ආදරණිය ගුරුතුමනි,
මම ඊයෙත් අදත් මගේ දරුවන් පාසල් එවීමි. ඒ මගේ මිතුරන් හා පවුලේ ඇතැම් අයගේ විරෝධතාවයන් මැදය. ඔවුන්ගේ අදහස වූයේ රටේ ආරක්ෂක තත්ත්වය 100 % ක් සහතික කරන තෙක් දරුවන් පාසල් නොයැවිය යුතු බවයි.
මම මගේ දරුවන් පාසල් යැවුයේ මට දරුවන් වැඩි නිසාවත් ඔවුන් අනතුරට ලක්වීමට බැලීමට හැකි නිසාවත් නොවේ. අපේ මාතෘ භූමිය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් විය යුතුය යන්න අපේ හැඟීම නිසාවෙනි.
නමුත් දරුවන්ට පාසලෙන් පැමිණීම සම්බන්ධයෙන් ප්‍රශංසාවක් හෝ ලැබිණිදැයි මම නොදනිමි. පන්තියේ කිසිවක් උගන්වන්නේ නැති බවත් නොපැමිණීම යහපත් බවත් දරුවන්ට කියා තිබුණි. මම මගේ දරුවන් බියසුල්ලන් වනවා දකින්නට අකමැති වෙමි. ඔවුන් අර්බුද මැද ද ඔවුන්ගේ කාර්යයන් කරගන්නට සමත් පිරිසක් කිරීම අපේ සමාජ යුතුකම ද වේ. පාසලට පැමිණි දරුවා දුර්මුඛ කිරීමෙන් ඔවුන්ට යමක් කියා නොදීමෙන් හානි වන්නේ අපේ ජාතික පෞර්ෂයට බව මගේ විශ්වාසයයි.
මීට පෙර LTTE ත්‍රස්තවාදී තර්ජන රටපුරා පැතිරී තිබූ බවට ඔබට මතක ඇතැයි සිතමි. මගේ වැඩිමහල් දරුවා අධ්‍යාපනය ලද්දේ එම කාලවකවානුවේදීය. හමුදා කඳවුරු වලට පහර දී ඒවා අත්පත් කර ගනිද්දීත් , ගුවන් තොට එකම අමු සොහොනක් කරද්දීත් මෙරට අධ්‍යාපන පද්ධතිය සක්‍රීය වී තිබිණ. අපේ හමුදාවන් – පොලිසියත් වැඩිපුරම හිටියේ යාපන අර්ධද්වීපයේ ය. පාසල් වලට හමුදාවේ හෝ පොලීසියේ ආරක්ෂාවක් තිබුණේ නැත. අද තත්ත්වය එසේ නොවේ. නගරයේ පාසල් අසල අඩි 50 න් 50 ට හමුදාව රඳවා ඇත. සෝදිසි ද එසේමය. ISIS ත්‍රස්තවාදය LTTE ය මෙන් පැතිර ගිය එකක් නොවේ. එසේ වුවද කවුරුන් හෝ පාසල් වලට දරුවන් පැමිණීම සවිඥානිකව නවත්වමින් සිටිති. IS ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරවූ එකම රට අපේ නොවේ. ඔවුහු ඇමරිකාව , රුසියාව ඇතුළු අතිශයින් දියුණු රටවල් (යුදමය අතින්) තුළ ද විශාල විනාශකාරී ක්‍රියාවන් සිදුකළහ. නමුත් එම රටවල් පාසල් දරුවන්ට බියගුල්ලන් සේ හැසිරීමට එම රටවල ගුරුවරුන් කියා දුන්වගක් අප නම් දන්නේ නැත. ඔවුන් දරුවන්ට කීවේ ඉක්මනින් මේ තත්ත්වය විසඳෙන බවය.
පසුගිය දශක තුන තුළ ලෝකය කිසිදු විටෙක ත්‍රස්තවාදයෙන් නිදහස්ව නොපැවති බව ඔබ මගේ දරුවන්ට කියා දෙන්න. එසේම ඉදිරි වසර 05 තුළ ද ලෝකය ලෝකය ත්‍රස්තවාදයෙන් 100% ක් නිදහස්ව නොපැවතීම ලෝකයේ යතාර්තය බව ද ඔවුන්ට කියා දෙන්න. ලෝකයේ විෂමතාවයන් පවතින තාක් ත්‍රස්තවාදය යථාර්තයක් බව ඔවුන්ට කියාදෙන්න. රටක් සාමාන්‍ය තත්ත්වයට පැමිනීම වළක්වන සෑම පුද්ගලයෙකුම දැනුවත්ව හෝ නොදැනුවත්ව ත්‍රස්තවාදයට සහය දක්වන්නෙකු බව ද ඔවුන්ට කියා දෙන්න.
