Thursday, March 28, 2024

ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇනහිටීම: එක සමාන තත්වයක්

අනිවාර්ය නිවාඩු යවා සිටි රජයේ සේවකයන් සහ තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකිව සිටි ආණ්ඩුවේ ව්‍යාපෘති කොන්න්ත්‍රාත්කරුවන් සිය ගණනක් පසුගිය ජනවාරි 11 වැනි දා ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා දැක්වූහ. ‘අතකොළු වෙච්ච සගයිනි’ යනුවෙන් ඔවුනොවුන් ආමන්ත්‍රණය කර ගත් මේ පිරිස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවේ ඇනහිටීම වහා අවසානයක් කරන ලෙසයි. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ආණ්ඩුවේ කෙටිකාලීන වැය ශීර්ෂයකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙයින් පිරිසකට තමන්ගේ වැටුප් අහිමි වී ඇති අතර, තවත් ව්‍යාපාරිකයන් පිරිසකට තමන්ගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ආණ්ඩුවෙන් ලැබීමට නියමිත වෙනත් ගෙවීම් පමා වී තිබේ. ජනාධිපතිවරයා ආණ්ඩුවේ කෙටිකාලීන වැය ශීර්ෂයකට මෙසේ තමන්ගේ අත්සන යෙදීම ප්‍රතික්ෂේප කොට ඇත්තේ, ඇමරිකාව සහ මෙක්සිකෝව අතර තාප්පයක් බැඳීම සඳහා ජනාධිපතිවරයා අදහස් කරන ව්‍යාපෘතියක් වෙනුවෙන් මුදල් වෙන් කිරීම ඇමරිකානු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකය හෙවත් කොන්ග්‍රස් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමයි.

ඇමරිකාව සහ මෙක්සිකෝව දේශ සීමාව අතර බැඳීමට ජනාධිපතිවරයා යෝජනා කරන මේ තාප්පයේ වියදම ඩොලර් බිලියන 5 කි. කොන්ග්‍රස් මණ්ඩලය ප්‍රතික්ෂේප කරන්නේ එම මුදලයි. ඔවුන් කියන පරිදි, එය අති විශාල වියදමකි. එසේම, ඔවුන් කියන පරිදි, එය අනවශ්‍ය ව්‍යාපෘතියකි. ඇමරිකාවේ රාජ්‍ය වියපැහැදම් සඳහා කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය තිබිය යුතු අතර, ජනාධිපතිවරයාගේ අත්සනත් අවශ්‍ය කෙරේ. මේ ආකාරයට, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර කඹ ඇදිල්ල හේතුවෙන්, පසුගිය දෙසැම්බර් 22 වැනි දා සිට ඇමරිකානු ආණ්ඩුව අර්ධ ඇනහිටීමකට ලක්ව තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයක් ඇති ඇමරිකානු සෙනේට් මණ්ඩලය පසුගිය බදාදා කෙටිකාලීන වියදම් ඇස්තමේන්තුවක් සම්මත කර ගත්තේය. එහෙත් ඒ ඇස්තමේන්තුවට මේ කියන තාප්පයේ වැය ශීර්ෂය ඇතුළත්ව නැත. මේ නිසා තමන් ඒ ලියවිල්ලට අත්සන් නොකරන බවත්, ඒ හේතුවෙන් ආණ්ඩුව ඇනහිටීම ගැන තමන් සතුටට පත්වන බවත් පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා කියා සිටියේය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ, ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ සේවකයන් 800,000 කට තමන්ගේ වැටුප් අහිමිව යාමයි.

ඇමරිකාවේ අයවැය වර්ෂය පටන් ගැනෙන්නේ ඔක්තෝබර් මාසයෙනි. ජනාධිපතිවරයා මෙසේ අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කලින්, ආණ්ඩුවේ වැය ශීර්ෂයෙන් සියයට 75 ක් සඳහා ඒ වන විටමත් අත්සන් කොට තිබුණි. ත්‍රිවිධ හමුදාව සඳහා වන වියදම් ඊට ඇතුළත් විය. එබැවින් දැන් ඇනහිට ඇත්තේ වියදම්වලින් සියයට 25 ක ප්‍රමාණයකි. එසේ වෙතත්, ඒ වියදම්වලට කැබිනට් මට්ටමේ රාජ්‍ය දෙපාර්තමේන්තු 15 න් 9 ක්ම අයත් වන්නේය. අර්ධ වශයෙන් ආණ්ඩුව ඇනහිට ඇති බව කියන්නේ එබැවිනි.

මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවේත් ව්‍යවස්ථාමය ඇනහිටීමක් තිබුණේය. එය සමතයකට පත්කෙරුණේ අධිකරණයේ මැදිහත් වීමෙනි. එබැවින්, ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ සේවකයන්ගේ අර්බුදය අපට හොඳින් තේරුම් ගත හැකිය. ඔවුන්ගේ තත්වය සහ මීට මාස කිහිපයකට කලින් අපේ පැවති තත්වය බොහෝ දුරට එක සමාන ය. ශ්‍රී ලංකාවේ දී සිදු වුණේ, ජනාධිපතිවරයා තුළ අගමැතිවරයා කෙරෙහි ඇති නොසතුටක් නිසා රටේ ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කරන තත්වයකට රටේ ජනාධිපතිවරයා පත්වීමයි.

