Saturday, May 4, 2024

සිරිසේනවාහිණී: ප්‍රවෘත්ති අපෙන්; තීරණය ඔබෙයි! – සුනන්ද දේශප්‍රිය

පළමුවෙන් මෙන්න ප්‍රවෘත්ති:

01.ඉන්දියාවේ මුල්පෙළ ඉංග්‍රිසි පුවත්පතක් වන හින්දු පුවත්පත සමඟ සාකච්ජාවකදී ජනාධිපති සිරිසේන මෙසේ ප්‍රකාශ කරයි. ‘මම ප්‍රථමයෙන්ම ව්‍යවස්ථාවට 19වන සංසෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනිමට සමත් වුණා. අප ඇත්ත වශයෙන්ම යෝජනා කළේ වහාම ජනාධිපතිධුරයේ විධායක බලය අඩු කල යුතු බවටයි. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ජනමත විචාරණයකින් තොරව ප්‍රධාන පෙළේ වගන්ති ඉවත් කළ නොහැකියි කියලා. ඒ වාගේම  ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය ඡන්දයකින් කල හැක්කේ කුමක්ද කියළා. ඉතින් අප තුනෙන් දෙකේ බහුතරයක් ඇතිව කළ හැකි උපරිම දේ කරන්නට එම වගන්ති වෙනස් කරා. කලින් ජනාධිපතිවරයාට වසරක කාලයකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ඉඩ තිබුණා. නමුත් දැන් 19වන සංසෝධනය යටතේ එම කාලය වසර හතර හමාරක් දක්වා දිර්ඝ කර තිබෙනවා’ ( 2016 නොවැම්බර් 11)

අද තිබෙන අර්බුදයට හේතුව 19වන සංසෝධනය යැයි, ජනාධිපති මාධ්‍ය අධ්‍යෂකවරයකුව සිට, ඔක්තොබර් 26දා රාජපක්ෂවාදීන් බලහත්කාරයෙන් ලේක්හවුසියේ මුල් පුටු අල්ලා ගැන‍ීමෙන් පසු සිළුමිණ කර්තෘ ධූරයට පත් සුනිල් ජයසේකර ප්‍රකාශ කරයි.

02. රාජපක්ෂ පවුල සම්බන්ධ වී වසිම් තාජුඩිින් ඝාතනය, ඩුබායි බැංකුවල තැන්පත් කරන ලද මුදල් යනාදිය ගැන පරීක්ෂණ යටපත් කිරිම සහ කල් යැවිම ගැන සිය හදවත රිදුම් දෙන බව ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරයි. රාජපක්ෂවරුන් අත අති විශාල ධනස්කන්දයක් තිබෙන බවත් එම මුදල් යොදා ගනිමින් රටෙහි අවුල් ඇතිකර ජනතාව මුලා කරන බව ද ඔහු ප්‍රකාශ කරයි. (එම)

තමා රාජපක්ෂවරුන් සමඟ අත්වැල් බැදගෙන ඉදිරියටම යන බවට ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරයි. තමා මේ පියවර ගන්නේ රට බේරා ගැනීමට බව ඔහු ප්‍රකාශ කරයි.

03. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත සිටින පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සිරිසේන – රාජපක්ෂ ආණ්ඩුව යටතේ නැව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේම සේවයේ පිහිටුයි.

ලසන්න වික්‍රමතුංග ඝාතනයකීත් නොයාර් පැහැර ගැනීමඋපාලි තෙන්නකෝන් හා නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳව හැරුණු විටකොළඔ දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා එම පරීක්ෂණ වලින් ඉවත් කර සමාන්‍ය පොලීසියකට මාරු කර යවයි.

04. අධිකරණය තුළට කඩා වැදී විනිසුරුවරයාට අපහාස කිරීම නිසා සය වසරක සිර දඩුවමක් විදින ගලබොඩඅත්තේ ඥාණසාර නිදහස් කර කරන ලෙස ඉල්ලා කළහකාරී ලෙස හැසිරුණූ චීවරධාරීන් පිරිසකට පොලීසිය ජල විදිනයනන්ගෙන් පහර දිම ගැන සිරිසේන සමාව ඉල්ලා එම චීවරධාරීන් සමඟ සුහද කතා බහකට එක් වෙයි.

