Saturday, May 18, 2024

ත්‍රස්ත ගරිල්ලා ව්‍යාපාරයක් සමඟ සටන සහ ප්‍රහාර මාලවක් පිළිබද නව අනතුරු හැඟවීම – සුනන්ද දේශප්‍රිය

පහත පළවන්නේ ඊයේ සරත් පොන්සේකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආක්ෂක අනතුරු හැගවිමකි. මෙම නිල ආක්ෂක අනතුරු හඟවීමෙන් කියවෙන පරිදි ලබන 13වනදා තවත් ප්‍රහාර මාලාවක් නාවල, පන්චිකාවත්ත, කොටුව දුම්රිය නැවතුම් පොල සහ වැල්ලවත්ත යන ස්ථානයන්හි සිදුවීමට පුලුවන. එය සිරිසේනගේ පම්පෝරියට සහමුලින්ම වෙනස් ය‍.

සිය කතාවෙහි දී සරත් පොන්සේකා කියා සිටියේ මෙම ත්‍රස්තවාදී ජාලය පිළිබඳව සම්පූර්ණ තොරතුරු සොයා මර්දනය කිරීමට අඩුම වශයෙන් දෙවසරක් අවශ්‍ය බවය. අප ඔහුට කැමැති වුවත් නැතත් ඔහුට මෙවැනි තත්වයක් ගැන දැවැන්ත අත්දැකීමක් තිබෙන බව අප පිළිගත යුතු ය. මට පෙනෙන අන්දමට ඔහුගේ නිරික්ෂණය නිවරදිය.

මෙවැනි අනතුරු හැඟවීම් මහ ජනයාට දැන ගැනීමට ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි ද යන්න බරපතල ප්‍රශ්ණයකි. මෙම රහසිගත ලියවිල්ලක් ලෙස දක්වා ද නැත. නමුත් ආණ්ඩුව මහජනයාට කියන්නේ ත්‍රස්තවාදී තර්ජනය සහමුලින්ම අහෝසි කර ඇති බවයි. සිරිසේන පාර්ලිමේන්තුවට පැමිණ ඒ බව කියා අඩබෙර ගැසුවේ ය.

ලබන සතියෙහි මෙවැනි ප්‍රහාර මාලාවක් සිදුවිමට නම් හස්රාන් හසීම්ගේ ත්‍රස්ත කණ්ඩායමෙන් සම්පූර්ණ ස්වාධීන වු වෙනම ත්‍රස්තවාදී කණ්ඩායමක් තිබිය යුතුයැයි මම කල්පනා කරමි. මන්ද යත් හස්රාන්ගේ කන්ඩායමේ සියල්ලන්ම වාගේ අත් අඩංඟවට පත්ව ඇතැයි ආරක්ෂක අංශ කියන නිසා ය. යම් පිරිසක් ඉතිරිව සිටිය ද එම පිරිස යොදවා ප්‍රහාර දියත් කර ශ්‍රී ලංකාවේ සිය බලය අවම කර ගැනීමට අන්තර් ජාතික ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදය කටයුතු කරනු ඇතැයි සිතීම දුෂ්කරය. අලුත් වටයක ප්‍රහාර පිලිබඳව කරනු ලබන වක්‍ර දැන්වීම් ඕනෑඹ යුද්ධයක උපක්‍රමයක් වන බොරු තොරතුරු සපයා සතුරා අවුල් කිරිමේ පියවරක් ද විය හැකි ය. එසේ වුවත් ආණ්ඩුව එම අනතුරු හැගවිම් සත්‍ය ලෙස කල්පනා කරන්නේ නම් මහා ජනයාට එය දැන්වීම එහි යුත්කමකි.

