Friday, April 26, 2024

මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට  එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරනු.- මාධ්‍ය සංවිධාන

මෙරට මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට  එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ‌‌ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය. දමිළ මාධ්‍ය සංධානය, මුස්ලිම් මාධ්‍ය සංසදය, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය ව්‍යාපාරය  විසින් අත්සන් තබන ලද ලිපියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධිකාරක හනා සිංගර් මහත්මිය වෙත හා ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා  වෙත භාරදීම 2019 ජනවාරි 29 වෙනි දින පෙරවරු 10.00 ට සිදු කෙරෙන බව එම සංවිධාන විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීම සහතික කරනු පිනිස එක්සත් ජාතින්ගේ සංවිධානය දිගටම කටයුතු කළ යුතු බවද එම ලිපිය මගින්අවධාරණය කර තිබේ.

එම නිවේදනය මෙසේ ය.

ජනමාධ්‍ය සංවිධාන එකමුතුව,
2019 ජනවාරි 24.

ජනමාධ්‍ය නිවේදනය
හිතවත් ප්‍රවෘත්ති කර්‍තෘතුමනි/අධ්‍යක්‍ෂතුමනි,

පසුගිය රාජ්‍ය පාලන සමයේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කොට අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ 2015 බලයට පත් ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් විය. බලයට පත්වී වසර හතරක් ගෙවීගොස් හමාරය. එහෙත් අද වනතෙක් අපරාධකරුවන් නීතිය හමුවටගෙන ඒමේ පරීක්ෂණයන්හි ප්‍රගතියක් නැති තරම් ය.

මේ පිළිබඳව ඉහත නම් සඳහන් මාධ්‍ය සංවිධාන කරන ලද බලපෑම් පිළිබඳව රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම රහසක් නොවේ. ඒ නිසාම තවදුරටත් මේ අපරාධයන් පිළිබඳව වැඩිදුර අවධානය යොමු කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධිකාරක හනා සිංගර් මහත්මිය වෙත හා ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මේ අපරාධ පිළිබඳව පරීක්‍ෂණ කඩිනම් කිරීමට මැදිහත්වෙන ලෙස ඉල්ලා පෙත්සම් දෙකක් භාරදීමට කටයුතු යොදා ඇත.

මාධ්‍ය සංවිධාන නියෝජිතයන් විසින් මෙම පෙත්සම් භාරදීම 2019 ජනවාරි 29 වෙනි දින පෙරවරු 10.00 ට බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, බ්ලොක් අංක 09 දී හා පෙරවරු 10.30 ට බෞද්ධාලෝක මාවතේ අංක 204 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය.

මේ ක්‍රියා මාර්ගයන් පිළිබඳව පූර්ව ප්‍රචාරයක් ලබාදිමට හා එදින මාධ්‍ය ආවරණය ලබාදිම පිණිස ඔබගේ කාරුණික මැදිහත්වීම අපේක්‍ෂා කරමු.

මෙයට, විශ්වාසී,

දුමින්ද සම්පත්
සභාපති,
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
ජනමාධ්‍ය සංවිධාන එකමුතුව වෙනුවෙන්.
077 318 1731

Archive

Latest news

Related news