පාර්ලිමේන්තුවෙහි දී එහි කතානායකවරයාට සහ පාර්ලිමේන්තු පොලීසියට බැණ වදිමින් පුටු, පොත් සහ මිරිස් කුඩු වලින් පහර දුන් තමාගේ දේශපාලන හෙංචයියන්ට විරුද්ධව වචනයක් හෝ කතා නොකරන බවට ජනාධිපති සිරිසේන ක්‍රියාවෙන්ම පෙන්වයි. කතානායකවරයාට හෝ පොලිස් නිලධාරීන්ට සිය කණගාටුව ප්‍රකාශ නොකරයි. එපමණක් නොව එම දාමරිකයින් සමඟ එක්ව මහජන රැස්විීමක් පැවැත්විමට සූදානම් වන බව නිර්භයව ප්‍රකාශ කරයි.

සිරිසේනගේ සගයා වන රාජපක්ෂ එම ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සම්පූර්ණ වරද නීත්‍යනුකූලව කටයුතු කල කතානායකවරයා වෙත පටවයි. මිරිස්කුඩු ගැසීම සහ කතානායක පුටුව කඩා බිඳ දැමිම ගැන එක වචනයක් හෝ ප්‍රකාශ නොකරයි.

05. පාර්ලිමේන්තුවෙහි නම්න් බහුතරය පෙන්වන්නේ නම් තමා එම තීරණය පිළිගන්නා බවට එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය යනාදී පක්ෂ හමුවෙහි සිරිසේන පොරොන්දු වෙයි. දෙමළ මුස්ලිම් ජනයාගෙන් සියයට 90ක්ම තමන්ට ඡන්දය දුන් බව ද ඔහු ප්‍රකාශ කරයි.

ඒ අවස්ථාවෙහිම සිරිසේන,සිය අන්තේවාසිකයින් වන ඩිලාන් පෙරේරා, එස්.බි. දිසානායක වැනි මංත්‍රීන් යොදා ගනිමින් පාර්ලිමේන්තුවෙහි නමින් ඡන්දයක් විමසීමට ඇති අවස්ථාව විනාශ කරයි. පසුව දෙමළ සන්ධානය හමුවීමට අවශ්‍යතාවයක් නැතැයි ක්‍රියාවෙන් ප්‍රකාශ කරයි.

06. ජනාධිපතිවරයාගේ අවසරයක් නැතිව ජාතික සංහිදියාව සම්බන්ධයෙන් කටයුතු නොකරන සේ රාජ්‍ය නොවන සංවිධානයකට පොලීසියෙන් යැයිි කියා ගත් පිරිසක් පැමිණ අනතුරු හඟවයි.

ජාතික රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් මෙරට දෙමළ ජනයාට සුවිශේෂි දේශපාලන ප්‍රශ්ණ නැතිබව කියා සිටින සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේ මෑත සැසිවාරයන්හිදී ආන්තික සිංහල ජාතිකවාදීන් සමඟ කටයතු කළ ආචාර්ය නාලක ගොඩහේවා පත්කරයි.

07. තමා කුඩා සන්දියෙහිදී පියා ටොක්කක් ඇන්නේ යැයි යකා නැග සිය පියාට අයත් පීදුණූ කුඹුරු යායාක්ම ගිනි තබා විනාශ කළ බව ‘ජනාධිපති තාත්තා ‘ තමාට කී බවත් කේන්ති ගිය විට තමා කරන්නේ කුමක්දැයි ඔහු නොදන්නා බවත් දියණිය චතුරිකා සිරිසේන තාත්තා ගැන ලියමින් ප්‍රකාශ කරයි.

රටෙහි ස්ත්‍රීන්ට මත්පැන් මිලදී ගැනීම හෝ මත්පැන් විකුණන ආයතනයක සේවය කිරීම තහනම් කළ ජනාධිපති සිරිසේන ඔහුගේ දියණිය වන චතුරිකාට මත්පැන් අලෙවි සැළක් පවත්වාගෙන යාමට ඉඩ දුන් බව තොරතුරු දරන ගැනිමේ පනත යටතේ හෙළීදරව් වෙයි.

