Monday, May 20, 2024

පාස්කු ඉරිදා ප්‍රහාර ‌ වැළැක්වීමට ‌නොහැකිවූයේ සිරිසේනගේ ලාමක හැසිරීම නීසයි- එක්සත් වාමාංශික පෙරමුණ

ඡායාරූපය: ප්‍රහාරයෙන් පසු යාඥා කරන අයෙක්! ( Picture: Getty)

පසුගිය පාස්කු ඉරිදා (2019-04-21) කතෝලික දේවස්ථාන සහ අගනුවර සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර දියත්කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් වාමාංශික පෙරමුණේ අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු. ඉතා ඉවසීමෙන් හා බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගෙන් අප ඉල්ලා සිටින අතරම මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සියලුම දෙනාට ශෝකය පළකරන අතර තුවාල ලැබු අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

යුධ ජයග්‍රහණයේ අශ්වාදය මතින් ඒකාධිපතිත්වයක් කරා තල්ලුවී ගිය රට එයින් මුදවා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට පෙරමුණ ගත් අපවැනි දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන වලට මෙන්ම රටේ බහුතරයක් වු ජනතාවට මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය දැඩි පහරක් බව ප්‍රථමයෙන් සිහිපත් කළ යුතු ය. රට තුළ අස්ථාවරත්වයක් ඇතිකිරිමට හේතුවන මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයන් හරහා ඊනියා ගැලවුම්කරුවන් ලෙස ඉදිරියට එන අයවලුන් ෆැසිස්ට් මාදිලියේ පාලනයකට පාර කපන බව අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එහෙයින් ලේ හා කඳුළු මතින් බලයට පැමිණිමට වෙහෙස දරන එවැනි අවස්ථාවාදි දේශපාලන බලවේගයන්ට ඉදිරියට පැමිණිමට ඇති ඉඩකඩ අහුරා දැමීම ද අපගේ වගකීමක් වේ.

මාධ්‍ය තුළින් වාර්තාවන අන්දමට මෙම ප්‍රහාරය පිළිබඳව අවශ්‍ය ප්‍රමාණයට වඩා තොරතුරු කල්වේලා ඇතිව රජයේ බුද්ධි අංශය විසින් අදාළ අංශවලට දැනුම් දී තිබේ. නමුත් රටේ ව්‍යවස්ථාවට ද එරෙහිව තම පෞද්ගලික රුචි අරුචිකම් අනුව අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම නොසළකා දේශපාලන තීන්දු තීරණ ගැනීමේ ජනාධිපතිවරයාගේ වගකීම් විරහිත ලාමක හැසිරිම හේතුකොට ගෙන මෙම විපත වළක්වා ගැනීමට තිබූ අවස්ථාවන් ගිලිහි ගිය බව දැන් රටට රහසක් නොවේ.

කුමන්ත්‍රණකාරි ලෙස හා ව්‍යවස්ථා විරෝධි ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කළ කූප්‍රකට දින 53න් පසුව අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවනු නොලැබූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න රටටම ඇසෙන සේ පසුගිය දා ප්‍රකාශ කළේ ය. තමන් රටේ නොමැති අවස්ථාවේ වැඩ බැලීමට ඇමතිවරයෙකු පත් නොකර පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතවූ ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියන බොළඳ කථාවල ඇත්තේ හාස්‍යක් පමණි. පොලිස්පතිවරයා ද තම වගකීම සම්පූර්ණයෙන් පැහැර හැර ඇත. තමන්ට නැති බලතල ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධිව පවරා ගෙන තව තවත් අමාත්‍යංශ තමාගේ යටතට ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කළක් කටපියාගෙන සිටි අගමැතිවරයාට ද මේ වගකිමෙන් ගැලවිය නොහැකි බව සඳහන් කළ යුතු ය.

මෙම විපත දඩමීමා කරගෙන ෆැසිස්ට් මාදිළියේ බලවේගයන්ට උඩගෙඩි දෙන ජාති හා ආගම්වාදයට ජනතාව යට නොවීම පසුගිය වසර 4ක පමණ කාලය තුළ අප හා අප වැනි අනිකුත් සංවිධාන කළ අරගලය හේතු වූ බව අපි විශ්වාස කරමු. ඒ පිළිබඳව අපිට ඇත්තේ නිහතමානි සතුටකි. ප්‍රමාද වී හෝ මේ වන විට ආණ්ඩුව මේ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව පියවර ගැනීම පිළිබඳ අප සතුටුවන අතරම තරාතිරම, ජාති ආගම්භේද හා පක්ෂ භේද නොසළකා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. තව ද හදිසි නීතිය යටතේ ත්‍රස්තවාදයට එරෙහි වගන්ති පමණක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගත් තීරණයට අපි එරෙහි නොවන අතරම අදාළ ත්‍රස්ත විමර්ෂණ කටයුතු අවසන් වූ වහාම හැකි ඉක්මනින් හදිසි නීතිය ඉවත් කරන ලෙස ආණ්ඩුවට දැනුම් දෙමු.
ස්තුතියි

ලාල් විජේනායක
ප්‍රධාන ලේකම්

Archive

Latest news

Related news