Sunday, May 19, 2024

ස්ත්‍රී දිනය හුදෙක් පසු වදනක් නොවන්නට නම් …

මාර්තු 08දා අපේ දිනයයි. මේ ලොව පුරා ස්ත්‍රීන් සිය අයිතිය හඩගා කියන දිනයයි. එය හුදෙක් සැමරුම් දිනයක් නොව සිතන, කියන සහ පියවර ගැනෙන දිනයක් බවට පත් කරමු. එය හුදෙක් පසුවදනක් වන්නට ඉඩ නොදී පෙර ගමනක් කරමු.

නිවසටත්, ලිංගික සහ ගෘහ සේවයටත් ස්ත්‍රීය සීමා කළ කාලය දැන් අභියෝගයට ලක් වෙයි. දේශපාලනයෙහි ද රාජ්‍ය පරිපාලනයෙහි ද සමාජ සේවාවන්හිද ස්ත්‍රී සහභාගිත්වය සහ නායකත්වය නොනැවත ඉහළ යමින් තිබේ.

අද ලොව පුරා හමා යන එක් විප්ලවීය කුණාටුවක් නම් ස්ත්‍රීන් ඉතිහාසයෙහි තමන්ට අයත් සමානාත්මතාවය අල්ලා ගැනීම උදෙසාත් තමන් තලා පෙළන විවිධ සමාජ සංස්කෘතික, දේශපාලන සහ ආර්ථික අගතීන් පරාජය කිරීම උදෙසාත් ගෙන යන අරගලයයි.

ලෝක ස්ත්‍රී ප්‍රජාව වශයෙන් ශ්‍රී ලංකාවේ අපද මෙකී යුග මෙහෙවරෙහි කොටස්කාරියන් විය යුතුය‍.

හැරී බලමු අප දෙස.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ස්ත්‍රීන් සෑහෙන ප්‍රමාණයක් තේරී හෝ අනුපාතය අනුව පත්වීම අප ලද ජයකි. එනමුත් එම ජය සාර්ථක වන්නේ මෙරට දේශපාලනය තුළ ස්ත්‍රී නායකත්වය ශක්තිමත් වීමෙන් පමණි. ශ්‍රී ලංකාව ලෝකයේ දේශපාලනය තුළ අවම ස්ත්‍රී සහභාගිත්වයක් ඇති රටකි. එයම රාජ්‍ය පරිපාලනයටද සමාජ සේවාවන්ට ද අදාළය.

පිරිමින් පමණක් කතා කරන දේශපාලන, සමාජ සංස්කෘතික සාකච්ජා, රැස්වීම් මෙරට කොතරම් වේද? අද ලොව තත්වය ඊට වඩා බොහෝ වෙනස් ය‍.

පසුගිය ජනවාරි 11 දින සිට කටුනායක නිදහස් වෙළද කලාපයෙහි ඒ.ටී.ජී. සිලෝන් ආයතනයේ සේවක සේවිකාවන් 500ක් පමණ වැඩ වර්ජනයක නිරතව සිටින අතර ආර්ථික හේතූන් නිසා යළි සේවයට වාර්තා කළ සේවිකාවක් ප්‍රසිද්ධියේම ලිංගික අපයෝජනයන්ට ලක් කර ඇතැයි නිදහස් වෙළද කලාප පොදු සේවා සංගමය වාර්තා කර තිබේ. මෙම සේවිකාවන් ආර්ථික වශයෙන් සූරා කෑමට අමතරව ලිංගික සූරා කෑමකට ලක් කිරීම ශිෂ්ඨ සමාජයක් විසින් ඉවසිය යුතුද? අප අද ඔවුන් සමඟ නැගී සිටිමු.

දිනක වැටුප රුපියල් 1000ක් කරන සේ ( මසකට වැඩ ලැබෙන්නේ දින 20කට පමණි) ඉල්ලා වැවිලි කර්මාන්තයේ නියතු සේවක සේවිකාවන් ගෙන යන අරගලයට දැනට මාස ගණනාවක් ගත වී ඇතත් විසඳුමක් නැත. වැවිලි ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායෙහි අති බහුතරයක් වන්නේ ස්ත්‍රීන් ය. මේ ස්ත්‍රී දිනයෙහි දී අපි අපේ සහාය ඔවන්ට පුද කරමු.

ස්ත්‍රී දිනයට සතියක් තියා දැරියක දූෂණය කළ බවට චෝදනා ලද දේශපාලනඥයකු නීතිය නොසළකා ඇප ලද්දේ එම දැරිය බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට වෛද්‍ය වාර්තා ද තිබියදීය.

මෙරට ස්ත්‍රීන් මුහුණ දෙන ලිංගික අතවරයන් ගැන පැමිණිළි කැරෙන්නේ අත ලොස්සක් පමණක් බව අපි දනිමු. පොදු ප්‍රවාහන සේවාවන්හි ලිංගික අතවරයකට ලක් නොවූ ස්ත්‍රියක් මෙරට නැති තරම් ය.

ස්ත්‍රීන්ට කැරෙන ලිංගික හිංසනයන් පිටු දැකීමට නොහැකි සමාජයක් ශිෂ්ඨ සමාජයක් නොවේ. අද අප මෙරට සෑම ක්‍රියාකාරී දේශපාලන සමාජ සංවිධානයකින්ම ඉල්ලා සිටින්නේ මෙම උවදුර දුරු කිරීමට එක්වන ලෙසයි.

ලෝකයේ ප්‍රචණ්ඩත්වය ඉහළම රටවල් අතර 5 වන ස්ථානයේ සිටින්නේ ලංකාවයි.

තිස් අවුරුදු කුරිරු යුද්ධය නිම වී වසර 10 ක් ගත වී තිබුණද එයින් බැට කෑ උතුරේ මව්වරු තම දරුවන් සහ ඉඩම් ඉල්ලා තවමත් මහපාරේය.

ලෝකයෙහි නොනවතින සමාජ ප්‍රවාහයක් වේ නම් එය නිදහස, යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වන ගමනයි. ස්ත්‍රී විමුක්තිය, සමානාත්මතාවය, ගරුත්වය යනු අද ඉහළටම ඉහළටම එසවෙන ධජ පතාක වෙයි. අපිදු අද මේ ස්ත්‍රී දිනයෙහි දී මෙරට අන් සියලු ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයින්, පිරිස්,. බලවේග සහ ප්‍රජාවන් සමඟ එක්ව සමාජ ප්‍රගමනයේ කොටස්කරුවන් ලෙස ස්ත්‍රී විමුක්තියේ ධජය ඉහළින්ම ඔසවමූ.

සතුට සහ ජය පතමූ.

ලක්බිමේ මව්වරු සහ දියණියෝ.

මාර්තු 08 2019.

Archive

Latest news

Related news