කරලා වසර 10ක් ගතවන විට නැවතත් අවස්ථාවාදී කණ්ඩායම් ජාතිවාදී ගැටුම් ඇතිකිරීම අපේ රටට නැවත විශාල ගැටුමකට ඇදගෙන යාමක්.

21වැනිදා ප‍්‍රහාරයට සියලූ මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ. එයට සම්බන්ධ අන්තවාදීන් ඉන්නේ සුළු පිරිසක්. ඒ වගේම ඔවුන්ට උදව් කළ දේශපාලඥයින් ඇතුළු අනෙකුත් පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. එසේ නොමැතිව සියලූ මුස්ලිම් ජනතාව කෙරෙහි ද්වේෂ සහගතව බැලීමෙන් ඔවුන් අන්තවාදයට තල්ලූ කළ යුතු නැහැ. මුස්ලිම් සමාජයේ තවත් සහරාන්ලා හදන්න  ඕනෑද? මරාගෙන මැරෙන බෝම්බකරුවන් හදන්න  ඕනැද? පොදු ජනතාව කළ යුත්තේ තමන්ගේ උපරිම සහාය දක්වමින් රට තුළ ජාතික සමගිය ගොඩනැගීමයි. මෙවැනි ජාතිවාදී ගැටුම් වළක්වන්න ජනතාව මැදිහත් විය යුතුයි.

මේ වනවිට අපේ රටට ජාත්‍යන්තර මැදිහත්වීමක් තිබෙන බවට විවිධ ප‍්‍රකාශ නිකුත් වෙනවා. අධිරාජ්‍යවාදීන් කුමන්ත‍්‍රණය කරනවා නම් ඔවුන්ට අපේ රටට මැදිහත් වෙන්න අවස්ථාවක්  ඕනෑ. ජාතිවාදී ගැටුම්වලින් ජීවිතවලට හානි වුණොත්, දේපළ විනාශ වුණොත් අධිරාජ්‍යවාදයට එය වාසියක් වෙනවා අපේ රටට මැදිහත් වෙන්න. ඒ අනතුර කැඳවාගන්න  ඕනැද? නැවතත් අපේ රටට ජිනීවා මානව හිමිකම් කොමිසමේ විවිධ බලපෑම්  ඕනැද? දේශපේ‍්‍රමය, ජාති ආලය, ගාගත් ඇත්තටම දේශපේ‍්‍රමයක් හෝ ජාති ආලයක් නැති කොල්ලකරුවන් ගිනි තියන්නන් පිරිසක්, කපන, කොටන එක විනෝදයක් කර ගත් සුළු කණ්ඩායමක් නිසා අපේ රටට අපකීර්තියක් ඇතිකරගත යුතුද? පසුගියදා සිදුවූ සිදුවීම සමනය කරලා ජනතාව තුළ සමගිය ගොඩනගනවා වෙනුවට නැවතත් අපේ රටේ ජනතාව තුළ සැකය, අවිශ්වාසය, භීතිය හදන කි‍්‍රයාමාර්ග ගන්නේ ඇයි? පහුගිය කාලයේ අපේ රටේ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් සිදුකළේ ජනතාව තුළ සමගිය ඇතිකරනවා වෙනුවට සැකය, අවිශ්වාසය හදන කි‍්‍රයාමාර්ගයි. ආණ්ඩුව ගත්ත බාග තීරණ නිසා ජනතාව තුළ එම සැකය වර්ධනය කළා. ආණ්ඩුව වගකීමෙන් කටයුතු නොකළ නිසා රට තුළ කටකතාවලට ඉඩ හැදුවා. එයට ආණ්ඩුව වගකිව යුතුයි.

