Wednesday, May 8, 2024

අවසානයේ ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වඩාත් ශක්තිමත් කළේය

ජායාරූපය: අද කොළඹට ආ එජාප ජන පිරිස්.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

ජනාධිපති සිරිසේන මහතා ගත් මෝහ තීරණයේ ප්‍රතිඵලය ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය වඩාත් ශක්තිමත් වී ඇත. වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසාදයට ලක් වී ඇත. අගමැතිවරයා ජනාධිපතිවරයාට ස්තූති කළ යුතුය. මෙය තේරුම්ගෙන, රාජපක්ෂ සමග එකතු වීම විහිළුවටකලේ කළේ යැයි කියමින් යළිත් අගමැති වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති සිරිසේන මහතා එකතු වීමේ අවදානමක්ද තිබේ. එපමණකට මෙරට වත්මන් දේශපාලනය අමුතුය.

බෙදී විසිරී ගිය සංවිධාන යලිත් වික්‍රමසිංහ වටා එකතු වී ඇත. එය මීට සුළු මොහොතකට පෙර කොළඹට රැස් වූ ජනතාවගෙන් ඔප්පු කරනු ලැබීය. අගමැති වික්‍රමසිංහ කෙරෙහි බොහෝ දෙනෙකුට තිබු වෛරය වෙනුවට ඔහු බේරා ගැනීම රටේ අවශ්‍යතාවය බවට පත් වෙමින් තිබේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මෙන්ම දේශපාලන පක්ෂ රාශියක් ඔහු වටා එකතු වෙමින් සිටිති. එසේම සිරිසේන මහතාගේ තීන්දුව හේතුවෙන් රාජපක්ෂ මහතා විසින් ගොඩ නගමින් තිබු දේශපාලන බලඇණියද ව්‍යාකූල කොට එය අන්දමන්ද කොට ඇත. අවසානයේ, මේ සියල්ලම එකතු වී රටේ ආත්ම ගරුත්වයට තොන්ඩුව දමා ඇත.

ඉන්දියාව ඇතුළු රාජ්‍යයන් රැසක් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා වලට තම අභිමතය පරිදි අර්ථ නිරූපණ ලබාදෙමින් කළ කුමන්ත්‍රණය ඉතාම අප්‍රසන්න ක්‍රියාවක් ලෙස හෙළා දැක ඇත. බලයට පත් වූ අවධියේ ආසියාවේ මැන්ඩෙලා ලෙස නම් කළ මොහු, ශ්‍රී ලංකාවේ මාකෝස් වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. රාජපක්ෂ මහතාගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි ද හින්දු පුවත්පත පවා, මෙරට සිදුවන දේ ඉතාම නිර්දය ලේඅස් විවේචනයට බඳුන් කොට තිබේ. මෛත්‍රිපාල සිරිස්න මහතා කලාපීය සහ ගෝලීය දේශපාලනය තුළ තවත් එක් ගෝත්‍රිකවාදී බල තණ්හාවෙන් පිරිණු ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අයිතීන් සමග සැහැසි සෙල්ලම් කරන්නෙක් ලෙස හඳුන්වා කොට අවසානය. මෙහි විපාකය ඉතාම බරපතළ විය හැකිය.

ජනාධිපතිවරයා තමන් මෙම තීන්දුව ගත්තේ තමන් මරා දැමීමට කුමන්ත්‍රණයක් තිබු නිසා යැයි කියන්නේය. එසේම ඊට වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් පවා හවුල් බව කියන්නේය. ඒ නිසා ඔහු අදාළ තීන්දුව ගත්බව කියන්නේය. එවැන්නක් තිබුණේ නම්, එය ඔප්පු කිරීමට හැකි ප්‍රමාණවත් සාක්‍ෂි සහිත නම්, ලෝකය හමුවේ රට අපකීර්තියට පත් කරමින් රාජ්‍යය දිවි හිමියෙන් ආරක්ෂා කරගත් පරිපාලන මූලධර්ම කෙළසීම නොව, ඔහුගේ බලතල භාවිතා කරමින් අදාළ අමාත්‍යවරයා ධූරයෙන් පහකළ යුතුව තිබුණි. ඉන් පසු අත්අඩංගුවට ගත යුතුව තිබුණි. ඉන් පසුව, ඔහුට එරෙහිව මෙරට ගරු අධිකරණය ඉදිරියේ යුක්තිය පසිඳ ලීමට හැකි බලය මෙන්ම අයිතිය ඕනෑවටත් වඩා ඔහුට තිබුණි. නමුත් එම පිළිගත් ක්‍රමවේදය නොකර ඉතාම නරක පූරවාදර්ශයක් ලෝකයට ලබා දුන්නේය.

