කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයන්හි පල්ලි හා හෝටල්වලට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර රැල්ල කාන්තා ක්‍රියාකාරී ජාලය විසින් දැඩි ලෙස හෙළා දකිනු ලැබේ. මියගිය 310 දෙනෙකු හා සිය ගණනක් තුවාල ලැබු පිරිස් අතරට ප්‍රීතිමත් පාස්කු ඉරිදා දිනය සමරමින් සිටි ළමුන් සහ පවුල් දැන් අයත් වෙති. මළකඳන් බෑග්වල ප්‍රවාහනය කරනු ලැබේ; දරුවන්, දෙමාපියන් සහ සංචාරකයින් සඳහා අවමංගල්‍ය කටයුතු සැලසුම්කර ඇත. මෙය දරාගැනීමට නොහැකිය, වචනවලින් කියාගත නොහැකිය. අපගේ හදවත්, සිතුවිලි සහ යාඥාවන් මෙම කෲර ප්‍රහාරයට ගොදුරුවුවන්ගේ පවුල් සහ ආදරණීයයන් සමඟ සහ කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රජාවන් සමඟය.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රජාවකටම කම්පනය දැනේ. කතෝලික සහ ක්‍රිස්තියානි භක්තිකයින් ඔවුන්ගේ ශුද්ධවුම දිනයේදී ඉලක්ක කිරීම මඟින් ආගමික සුළුතරයන් රජය විසින් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරනවාද යන්න පිළිබඳව ප්‍රශ්න ඇති කරයි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සියලුම ප්‍රජාවන්ට යුද්ධයේ මතකයන් හා අනාරක්ෂිත බවේ හැඟීම් ඇති කරවයි – සිංහල, දෙමළ, මුස්ලිම්; කාන්තාවන්, පිරිමින් සහ දරුවන්ට. මෑතකදී ජනවාර්ගිකව ඉලක්කකරගත් ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරුවූවන් ලෙස මුස්ලිම්වරුන්, වෛරයෙන් හා ද්වේෂසහගත බවෙන් ප්‍රතිප්‍රහාර එල්ලවනු ඇතැයි බියෙන් සිටිති. බෝම්බ ප්‍රහාර ඉස්ලාම් ධර්මය නියෝජනය නොකරන බවත්, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ සාම්ප්‍රදායික අවිහිංසාවාදයට ප්‍රතිවිරුද්ධ බවත්, සියලූදෙනාටම අවබෝධවනු ඇති බවට ඔවුහු ආශාවෙන් බලා සිටිති. දෙමළ ජනයා අතරද කම්පනය සහ බිය ඇතිවී ඇත. වෙනස්කිරීම්වලට ලක් කරන්නා වු ආරක්ෂක නීති සහ ව්‍යුහයන් විසුරුවා හැරීම සඳහා වු දිගුකාලීන ඉල්ලීම් ඇතුළු, සංක්‍රාන්ති යුක්තිය සඳහා වු පොරොන්දු ප්‍රතික්ෂේප කිරීමට මෙම ප්‍රහාරය භාවිත කරනු ඇතැයි ඔවුහු බියෙන් සිටිති. බාහිර පුද්ගලයින් නැවතත් අපේ අලංකාර දිවයින ලේ වැගිරීම්, වෙනස්කම් කිරීම් හා භීතිය සමඟ ඇසුරු කරනු ඇත.
අපරාධකරුවන්ගේ අශිෂ්ට ක්‍රියාව අපි ඉතාමත් ප්‍රබල ලෙස හෙලා දකින්නෙමු. එවැනි සහාසික අයුරින් සිවිල් ජනයා ඝාතනය කිරීම, විශේෂයෙන්ම පුජනීය ස්ථානයන්හිදී, අපගේ පොදු මනුෂ්‍යත්වයට එරෙහිවන අතර, කිසිම ආකාරයකින් කිසිවෙකු විසින් සාධාරණීකරණය කළ නොහැකිය. මෙම කුරිරු අපරාධයේ සියලූ අපරාධකරුවන් නීතිය යටතේ අත්අඩංගුවටගෙන නඩු පවරනු ලැබිය යුතුය. නැවත සිදු නොවීම පාදක වන්නේ සිදුවු අපරාධවලට සහ ඒවා සිදුවීමට රාජ්‍යයෙන් සිදුවු අඩුපාඩුවලට වගවීම මතය.