ආණ්ඩුව මේ වෙලාවේ හරියට නීතිය කි‍්‍රයාත්මක කළේ නැහැ. කළ යුතුව තිබෙන්නේ තරාතිරම නොබලා ජාති ආගම් කුල භේද නොසලකා වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමයි. ආණ්ඩුව නීතිය කි‍්‍රයාත්මක නොකළ නිසා ඇතැම් කණ්ඩායම් නීතිය අතට ගන්න උත්සාහ කරනවා. වැරදිකරුවන්ට දඬුවම් දීම ආණ්ඩුවේ දේශපාලන බලය රැුක ගැනීමේ තැනට ලඝු කළ යුතු නැහැ. ඒ වගේම ආණ්ඩුව ජනතාවට ඇත්ත ප‍්‍රකාශ කළ යුතුයි. මොකද ඇතැම් කණ්ඩායම් මානසික රෝගීන්. ඔවුන් බොරු ප‍්‍රවෘත්ති හදනවා. ඒ වගේම ඇතැම් ජාතිවාදීන් ජනතාව කුපිත කරන්න ප‍්‍රවෘත්ති නිර්මාණය කරනවා. ඇතැම් දේශපාලඥයන් තමනගේ පටු අරමුණු වෙනුවෙන් බොරු ප‍්‍රවෘත්ති නිර්මාණය කරනවා. ඇතැම් මාධ්‍ය තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් විවිධ ප‍්‍රවෘත්ති පළ කරනවා. සමාජ මාධ්‍ය ජාලා තහනම් කරලා පමණක් බොරු ප‍්‍රවෘත්ති නිර්මාණය කිරීම වළක්වන්න බැහැ. ආණ්ඩුව කළ යුත්තේ නිවැරදි සත්‍ය තොරතුරු ජනතාවට ලබා දීමයි. ආණ්ඩුව තමන්ගේ වගකීම නිවැරදි ලෙස ඉටු නොකළ නිසා තමයි සති තුනක් ගතවීමෙන් පසුවත් තත්වය සාමාන්‍ය වෙන්න තිබියෙදී නැවත ගැටුම් නිර්මාණය වෙන්නේ. ඒ වගේම මෙම ජාතිවාදී ගැටුම් අවශ්‍ය පිරිසක් ඉන්නවා. තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගන්න, රට අරාජිකයි කියලා පෙන්වන්න, ඊළඟ තමන්ගේ බලය තහවුරු කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙම ගැටුම් අවශ්‍යයි.

ජාතික ආරක්‍ෂාවත් මහජන ආරක්‍ෂාවත් පිළිබඳව දැන් කතිකාවක් ඇතිවෙලා තිබෙනවා. ජනතාවක් ලෙස අපිට ඉතාමත් වැදගත් වෙන්නේ මහජන ආරක්‍ෂාවයි. මොකද, ළමුන්ට පාසැල් යන්න, ජනතාවට කෝච්චියේ, බස් එකේ වැඩට යන්න මහජන ආරක්‍ෂාව ඉතාම වැදගත්. තවමත් රට තුළ මහජන ආරක්‍ෂාව තහවුරු වෙලා නැති නිසා ළමුන් පාසැල් යන්නේ නැහැ. ජනතාව කෝච්චියේ, බස් එකේ යන්නේ නැහැ. ඒ නිසා රටේ ජාතික ආරක්‍ෂාව වගේම මහජන ආරක්‍ෂාවත් තහවුරු කළ යුතුයි. රට තුළ ජාතික සමගිය ගොඩනගන්නේ නැතිව ජාතික ආරක්‍ෂාව හෝ මහජන ආරක්‍ෂාව තහවුරු කරන්න බැහැ. ගැටුම් තිබෙන රටක මහජන ආරක්‍ෂාවක් නැහැ. ජනතාව තුළ සමගියක් නැත්නම් එකිනෙකාට ප‍්‍රහාර එල්ල කරන්න අයුධ එකතු කරනවා නම් මහජන ආරක්‍ෂාවක් නැහැ. එම ජාතිවාදී ගැටුම් ඇතිකරන කුඩා කණ්ඩායම්වලට දේශපාලනික කණ්ඩායම්වලට එය තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ.