ඒ ආකාරයෙන්ම, ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද, තමන්ගේ හිතුමතේට කටයුතු කිරීමට ගොස්, තමාගේ පෞද්ගලික ආශාවන් සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ව්‍යවස්ථාදායකයෙන් සපයා නොදෙන තාක් කල්, තමන් විසින් රජයේ සේවකයන් ප්‍රාණඇපයට තබා ගන්නා බව කියා සිටී.

අපේ ජනාධිපතිවරයාත් මීට සමානව, තමා මොන විදිහකින්වත් රනිල් වික්‍රමසිංහව අගමැති තනතුරට පත් නොකරන බව කීවේය. එසේ ඔහුව අගමැති තනතුරට පත්කළොත් තමා එක පැයක්වත් ජනාධිපති ධුරයේ නොසිටින බවත් ඔහු කීවේය. දැන් ඒ අගමැතිවරයාව ඔහු විසින්ම ආපසු එම තනතුරට පත්කොට සති දෙකකටත් වැඩි කාලයක් ගතව තිබේ. එහෙත් ජනාධිපතිවරයා තවමත් තමන්ගේ ධුරයේ රැඳී සිටී.

මේ හා සමානවම, ඇමරිකානු ජනාධිපතිවරයා ද, තමාගේ හුරතල් ව්‍යාපෘතිය වන තාප්පය සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම ඉලක්ක කරගෙන ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරනු ඇතැයි කලින් කියා සිටියේය. (එවැන්නක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායකයේ අනුමැතිය නැතිව පවා ඇමරිකානු ජනාධිපතිවරයාට අවශ්‍ය කරන වියදම් සපයා ගත හැකිය). එහෙත් පසුගිය 21 වැනි දා ඔහු වෙනත් කතාවක් කියා සිටියේය. එනම්. ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමේ අදහසක් දැනට තමාට නැති බව ය.

ඔහුගේ ඒ ස්ථාවරය වෙනස් කර ගැනීමට හේතු වන්නට ඇතැයි ‘ගාර්ඩියන්’ පුවත්පත සැක කරන්නේ, දහස් ගණන් සේවකයන් වැටුප් අහිමි වීමෙන් අර්බුදයකට පත්ව සිටීමත්, සේවකයන්ගේ හිඟකම නිසා මියාමි ගුවන් තොටුපොළේ එක් පර්යන්තයක් පසු ගිය දා වසා දැමීමට සිදු වීමත් නිසා විය හැකි බව ය. මේ අතර, කොන්ග්‍රස් මණ්ඩලය, සේවකයන්ගේ වර්තමාන වැටුප් අනාගතයේ ගෙවීමට හැකි වන ආකාරයේ පනතක් පසුගිය දා සම්මත කර ගත්තේය. ඊට ජනාධිපතිවරයා අත්සන් කරනු ඇතැයි ඔහුගේ පක්ෂයේ සෙනේට් මණ්ඩලයේ සභාපතිවරයා කියා ඇතත්, මේ දක්වා ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ද ඉතා දැඩි මතයකට පිහිටා සිටින බව පෙනේ.

මේ ගැන සාකච්ඡාමය විසඳුමකට පැමිණීමට තවමත් යම් ඉඩක් ජනාධිපතිවරයාට තිබේ. කෙසේ වෙතත්, ඔහුට විරුද්ධ පාර්ශ්වය වන ඩිමොක්‍රටික් පක්ෂය බහුතරයක් හොබවන කොන්ග්‍රස් මණ්ඩලය මේ කියන තාප්පය සඳහා අවශ්‍ය මුදල තමන් විසින් අනුමත නොකරන බව උදක්ම කියා සිටී. මේ අතර, වර්තමානයේදී ආණ්ඩුව අර්ධ වශයෙන් ඇනහිටින තත්වයකට පත්ව තිබීම ගැන වගකීම තමන් භාර ගන්නා බව ජනාධිපතිවරයා විසින් කියා සිටීමත් ඔහුගේ තත්වය තවත් නරක අතට පත්කොට තිබේ. එය ආඩම්බරයට කාරණයක් වශයෙන් ඔහු ගන්නා බවකි පෙනෙන්ට තිබෙන්නේ. “මං කියන්න ඕනේ, අපේ දේශ සීමාවේ ආරක්ෂාව වෙනුවෙන්, ආණ්ඩුව ඇනහිටින මට්ටමට කටයුතු කිරීම ගැන මං ආඩම්බර වෙනවා.” යැයි ඔහු කීය. “මමයි ආණ්ඩුව වහලා දාන්නේ. ඒ ගැන මං තමුන්නාන්සේලාට (ඩිමොක්‍රටික් පක්ෂයට) වගකීම පටවන්නේ නැහැ.” ඔහු තවදුරටත් කීය.

ව්‍යවස්ථාදායකයත්, විධායකයත් උගත යුතු පාඩම වන්නේ තමන් ආණ්ඩුවේ අර්ධ දෙකක් නියෝජනය කරන බවයි. එක අර්ධයකට අනිත් අර්ධයේ සහයෝගයෙන් තොරව පැවතිය නොහැක. විධායකය සහ ව්‍යවස්ථාදායකය එකිනෙකාව අස්ථාවර කරනවා වෙනුවට, එකිනෙකා අතරේ සම්මුතිකාමී විය යුතුය. එසේ නොමැති වුවහොත්, රට අස්ථාවරත්වයටත්, සමහර විට අරාජකත්වයටත් ගොදුරු විය හැකිය.
2019 ජනවාරි 21 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ US & Sri Lanka Government Shut Downs, Distinctions without Difference නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Archive

Latest news

Related news