රාජ්‍ය බුද්ධි අංශ සතුව සිදු කළ හැකි ප්‍රහාරයන් පිළිබඳ තොරතුරු තිබුණද එය මත ක්‍රියා නොකිරීම සහ ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීම අතිශයින්ම කණගාටුදායක කරුණකි. මෙම නොසැලකිල්ල මහා පරිමාණ ජීවිත හා අනෙකුත් හානි සඳහා සමානව වගකිව යුතු බවට අපි විශ්වාස කරන්නෙමු. විශ්වසනීය ආරක්ෂක තර්ජන ආණ්ඩුවේ ප්‍රභූ කණ්ඩායමකට පමණක් සීමා කිරීම වෙනුවට, සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ඒවා හසුරුවාලීම හා බෙදා හැරීම පිළිබඳ පාඩම් ඉගෙනගත යුතුය.
මෙය සිදුවූයේ කෙසේද සහ මෙතැනින් යන්නේ කොතැනටද යන්න තේරුම් ගැනීමට අප උත්සාහ කරන අතරම, ඒ සියල්ලටම වඩා අප එක්සත්කමින් ශක්තිය සොයාගත යුතුය. ඉතිහාසය අපට උගන්වන්නේ බෙදීම් සහ වෛරය වපුරන්නේ ප්‍රචණ්ඩත්වය හා අහිමිකිරීම් පමණක් බවයි. අපි රාජ්‍යයෙන් ඉල්ලා සිටින්නේ අපරාධකරුවන් පිළිබඳ පරීක්ෂණ කිරීමට හා නඩු පැවරීමටත්, ආගමික සුළුතරයන්ට තවදුරටත් සිදුවිය හැකි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කිරීමටත්, ප්‍රතිප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමටත්, ප්‍රබල ලෙස වාර්ගික සහජීවනය ප්‍රවර්ධනය කිරීමටත්ය. වාර්ගික බෙදීම් සමතයට පත්කිරීමේ ප්‍රයත්නයන් සියලූ මට්ටම්වලදී කාන්තා සහභාගීත්වය සහිතව සියලුදෙනා ඇතුළත්කර ගන්නා ආකාරයෙන් සිදුවිය යුතුය. “සහතික නොකරන ලද වාර්තා ප්‍රචාරය කිරීමෙන් වැළකීමට” සහ “එක්සත්ව හා ශක්තිමත්ව සිටීමට” කරනු ලබන ඉල්ලීම්වලට අපි සම්පුර්ණයෙන්ම සහාය දක්වන්නෙමු. රාජ්‍යය විසින් සමාජ මාධ්‍ය ජාල තුළ ද්වේශසහගත කටකථා සහ වෛරී කථාවලින් සියලුම පුරවැසියන් අඛණ්ඩව ආරක්ෂා කළ යුතුය. තවදුරටත් සිදුවිය හැකි ප්‍රහාර හා ප්‍රතිප්‍රහාරවලින් අහිංසක සිවිල් වැසියන් ආරක්ෂා කිරීම අරමුණුකරගත් ක්‍රියාමාර්ගයන් හා පණිවිඩ ක්‍රමවේදයන් ස්ථාපිත කළ යුතුය. ඇඳිරි නීතිය සහ වීදිවල හමුදා නිලධාරීන් ස්ථානගත කිරීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත.
මෙම ප්‍රයත්නයට එක්වන ලෙසත්, සෙසු පුරවැසියන් වෙත සම්බන්ධවන ලෙසත් සියලූ ජන කොටස්වල ශ්‍රී ලාංකිකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු. මෙම මැතිවරණ වසර තුළ වුවද, මෙය දේශපාලනික කාරණයක් නොවේ. එය අපගේ සාමූහික සුවපත්වීම සහ පැවැත්ම, අපට හිමි එක්සත්, සාධාරණ හා සාමකාමී අනාගතයක් ගොඩනැඟීම පිළිබඳවයි. අප සාමූහිකව ඉදිරියට යන්නේ කෙසේද සහ ප්‍රජාවන් තුළ සහ අතර විශ්වාසය ගොඩනැංවීම පිළිබඳව නැවත සිතා බැලීමට, මෙම සිදුවීම් සිවිල් සමාජයද ඇතුළුව අප සියලූදෙනාටම බල කරයි.