Sunday, May 19, 2024

පිරිසිදු ජල අයිතිය සහ චුන්නාකම් තාප විදුලි බලාගාරය පිළිබඳ ඓතිහාසික නඩු තීන්දුවෙහි වැදගත්කම – රවීන්ද්‍ර කාරියවසම්

ජායාරූපය: තාප බලාගාරයෙන් සිදුවන ජල දූෂණයට එරෙහිව උපවාසයක්. (2015)

2015/ 141/CSC ශේෂ්ඨාධිකරණ නඩුව ගොනු කලේ චුන්නාකම් ප්‍රදේශයේ චුන්නාකම් තාප විදුලි බලාගාරයෙන් නිකුත් කරන ලද අප තෙල් ( waste oil) පරිසරයට හා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලට එකතු වීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය පිරිහීමත්, පරිසරය දූෂණය වීමත් , කෘෂිකාර්මික හා සතුන්ට ඇතිවන බලපෑම නවත්වා ගැනීමට මෙම නඩුව ගොනු කරන ලදී.

මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් අගවිනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ මෙය ඓතිහාසික නඩු තීන්දුවක් ලෙසය. එයට හේතුව ඉන්දියාවේ 1987 වර්ෂයේ නීති පද්ධතියට එක් කල පැමිණිල්ල ගොනු කරන්නා විසින් පරිසරය සම්බන්ධ කාරණය දී පරිසර දූෂණයක් සිදුවනවා යැයි ඔප්පු කල යුතු නොවන අතර චෝදනාවට ලක්වන පුද්ගලයා හෝ ආයතනය විසින් පරිසර දූෂණයක් සිදු නොවනවා යැයි ඔප්පු කල යුතුය. මේ ක්‍රමවේදය පලමු වතාවට ලංකාවේ ප්‍රයෝජනයට ගනු ලැබුවේ චුන්නාකම් නඩු තීන්දුවේදී ය. එම නිසා මෙම තීන්දුව පොස්පේට් නඩු තීන්දුව මෙන්ම ලංකාවේ නීතියට නව මානයක් එක් කල නඩු තීන්දුවක් ලෙස හැදින්විය හැකි අතර විශේෂයෙන් චුන්නාකම් ප්‍රදේශයේ ජනතාවට මිලියන 20 වන්දියක් ගෙවීමට නියෝග කර සිටි අතර මෙම තාප විදුලි බලාගාරය නැවත ක්‍රියාත්මක වන්නේ නම් ජලය පිරිපහදු කිරීමේ ක්‍රමවේදයක් , දැවි තෙල් පිරිපහදු කිරීමේ ක්‍රමවේදයක් හා රදවා තබා ගැනීමේ ක්‍රමවේදයක් මෙම තාප විදුලි බලාගාර හිමිකරුවන් විසින් සිදු කල යුතු අතර එසේ නොවන්නේ නම් මෙම විදුලි බලාගාරය සදහටම නතර කර දැමිමට හැකියාවක් තිබෙන බවයි.

මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු මේ රටේ පරිසරය වෙනුවෙන් වගකිවයුතු ආයතන ගණනාවක් තම වගකීම පැහැරහරිමින් සිටින වෙලාවක නීතීඥ නුවන් බෝපගේ , නීතීඥ චරිත වෙත්තසිංහ ඇතුළු තවත් නීතීඥ සහෝදරවරු එක්ව චුන්නාකම් දමිල ජනතාව වෙනුවෙන් සිදුකල මෙම මහත් කාර්යභාරය නිසා අද දවසේදී තමන්ගේ පරිසරය, ජන ජීවිතය හා සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමටත් අසාධාරණය වෙනුවෙන් කිසියම් වන්දි මුදලක් ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට නව පිටුවක් පෙරලීමටත් මෙම ඓතිහාසික නඩු තීන්දුව හරහා හැකි වූ අතර පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය හරහා ගොනුකල මේ නඩුවට උදව් උපකාර කල නීතීඥ සහෝදරවරුන් තිදෙනා කිසිම මුදලක් අය නොකර තමන්ගේ රට හා මේ රටේ ජනතාව වෙනුවෙන් මෙම ඓතිහාසික කාර්යභාරය කළ අතර ඒ වෙනුවෙන් අපි ඔවුන් සැමට අපගේ ප්‍රණාමය පුදකර සිටිමු.

එමෙන්ම මෙම නඩු තීන්දුව ගැනීමට උපකාර කල සැමට ස්තූතිවන්ත වන අතර වන්දි මුදල් ගෙවීමේ දී මෙහි වාසිය එම ප්‍රදේශයේ දේශපාලඥයන් ගැනීමට ඉඩ ඇති අතර පැවසීමට ඇත්තේ මෙම නඩු තීන්දුවේදී කිසිදු දේශපාලඥයෙක් ජනතාව වෙනුවෙන් පෙනී් නොසිටි අතර ඔවුන් පෙනී සිටියේ මෙම තාප බලාගාරය වෙනුවෙනි. එම නිසා මෙය නැවත අපට ඔප්පු කර සිටින්නේ ජනතාවගේ ජයග්‍රහණ , පරිසරයේ ජයග්‍රහණ ජනතාවගේ එක් වීම් තුළ මිසක් දේශපාලඥයන් මතුකරන බෙදුම්වාදය තුළ නොවේ. එනිසා පරිසර ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවත් සිත්හි තබා ගෙන පරිසර ජයග්‍රහණයන් වෙනුවෙන් එකට එක්ව කටයුතු කල යුතු බව අවධාරණය කර සිටිමි.

රවීන්ද්‍ර කාරියවසම් පරිසර සහ සොබාදහම් අධ්‍යන කේන්ද්‍රයේ සභාපතිවරයා ය.

Archive

Latest news

Related news