හස්රාන් කන්ඩායමේ ඉතිරි පිරිස් පිළිබඳ තොරතුරු ආරක්ෂ අංශ ලබා ගන්නට ඇත්තේ කට උත්තර, දුර කථන සංවාද, ලියැවිලි යනාදිය මගිනි. වර්ථමානයෙහි ජංගම දුරකතන පරීක්ෂණ සඳහා තොරතුරු ලබා ගත හැකි හොදම මාර්ගයයි. එම දුරකතන පැවැති ප්‍රදේශන්හි දුරකතන කුලුණු සියල්ල සතු දත්ත ඒ සඳහා විග්‍රහ කර ගත යුතුය. මා දන්නා තරමින් එක් කුලුණක දත්ත ලක්ෂ ගණනාවක් සටහන්ව තිබේ. කළ යුතු එවැනි විමර්ශන කල් යන වැඩකි. මෙම සංවාදතිබෙන්නේ ද දෙමළ බසිනි. දෙමළ බස දන්නා පිරිස් ආරක්ෂක අංශයන්හි දුලබ ය. එම අනුව දැනට අත් අඩංඟවෙහි සිටින පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කරමින් අනෙත් සම්බන්ධතා සොයා ගත හැකිය. එය පියවරෙන් පියවර සියුම්ව කල යුතු කාරියකි. තවද ත්‍රස්තවාදීන් යැයි සැක කරන සියළු දෙනා අත් අඩංඟවට ගන්නේ ද නැත. කිහිප දෙනෙකු නිදැල්ලේ ඉන්නට හැර ඔවුන් පසු පස ඔත්තුකරැවන් යොදවනු ඇත.

මෙවැනි තත්වයක් සම්බන්ධ මගේ අත්දැකිම් ඇසුරෙන් මෙම තත්වය විමසා බැලිමට මම කැමැත්තේමි. ඒවා ජවිපෙ කැරලි ගැසූ 1971 ට සහ 1988-89ට සම්බන්ධය. ඒ කාලයේ ජංගම දුරකථන තිබුණේ නැත. අත් අඩංඟුවට ගත් අයගෙන් තොරතුරු ලබා ගත්තේ නෑසු විරූ දරුණු වධහිංසා පැමිණවීම මගිනි. එසේ තිබියදීත් සුනන්ද දේශප්‍ර නමන් 71 අප්‍රෙල් 23 දා අත් අඩංඟුවට පත් මා බදුල්ල මොණරාගල ජවිපෙ නායකයා වූ අසෝක ජයවර්ධන බව සොයා ගැනිමට රහස් පොලිසියට මාස දෙකක් පමණ ගත විය. දුල්ලේ ජවිපෙ ප්‍රධානින් අතර මගේ ඇත්ත නම දැන සිටියේ එකම අයෙකි. ඔහු එය පොලීසියට කීවේ නැත. ගුටි කැවද අප පොලිසියට කීවේ ඔවුන් දැන සිටින බව පෙනෙන කරුණූ පමනකි.

දරුණ වධහිසා හමුවේත් තොරතුරු හෙළි නොකළ සහෝදර සහෝදරයින් එකළ වුහ. හස්රාන් කණ්ඩායමේ ද එවැනි අය නැත අප විශ්වාස නොකළ යුතුය. රට පුරා පුහුණු කඳවුරු ගණනාවක් තිබී තිබී ඇති රහසිගත සංවිධානයක සියලු තොරතුරු සති දෙකක් තුල සොයා ගැනීම එතරම් ලෙහෙසි නැත. 1971 දී හෝ 1988 – 89 දී හෝ මෙන් නොව යුදහමුදාවන්හි මෙවර සොදිසි ක්‍රියාන්විත ප්‍රචාරක සංදර්ශණයක් ද බවට පත් විය. ඉක්මනින් ප්‍රතිඵල පෙන්වන සේ සිරිසේන නියෝග කර තිබුණි.

1971 දීත් 1989 දිත් දරුණු මර්දනය තුල සහ ඉන් පසු පවා ජවිපෙ රහසිගත කණ්ඩායම් වැඩ කළේ ය. එය ඉස්ලාමීය ප්‍රහාරකයින්ටත් පොදු විය හැකිය. ඉස්ලාමීය ප්‍රහාරක කණ්ඩායම් ආගමික උමතුවකින් ක්‍රියා කරන බැව්න් සමහර විට ඔනුගේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩි විමටද පුලුවන‍. එසේ නමුත් හස්රාන් කන්ඩායමෙහි ඉතිරි පිරිස් සිටින්නේ නම් ඔවුන් දැන යටිබිම් ගත වනු ඇත. යළිත් හදිසි ප්‍රහාරයකට තරම් හැකියාවක් එයට ඇතැයි නොපෙනේ.

