Monday, May 20, 2024

මහත්වරුනි, කුඩු එන්නේ එල්ලුම් ගහෙන්ද?

ජනාධිපති පොළොවෙන් මතු වුණාට, අගමැති පැරකුම් යුගයෙන් ආවට රටට කුඩු මතු වෙන්නෙ බන්ධනාගාරයෙ ඇතුළෙ පොළොවෙන් නෙමෙයි. අධිකරණයෙන් නීත්‍යානුකූලව දඬුවම් දීල බන්ධනාගාරයෙ රඳවල ඉන්න සිරකරුවන්ට ජංගම දුරකථන ලැබෙන්නෙ පොළොවෙන් නෙමෙයි. කුඩු ග්‍රෑම් දෙකක් ලඟ තියන් උන්නු එකාට මරණ දඬුවම දුන්නට ඒ කුඩු ග්‍රෑම් දෙක මතු වුණේ පොළොවෙන් නෙමෙයි. කුඩු කන්ටේනර් ගණන් මතු වුණේ සහ මතු වෙන්නෙ පොළොවෙන් නෙමෙයි.

රටට කුඩු සහ ආයුද එන්නෙ එක්කො වරායෙන්. නැත්තම් ගුවන්තොටුපලින්. නැත්තම් මුහුදු වෙරළෙන්.

ඒව නතර කරන්න තමයි රේගුවක්, වරාය පොලීසියක්, ගුවන්තොටුපළ පොලීසියක්, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයක්, පොලීසියක්, ත්‍රිවිධ හමුදාවක් තියෙන්නෙ. ඒවට තාක්ෂනික උපකරණ තියෙන්නෙ. රටට කුඩු එන එක සහ බන්ධනාගාරයට ජංගම දුරකථන යන එක නතර නොකර, රටේ නීතියේ පාලනය, අපරාධ විනිර්මුක්තිය නතර කිරීම, අධිකාරීවාදය, රාජ්‍ය ත්‍රස්තවාදය නැති නොකර, කොටින්ම සිවිල් ආරක්ෂාව ඇති නොකර එල්ලුම් ගහ ගේන එක කටට විරේක බෙහෙත් දාල අහවල් තැන සිදුර මහනව වගේ වැඩක්.

මේ දේවල් කරන්නෙ රටේ මහජනතාවගෙ බදු මුදලින්. ඒවට ඕන නීති හදල, ඒව ක්‍රියාත්මක කරන්න අධිකරණ හදල පවත්වාගෙන යන්නෙ රටේ මහජනතාවගෙ පරමාධිපත්‍යය බලයෙන්.

ඉතිං,

කුඩු කිලෝ ගණන් ගෙන්වන මහා කෝටිපතියො මාලිගාවල ඉද්දියි, සමහරවිට මහජන මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තුවල ඉද්දියි අනික් මිනිස්සු කුඩු ග්‍රෑම් දෙකක් අරගෙන ගිහිල්ල කන් හැන්ඳෙන් වටේටම බෙදුවෙ, ඒව බිව්වෙ ආර්ථික ප්‍රශ්නයක් නිසා හරි සමාජ ප්‍රශ්නයක් නිසා හරි. ඒ වගේම හරි අධ්‍යාපනයක්, සමාජ රැකවරණයක්, උගත් දෙමාපිය ආදරයක් නොලැබුණු, එහෙමත් නැත්තම් අවාසනාව කරපින්නාගෙන ආපු අපි විසින්ම හදපු සමාජ කන්ඩායමක් තමයි ඒ මිනිස්සු.

අපිම ඒ අයව හදල, අපිම ඒ අයගෙ නඩු අහල, අපිම ඒ අයව බන්ධනාගාරයෙ නඩත්තු කරල, අපිම ඒ අයව බලාගන්න බන්ධනාගාර දෙපාර්තුමේන්තුවකට බදු ගෙවල, අපිම ඒ මිනිස්සු එල්ලල, ඒ මිනිස්සුන්ට කුඩු තොග ගණන් ගෙන්වල ආයුද නැව් ගණන් ගෙන්වල දුන්නු උන්ව අපිම රජ කරවනව නම්, ඒවට ආවඩනව නම් අපේ අධ්‍යාපනය, අපේ සමාජය, අපේ ශිෂ්ඨකම, අපේ තර්කනය, අපේ බුද්ධිය, අපේ සිතීමේ දිග පළල, අපේ උගත්කම, සරලවම අපේ මනුස්සකම රෝල් කරල අහවල් තැන ගහගෙන බඩ කපාගෙන මූදෙ පනින එක සැපක්.

ඊට කළින් පාර්ලිමේන්තුවෙ ඉන්න තමුන්ල දෙන්නගෙ කැබිනට් මන්ඩලයයි, පරණඅලුත් හොරු, අපරාධකාරයො ඔක්කොමයි එකතු වෙලා ලෝකෙ ඉස්සරහ මේ රට තවදුරටත් මිලේච්ඡ රටක් බවට හෑල්ලු කරන්න එල්ලුම්ගහ ගේන්න කළින් මූදෙ පනින එක වඩා සැපක්. මේක තේරුම් නොගෙන, රටේ මිනිස්සුන්ගෙ පැත්ත නොගෙන, යුක්තිය නීතිය පැත්ත නොගෙන, රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි නොවී ඉන්න, කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියල, මහින්ද, ගෝඨාභය, රනිල්, මෛත්‍රීපාල, අනුර වඳින අමන මහජනතාවක් ඉන්නව නම් අන්න ඒ අය බඩ කපන් මූදෙ නොපැන වෙරළට වෙලා රට දියුණු කරන්න ඒලියන්ල එනකම් බලා ඉන්න එක වටිනව මේ ඔක්කෝටම වඩා.

[කසුන් පුස්සැල්ල මුහුණූ පොතෙනි.]

Archive

Latest news

Related news