අපේ රටේ ජනතාව තවමත් ඉන්නේ භීතියෙන්. භීතිය, අනාරක්‍ෂිත බව හා සැකය ඉවත් කරලා ජනතාවට සාමාන්‍ය පරිදි ජීවත් වෙන්න අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූම ජනතාව අතරත් සියලූම ආගම් අතරත් සමගිය හදන්න පුළුවන් වෙන්නේ ජාතික සමගිය ගොඩනැගීමෙන් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් ජාතික සමගිය විශ්වාස කරන පක්‍ෂයක්. එනිසා ජාතික සමගිය විනාශ වෙන්න ඉඩ හදන්න එපා. නැවතත් අපේ රටට කළු පැල්ලම් එපා. අපකීර්තිය එපා. ජාතිවාදී ලේ වැගිරීම් එපා. ජනතා විමුක්ති පෙරමුණේ අපි සියලූම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලනවා තමන්ගේ ස්ථාවරය පැහැදිලිව රටට කියන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අපි අපේ සාමාජිකයින්ට අපේ ස්ථාවරය පැහැදිලි කරලා තිබෙනවා. පහුගිය කාලයේ අපේ සාමාජිකයින් හමුවෙලා අපි මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡුා කළා. ඒ වගේ හැම නායකයෙක්ටම තමන්ගේ සාමාජිකයාට තම ස්ථාවරය කියන්න පුළුවන් නම් මෙම බොහෝ ගැටුම් වළක්වාගන්න පුළුවන්. නමුත් අපේ රටේ ඇතැම් නායකයින් මතුපිටින් ජාතික සමගිය ගැන කතා කරමින් යටින් ජාතිවාදය අවුස්සනවා. 21වැනිදා ගලා ගිය ලේ කඳුළු වෙනුවට නැවතත් වෙන වර්ගයක ලේ කඳුළු  ඕන නැහැ. සියලූ ලේ වැගිරීම් නතර කළ යුතුයි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, ජාතිවාදී උගුල්වලට අහුවෙන්න එපා කියල. ජාතිවාදී ගැටුම්වලින් ‘ආතල්’ ගන්න එපා. එහි ප‍්‍රතිඵලය ඉතාම භයානකයි. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ඉල්ලනවා, කුමන ආගමක් ඇදහුවත් කුමන භාෂාවක් කථා කළත් ජාතිවාදය පෝෂණය කරන කි‍්‍රයාමාර්ග ගන්න එපා කියලා. ජාතිවාදී ගැටුම් හරහා නැවතත් රට තුළ ගැටුම්වලට සරු පසක් හදන්න එපා. රට තුළ නැවතත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් හදන්න දායක වෙන්න එපා. මෙම ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගත හැකි සියලූ කි‍්‍රයාමාර්ග ගන්නවා.

ලබන 16වැනිදා ප.ව.4.00ට අන්තවාදයට එරෙහි, ජාතිවාදයට එරෙහි සියලූ බලවේග එකතු කර ගනිමින් විහාරමහාදේවී උද්‍යානය අසල දැවැන්ත සත්‍යග‍්‍රහයක් කරන්න අපි තීරණය කොට තිබෙනවා. ඒ වගේම සමාජය සමඟ මේ සම්බන්ධයෙන් දැවැන්ත සංවාදයක් ආරම්භ කරනවා. රට පුරා සම්මන්ත‍්‍රණ පවත්වමින් ජනතාව දැනුවත් කරන්න කටයුතු කරනවා. ජාතික ආරක්‍ෂාවත් මහජන ආරක්‍ෂාවත් තහවුරු කළ හැක්කේ ජාතික සමගිය ගොඩනැගීමෙන් පමණක් බව ජනතාවට ඒත්තු ගැනීමට අපි කටයුතු කරනවා. මේ වනවිට ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටිලා. ජනතාවගේ බදු බර වැඩිවෙලා. විශාල ජීවන අරගලයක් තිබෙනවා, ජනතාවට ජීවත් වීමේ ප‍්‍රශ්නය විසඳා ගන්නවා වෙනුවට දැන් ජීවිතය ආරක්‍ෂා කර ගැනීමේ ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙලා. තමන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ අරගලය මගහැරිලා. ළමුන්ට පාසැල් යන්න, වැඩ කරන ජනතාවට තමන්්ගේ රැුකියාවට යන්න, එදිනෙදා කටයුතු කරගන්න, චිත‍්‍රපටයක්, නාට්‍යයක් බලන්න අවස්ථාව නැතිවෙලා. එනිසා මෙම අන්තවාදී ජාතිවාදී කි‍්‍රයාමාර්ග පරාජයට පත්කිරීම වෙනුවෙන් සියලූ දෙනාම පෙළගැසෙන්න කියලා අපි ඉල්ලනවා

9ලංකා ට්රුත්)

Archive

Latest news

Related news