08. ජනාධිපති සිරිසේන ඝාතනය කිරීමට අගමැති වික්‍රමසිංහ ද දැනුවත්ව ක්‍රමණ්ත්‍රණයක් තිබූ බවත් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කිරීමට ආසන්නතම හේතුව එව බවත් සිරිසේනගේ අතවැසි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීහු ප්‍රකාශ කරති.

එවැනි ඝාතන ක්‍රමන්ත්‍රණයක් ගැන අසාවත් නොතිබූ මාස ගණනාවකට පෙර අගමැතිකම බාර ගන්නා ලෙස එජාප උපනායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරයි.

09. මෑත කාලීන ශ්‍රී ලංකාවේ වඩාම විරුද්ධකම්පෑමකට ලක් වූ කාරණයක් වේ නම් එය විධායක ජනාධිපති ධූරය බව ජනාධිපති සිරිසේන එක්සත් ජාතින් හමුවේ ප්‍රකාශ කරයි. එසේ වුවත් මේ කාල පුරා කිසිවකුට විධායක ජනාධිපති ධූරයේ පමණ ඉක්මවූ බලය කප්පාදු කිරීමට බැරි වූ බවත් සිදු වූයේ ඒකාධිපති ලෙස බලතල තවත් වැඩි කර ගැනීම බවත් ඔහු ප්‍රකාශ කරයි. 2015 මැයි 15දා පනමත විචාරණයකට නොගොස් කළ හැකි උපරිම බල කප්පාදුව කරන්නට හැකි වූ බවත් ඔහු කියා සිටී. (මැයි 2018)

තමාට වසර පහක් නොව හයක්ම බලයේ සිටිය හැකි බවට තමා ශ්‍රේෂ්ඨාෙධිකරණය හමුයේ සිය නීතිපති ලවා තර්ක කළ බව ප්‍රකාශ කරන ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවේ බහුතර බලය රාජපක්ෂ විරෝධී පිළට තිබුණද තමා එයට යටත් නොවන බවද ප්‍රකාශ කරයි.

10. තමා 2015 ජනවාරියේදී බලයට පැමිණෙන විට තමා අද දරන විධායක ජනාධිපති ධුරයට රජකුට හෝ රාජාධිරාජයකුට තරමි හිමි අපමණ බලතල තිබූ බව ජනාධිපති සිරිසේන යළි එක්සත් ජාතින් හමුවේ ප්‍රකාශ කරයි. එනමුත් එම රාජධිරාජ බලතල අත්හැරීමට සමත් වු තමා තෝරා පත් වූ නායකුයකුගේ කාර්ය භාරය ඉටු කරමින් එම බලතල පාර්ලිමේන්තුවට පැවරූ බව ඔහු සතුටින් ප්‍රකාශ කරයි . (සැප් 2018)

තමා පාර්ලිමෙන්තුව විසුරුවා හරින බවත් ආණ්ඩු පක්ෂය ඊට එකඟ නොවන බැවින් පාර්ලිමේන්තුව කල් තබන බවත් ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරයි.

11. ජනාධිපති සිරිසේන විසින් අගමැති ලෙස නම්කරන ලද මහින්ද රාජපක්ෂට විරුද්ධව ගෙන එන ලද විශ්වාශ භංග යෝජනාවෙන් ඔහු පරාජය වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වාර්තාව වන හැන්සාඩ් හි මුද්‍රිත පිටපතෙහි දැක්වෙයි. අගමැතිවරයා විශ්වාස භංග යෝජනාවකින් පරාජය වූ වහාම ඇමැති මණ්ඩලය ඉබේම අහෝසි වන බව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි දැක්වෙයි.

ජනාධිපති සිරිසේන මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකරන අතර හැන්සාඩ් වාර්තාව පිළි නොගන්නා බව ක්‍රියාවෙන් පෙන්වයි. පාර්ලිමේන්තුව අබිභවා සිය බලය ඇතැයි සිතා සිටින බව ක්‍රියාවෙන් ප්‍රකාශ කරයි

(.ලි. කර කියා ගත දෙයක් නැති වූ බැවින් පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවටම අනුයුක්ත කිරීමට සිරිසේන ආණ්ඩුවට පසුව සිදු විය.)

Archive

Latest news

Related news