Friday, May 17, 2024

ලේඛක ශස්තික සත්කුමාර අයි.සී.පි.පි.ආර්.පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන පරීක්ෂනයක් කරන්න – වෘත්තිය ජනමාධ්‍යවේදින්

ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ‘ලේඛක ශක්තික සත්කුමාර මහතා සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය කටයුතු කර ඇති ආකාරය බරපතල ගැටළු මතු කරන්නක් බව අපට හැඟී යන බැවින් පොල්ගහවෙල පොලීසියේ මෙම ක්‍රියාවලිය පිලිබඳව ජාතික පොලිස් කොමිසමේ මැදිහත් වීම හරහා සාධාරණ පරීක්ෂණයක් සිදු කරණ මෙන් ඉල්ලා’ සිටියිග

එම ලිපිය පහත පළවේ:

දුමින්ද සම්පත්

02-04-2019
කේ.ඩබ්.ඊ. කරලියැද්ද මහතා
සභාපති, ජාතික පොලිස් කොමිසම
(BMICH) බ්ලොක් අංක 09
කොළඹ 07

මහතාණෙනි

ශක්තික සත්කුමාර මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධවයි.
වර්ෂ 2007 දී හඳුන්වා දුන් අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත (අයි.සී.පි.පි.ආර්.පනත) යටතේ ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන ඇත.

මෙකී තත්වයට හේතුව ඔහු විසින් රචනා කර සමාජ මාධ්‍යයේ පළකල කෙටි කථාවකි. මෙම කථාව හරහා වෙනස්කොට සැලකීමක්, එදිරිවාදීත්වය, සමාජය ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් හෝ ආගමික හෝ ජාතික ගැටුමකට මග පෑදීමක් සිදුව නැත.

භික්ෂු කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොල්ගහවෙල පොලීසිය කළ යුතුව තිබුණේ එකී කාරණාව සම්බන්ධයෙන් එම භික්ෂුන්ට කරුණු පැහැදිලි කර දීමය. පැමිණිල්ල භාර ගත් පොලීසිය උසාවියට කරුණු වාර්තා කිරීමේදී සමාජ කැළඹිමක් ඇතිවිය හැකි බවට කිසිදු සාක්ෂියක්ද ඉදිරිපත් කර නැත. මෙවැනි පරිසරයක් තුල අයි.සී.පි.පි.ආර්. පනත යටතේ ලේඛක ශක්තික සත්කුමාර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ ප්‍රකාශනයේ නිදහසට බාධා පමුණුවා ඇති අතර එය පොලීසිය හිතාමතාම ශක්තිකට එරෙහිව සිදුකරණ ලද්දක් බව අප සංගමයේ අදහසය.

මෙකී පනත යටතේ චෝදනා ගොනුකොට උසාවිය හමුවට ඉදිරිපත් කිරීම තුල මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබාගත නොහැකිය. මේ නිසා ශක්තික සිරගත කිරීමේ සැබෑ වුවමනාවක් පොලීසියට තිබෙන්නට ඇතැයි අපට සිතේ.

ජාතීන් හා ආගම් අතර අසමගිය හා ගැටුම් ඇති කිරීම සඳහා මීට පෙර විවිධ ප්‍රකාශ කල සහ ජනතාව පෙලඹවූ භික්ෂූන් හෝ වෙනත් ආගමික නායකයන් හා පුද්ගලයන් වෙනුවෙන් මේ පනත යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පොලීසිය මීට පෙර කටයුතු කර නොමැත.

මෙවැනි වාතාවරණයක් තුල ලේඛක ශක්තික සත්කුමාර මහතා සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය කටයුතු කර ඇති ආකාරය බරපතල ගැටළු මතු කරන්නක් බව අපට හැඟී යන බැවින් පොල්ගහවෙල පොලීසියේ මෙම ක්‍රියාවලිය පිලිබඳව ජාතික පොලිස් කොමිසමේ මැදිහත් වීම හරහා සාධාරණ පරීක්ෂණයක් සිදු කරණ මෙන් ඉල්ලා සිටිමු. ලේඛක ශක්තික සත්කුමාරට යුක්තිය ඉටුවනු ඇති බව අපි විශ්වාස කරන්නෙමු.

දුමින්ද සම්පත්
(සභාපති)

ෆ්‍රෑන්ක් ද සොයිසා
(ලේකම්)

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Archive

Latest news

Related news