අනෙක මේ ප්‍රහාරයට කැල්ෆේ නමින් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ කැලිපර් නොහොත් අසහාය නායකයා වන අල්බග්දාදි සම්බන්ධ බව පෙනෙන බැවින් එතරම් දැවැන්ත සන්නද්ධ ව්‍යාපාරයක නායකයා ලෙස එක ප්‍රහාරයකින් ශ්‍රී ලංකාවේ සිය ත්‍රස්ත ජාලය විනාශ කර ගැනීමට ඔහු කටයුතු කරනු ඇතැයි අප කල්පනා නොකළ යුතුය. අනිවාර්යයෙන්ම ඔහුට ලංකාවෙහි පලෑන් බී එකක් නොහොත් දෙවන සැළැස්මක් තිබිය යුතුය.

සරත් පොන්සේකාගේ විග්‍රහය බොහෝ දුරට නිවරදි විය හැක්කේ මේ නිසා ය. සති දෙකක් තුලදී සහමුලින්ම මෙරට ඉස්ලාමිය ත්‍රස්තවාදය අහෝසි කල බවට සිරිසේන කියන කතාවලින් පෙනේනනේ ඔහුට යුදධයක් ගැන කිසිදු අවබෝධයක් නැති බවයි. මා ඕ වාදියකුයැයි කියන සිරිසේන මාඕ සේතුංගේ යුද්ධ ලිපි කියවා ඇත්දැයි නොදනිමි. ගරිල්ලා ව්‍යාපාරයක් ආරක්ෂාවේ දි දහයකට එරෙහිව එකෙක්, ප්‍රහාරයකදි එකෙකුට එරෙහිව දහයක් යන පිළිවෙත තේරුම් ගැනීම වැදගත් ය. අද සැඟවී සිටින ප්‍රහාරකයින් වෙත් නම් ඔවුන් කරනු ඇත්තේ බොරු ප්‍රචාර සමඟ මිශ්‍ර කළ සැඟවී පහර දෙන යුද්ධයකි.

උම්මන්තක ත්‍රස්තවාදීන්ට සහ ප්‍රචන්ඩ ඉස්ලාමීය අන්තවාදයට එරෙහි මෙම යුද්ධයෙහි ශ්‍රී ලංකාව සතු ඉතාම වාසිදායක සාධකය සාමලැදි මුස්ලිම් ජනතාවයි. මෙම ත්‍රස්තවාදි ගරල්ලා භටයින්ට නිදහසේ පිහිනා යා හැකි මුහුදක් මෙරට නැත. අප මුස්ලිම් ජනයා සමඟ සාමකාමි සහජිවනය අවශ්‍ය බව කල්පනා කරන තරමටම සිංහල දෙමළ ජනයා සමඟ මුස්ලිම් සමාජයෙහි උග්‍ර ගැටුමක් ඇති කිරිම මෙකී ත්‍රස්තවාදයේ අරමුණ වනු ඇත. දෙමන වටයක ප්‍රහාර මාලාවක් ඇති වන්නේ නම් එහි අරමුණ වනු ඇත්තේ සිංහල සහ දෙමළ ජනයා කුපිත කිරිම යැයි කල්පනා කිරිමේ වරදක් ද නැත.

එසේ වෙතත් හදිසියේ දෙවන වටයක ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ඇතිවනු ඇතැයි සිතීම ඉතා දුෂ්කරය. නමුත් අනතුර පවතිනු ඇත.

ප්‍රචන්ඩ ඉස්ලාමිය අන්තවාදය සහ එහි ප්‍රහාරකයෝ නූතන නාගරික ගරිල්ලා සටන්කරුවන් වර්ගයකි. මෙය එල්ටීටීඊය සමඟ කල යුද්ධය වැනි එකක් නොවේ. සිරිසේන සමහර විට වරද්දාගෙන ඇත්තේ එතැන විය හැකි ය.

(c) SLB

Archive

Latest news

Related news