පිරිමින්ට නැති ගැහැණුන්ට ඇති අයිතීන් මොකටද?

980

කාන්තා/ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතා කිරීමේදී අපට අහන්නට ලැබෙන සුලභ දෙයක් තමයි ‘ඇයි මේ ගැහැනුන්ට විතරක් අයිතිවාසිකම්?’,’ඇයි පිරිමි අයිතිවාසිකම් කියලා දෙයක් නැත්තේ?’ කියා.

උපතින්ම අපට *ලිංගයක් පවරනු ලබනවා. එය ස්ත්රී හෝ පුරුෂ වශයෙන් උප්පැන්න සහතිකයේ සදහන් වෙනවා. ඊට අමතරව ස්ත්‍රී පුරුෂ සහ අන්තර් ලිංගික වශයෙන් *ජීව විද්යාත්මකව ලිංග භේදය තිබෙනවා. බොහෝ විට මෙම ජීව විද්යාත්මක බෙදීම අනුව එක් එක් පුද්ගලයන් ශාරීරිකව වෙනස් වෙනවා. කාන්තා/ස්ත්‍රී අයිතිවාසිකම් පිලිබඳ කතා කිරීමේදී සාමන්ය සමාජයේ තිබෙන සරලම සහ අවිධිමත්ම සංවාදය තවමත් ඇත්තේ මෙතැනයි. එනම් ස්ත්රී සහ පුරුෂ ලිංග භේදය මත පදනම්ව. එනිසා ‘සම අයිතිවාසිකම්’ කියා දෙයක් නොමැති බවට බහුලව කතා වෙනවා. මෙය හුදෙක් ඒ පිරිසට ඉරක් ගසා වෙන කර කාණ්ඩ දෙකකට බෙදී කරන සටනක් වැනියි. සාමාන්ය සමාජ කතිකාව හෝ විවාදය කෙසේ වෙතත් ජීව විද්යාත්මකව ලිංගය මත ස්ත්රීය හා පුරුෂයා වෙන් වුවද *ස්ත්‍රී පුරුෂ සමාජභාවය එසේ ලිංග භේදය මත පදනම්ව බෙදා වෙන් කරන්නට බැහැ. ස්ත්‍රීභාවය හෝ පුරුෂභාව ස්ත්‍රී පුරුෂ දෙකොට්ඨාශයටම තිබෙන්නට පුළුවන්.

කාන්තා/ස්‍ත්‍රී අයිතිවාසිකම් කියා දෙයක් මතුව ඇත්තේ කාන්තාවක්/ස්ත්රීයක් වූ නිසාම අන් අයට නැතහොත් සැමටම එක ලෙස ලැබිය යුතු අයිතිවාසිකම් නොලැබී යාම තුළයි. එය කාන්තාවන්ට/ස්‍ත්‍රීන්ට පමණක් විශේෂිත වරප්‍රසාද ලැබෙන වෙනම අයිතිවාසිකමක් නොව අන් සැමට ලැබෙන අයිතිවාසිකම ඔවුන්ටද ලබා දීමක්. පිරිමි අයිතිවාසිකම් කියා දෙයක් නොමැති වන්නේ පිරිමියෙක්ට/පුරුෂයෙක්ට, පිරිමියෙක්/පුරුෂයකු වීම මත තම අයිතිවාසිකම් නොලැබෙන තත්ත්වයක් නොමැති වීම නිසයි. මේ සම්බන්ධව විවිධ විවාධාත්මක සංවාද පවතිනවා. තවද ස්ත්රීභාවයක් පවතින ජීව විද්යාත්මක පුරුෂයන්ට, පුරුෂභාවයක් ඇති ජීව විද්යාත්මක ස්ත්රීන්ට හෝ) සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ටද එම තත්ත්වයන් මත තම අයිතිවාසිකම් නොලැබෙන තත්ත්වයක් පවතිනවා. එබැවින් කාන්තා/සත්‍රී අයිතිවාසිකම් යනු හුදෙක් ජීව විද්යාත්මකව පමණක් නොව ස්‍ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ කතිකාවක් විය යුතුය. මන්ද සැබෑ තත්ත්වය එය නිසා.

කෙසේ වෙතත් ජීව විද්යාත්මකව ස්ත්‍රියක් වීම හේතු කොට ගෙනම ශ්රී ලාංකික සමාජයේ කාන්තාවන්ට ඇත්තේ අවම ගරුත්වයක් සහිත පරිසරයකි. ගෙදර කුස්සියේ සිට පාර්ලිමේන්තුව දක්වාම එය එසේමයි. අප ශ්රී ලාංකීය සමාජය තුළ කාන්තාවන්ට අනෙක් සියලු පුරවැසියන්ට ලැබිය යුතු ගරුත්වය ලැබිය යුතුමය. ඇය කාන්තාවක් වූ පමණින් මෙරටෙහි දෙවන පෙළ පුරවැසියෙක් වන්නේ නැත. ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලංකාවෙන් බිහි වීම , ගෙදර බුදුන් අම්මා වැනි ‘සාධාරණීකරණ හේතු’ කොපමණ ප්රමාණයක් ගෙනාවද ප්රයෝගික සමාජය හා පවුල තුළ මේ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. කාන්තා/ස්ත්‍රී අයිතිවාසිකම් අවශ්ය වන්නේ කාතාවන්ට පමණක් නොව. එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කම් ලබන පුරුෂයන්ටද එසේමය. පිල් නොබෙදී මනුෂ්යත්වය, පුරුවසිභාවය හා ගරුත්වය යන කාරණා මත සිට මේ පිලිබඳ අප සැවොම බුද්ධිමත් කතිකාවතක නිරත විය යුතුය. ඉන් පසු මෙයට විසදුම් සොයා ගැනීමට අපට පහසු වනු ඇත. නමුත් අවාසනාවකට මෙම කතිකාව ශ්රී ලාංකීය සමාජය තුළ තවමත් පවතින්නේ ප්‍රාථමික අවධියකය.

කාන්තා/ස්ත්‍රී අයිතිවාසිකම් වැනි දෙයක් මතු වීමට නොයෙකුත් හේතු සහ කාන්තාවක් වීම තුල නොලැබී යන අයිතිවාසිකම් පිලිබඳ ඉදිරි පොස්ටුවන්ගෙන් කතා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. (පුරුෂාධිපත්‍ය මූලික කොට ගත් සමාජය, බලය, පංතිය, ශ්‍රමය, අධ්‍යාපනය, ලිංගික හිංසනය වැනි දේ)

*️⃣1️⃣ පවරනු ලබන ලිංගය යනු කුමක්ද? – https://www.facebook.com/…/a.18516270251…/1851138328528087/…
*️⃣2️⃣ ජීව විද්යාත්මක ලිංග භේදය යනු කුමක්ද? –https://www.facebook.com/…/a.18516270251…/1852030801772173/…
*️⃣3️⃣ ස්ත්රී පුරුෂ සමාජභාවය යනු කුමක්ද? –https://www.facebook.com/…/a.18516270251…/1861451504163436/…
*️⃣4️⃣ සංක්රාන්ති සමාජභාවය යනු කුමක්ද? –https://www.facebook.com/…/a.18516270251…/1883997298575523/…

දේදුනු සංවාද
2019 මාර්තු 08

(මෙම ලිපියෙහි අයිතිය දේදුනු සංවාද පිටුව සතුයි.  දේදුනු සංවාද – Dedunu Sanwada )