මෙහි ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාව තව දුරටත් හුදෙකලා වීම පමණක් නොව, පරළු වෙමින් යන ජාතියක් බවට පත්වනු ඇත. මෙහි බරපතළ ප්‍රතිවිපාක ලැබීමට තවත් කලක් ගත වනු ඇත. මෙම විපාක වලින් ගැලවී ජනතා අපවාදයෙන් මිදීම සඳහා ව්‍යාකූල කරනු ලැබූ වර්ගවාදයේ හෝ විකෘති කරනු ලැබූ දේශප්‍රේමයේ එල්ලීමෙන් වගතුවක් සිදුවන්නේ නැත.

දැන් ඇත්තේ ජනාධිපතිවරයාට රටේ ඇත්ත තත්වය තේරුම් අරගෙන තමන්ගේ පළමු වාරය අවසන් වන තෙක් හෝ රැඳී සිටීමට අවශ්‍යය පසුබිම සොයා බැලීම පමණි. මින් ගැලවීම සඳහා පළාත් සභා මැතිවරණය කැඳවීමට හැකිය. එසේම ඔහුට, කලින් ජනාධිපතිවරණයක් කැඳවීමට හැකි දැයි සොයා බැලිය හැකිය. එම තීන්දු වලින් හෝ ජනාධිපති සිරිසේන මහතාට යළි ගොඩ ඒමක් තිබේ යැයි සිතීම දුෂ්කරය.

මෙම සමස්ථ සිදුවීම මඟින්, තම දේශපාලනයට තටු සවිකර ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වී සිටින්නේය. ඔහු ජනාධිපතිවරයා විසින් නිර්මාණය කළ අර්බුදය තම දේශපාලන අඩු ලුහුඩු කම් මකා ගැනීමට පමණක් නොව ඔහුට එදිරිව විසිරි සිටි අනෙකුත් දේශපාලන පක්ෂ, පොදු අරමුණක් වෙනුවෙන් ඒකරාශී කිරීමට අවශ්‍යය මාර්ගයද නිර්මාණය කර ගත්තේය. රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් ලැබූ බරපතළ දේශපාලන බිඳවැටීම ඇත්තේ මෙතනය. මන්ද ඔහුගේ දේශපාලන බලය ශක්තිමත් වූයේ ඔහුට එරෙහි දේශපාලන කඳවුරු බෙදී විසිරි සිටින තාක් කල් දුරට පමණි.

අගමැතිවරයාගේ ආරක්ෂාව නැති කිරීම, ඔහු වාසස්ථානයට සැපයෙන විදුලිය සහ ජලය කපා හැරීම, ඔහුට එරෙහිව කුණුහරපෙන් අවලාද නැගීම, එහි සේවය කරන සේවකයින් ඉවත් කිරීම වැනි, ආදී කාලේ ග්‍රාමීය මට්ටමේ සිදු කළ අවලස්සන පළිගැනීම් වලින් මෙම අර්බුදය විසඳා ගත නොහැකිය. එවැනි පව් ස්වභාවික නීතිය යටතේ විසඳෙන්නේ කිසිවෙකුට සිතා ගැනීමටවත් නොහැකි ලෙස ඉතාම වෙනස් ආකාරයකින්ය.

දෙවියන්ට මිනිසෙකු විනාශ කිරීමට අවශ්‍යය වූ විට හෙතම ඔහු පළමුව පිස්සු වට්ටන්නේය, යැයි කියමනක් තිබේ. බලයේ සිටින සහ බලයට ඒමට උත්සහ කරන කවුරුත් තේරුම් ගත යුතු සදාතනික සත්‍යය එයයි.

ඉතින් මෛත්‍රී දැන් ඉතින් බැස යන්න.

Archive

Latest news

Related news