එයට ප්‍රතිපක්ෂව අප කරන්නේ කුමක්ද ? අප අපේ බුද්ධි අංශ දුර්වල යැයි අපේ බුද්ධි අංශ වලට ගරහමින් සිටිමු. ලෝකයේ IS ත්‍රස්තවාදීන් මෙතරම් ඉක්මනින් දඩයම් කළ අවස්ථාවන් නැති බව බාග විට ඔබ නොදන්නවා විය හැකිය. අපේ බුද්ධි අංශ දුර්වල නම් එය එසේ වූයේ කෙසේද? අපේ හමුදාව කෙතරම් කාර්යක්ෂමව මෙම කටයුත්ත ඉටු කළෝ ද? අපේ ජන සමාජය සිදුවූ ව්‍යසනය කෙතරම් හොඳින් කළමනාකරණය කර ගත්තේ ද? නමුත් ඔබ අපේ දරුවන්ට කියන්නේ කුමක්ද? පාසල් නොයා යුතු බවයි. එක් ගුරුවරයෙකු මගේ දරුවෙකුගෙන් අසා ඇත්තේ උඹලා ඉස්කෝලේ ආවේ ඇයි ද කියාය. දරුවන් පාසල් එන්නේ අධ්‍යාපනය ලබන්නට මිස අහවල් කෙන්ගෙඩියකට නොවේ. ඔවුන්ට උගන්වන්න…
මේ අපේ රට බවටත්, අපි ශ්‍රී ලාංකිකයින් බවත් ඔවුන්ට කියා දෙන්න. ඔවුන්ට මඟ හැරුණ පාඩම් මොනවාදැයි සොයා බලන්න. ඔවුන්ට මෙතෙක් අධ්‍යාපනයේ මතුවී ඇති විෂය ගැටළු සාකච්ඡා කරන්නට අවස්ථාව හිමිකරන්න. ඔවුනට ගීත ගායනයට , ක්‍රීඩා කිරීමට අවස්ථාවන් ලබා දෙන්න. අපේ හමුදාව සමන්විත වන්නේ නිර්භීත මිනිසුන්ගෙන් මිස බෝම්බ පිපිරූ විට ගෙවල් ඇතුළේ සැඟවුන පරම්පරාවකින් නොවන බව ඔවුන්ට කියා දෙන්න. රටක් ඇතුළත පවතින් ත්‍රස්තවාදයත්, ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් දෙකක් බවත් දරුවන්ට කියාදෙන්න.
ත්‍රස්තයන්ගේ අරමුණ ලෝක ආර්ථිකය කඩා වැට්ටවීම බවත් අප සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් නොකළොත් ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉටුවන බවත් ඔවුන්ට කියාදෙන්න. ඔබ පාසල් එන්නේ හැලප කකා තේ බිබී මුහුණු පොතේ ඇති ඇතැම් බේගල් රස විඳිමින් බෙදාහැරීමට නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න.
රට සාමාන්‍ය තත්වයට පැමිණීමට බය කරන සෑම දේශපාලකයෙක්ම, රජයේ නිලධාරියෙක්ම, මාධ්‍යකරුවෙක්ම ත්‍රස්තවාදය පවත්වාගෙන යාමට සහය දෙන්නෝ බව මගේ දරුවන්ට උගන්වන්න. කොටින්ම ඔබ ත්‍රස්තවාදයට විරුද්ධ බව ඔවුන්ට උගැන්වීමෙන්ම ප්‍රායෝගිකව මගේ දරුවන්ට පෙන්වන්න.
අනේ ගුරුතුමනි, මගේ දරුවන්ට උගන්වන්න….
ජ්‍යෙෂ්ඨ නීතිවේදී සොමිදස් ගුණවඩු විසිනි
(ලංකා ඊ නිව්ස් )