Saturday, April 27, 2024

ආරක්ෂක මූලස්ථාන වංචාවෙන් ගෝඨා රකින්න මෛත්‍රීගෙන් කැබිනට් පත්‍රිකාවක්

(ලංකා ට්රුත්)  අකුරේගොඩ ප්‍රදේශයේ ආරක්ෂක සේනා මූලස්ථානය ලෙස හඳුන්වමින් ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවලදී සිදු වී ඇති වංචා පිළිබඳ හෙළි වීමත් සමග එහි චූදිතයා බවට පත්ව ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගලවා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ කැබ්නට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම ඉදි කිරීමට අදාළ උපදේශන සේවා සහ ගෘහ නිර්මාණ කටයුතු මුදිත ජයකොඩි සමාගම (Muditha Jayakody Associates (Pvt)Ltd) වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත්තේ 2006 වසරේ අප්‍රේල් මස 05 වැනි දිනය.

මෙසේ කැබිනට් අනුමැතිය ලබා දෙන විට අදාල සමාගම සමාගමක් ලෙස සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ හෝ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණකරුවන්ගේ ආයතනයේ (Sri Lanka Instiute of Architeects) ලියාපදිංචිය ලබාගෙන නොතිබිණි. මෙම ආයතනය සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ 2010.10.27 වන දින වන අතර ශ්‍රී ලංකා ගෘහ නිර්මාණකරුවන්ගේ ආයතනයේ ලියාපදිංචි වී ඇත්තේ 2011.11.03 වන දිනය.

නීති විරෝධී මෙන්ම විධිමත් කැබිනට් අනුමැතියක් හෝ නොමැතිව මුදිත ජයකොඩි සමාගමට ලබා දුන් මෙම සේවා කටයුතුවලට අදාළව සිදු වී ඇති වංචා සහ ක්‍රමිකතා හෙළිදරවු වීමත් සමග 2015 මාර්තු 18 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ පරීක්ෂණ කමිටුවක් පත් කර එහි වාර්තාව සහ මෙම ඉදිකිරීම් ගනුදෙනුවලට අදාළ සියලු තොරතුරු ‘තොරතුරු දැනගැනීමේ පනත’ යටතේ ඉල්ලා තිබියදී වාර තුනකදී එම තොරතුරු ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. රාජ්‍ය ආරක්ෂාවට බලපාන බව පවසමින් මෙසේ ප්‍රතික්ෂේප කර ඇතත්, අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මූල්‍ය කටයුතු රාජ්‍ය ආරක්ෂාවට අදාළ නොවන නිසා එම තොරතුරු ලබාදිය යුතු බවටයි.

එසේ තිබියදීත් මෙම ඉදිකිරිම් අක්‍රමිකතාවලට සෘජුව වගකිවයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා රැකගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තොරතුරු කොමිසමට බලපෑම් කරමින් කැබිනට් පත්‍රිකාවක් 2019 පෙබරවාරි 12 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තොරතුරු කොමිසමේ සාමාජික, නීතීඥ එස්.ජී පුංචිහේවා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ මේ මැදිහත්වීම පිළිබඳව කොමිසමට පැමිණිලි කළහොත්, නීති මඟින් කටයුතු කිරීමේ බලය පනතින් ලැබී ඇති බවයි. කෙසේ වෙතත් මෙතෙක් කොමිසමේ නීති අංශයක් පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැති බවත් එය කොමිසමේ කටයුතුවලදී බරපතළ ගැටලු මතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ලංකා ඉරිදා සංග්‍රහයේ 03වන පිටුවේ පළ කර තිබේ.

ලංකා ඉරිදා සංග්‍රහය – චතුර දිසානායක

Archive

Latest news

Related news