Monday, May 20, 2024

භාෂනයේ නිදහස පොලීසිය මකොල්ලකයි!

මූලාශ්‍ර සුරැකීමේ අයිතිය අභියෝගයට ලක් කරමින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වයේ සීමා අමු අමුවේ උල්ලංඝනය කරන මේ පොලිස් මෙහෙයුම කුමක් ද? කාගේද?

සියලු ජනමාධ්‍යවේදීන්ගේ අවධානය පිණිසයි.

නෙත් එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවේ බැලුම්ගල වැඩසටහනට තොරතුරු දුන්නේ යැයි කියන ශ්‍රාවක පිරිසකගේ දුරකථන ඇමතුම් විස්තර සොයාගෙන ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

නෙත්.එෆ් එම් බැලුම්ගල ශ්‍රාවකයන් කීප දෙනෙකුම කොල්ලුපිටිය පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම ගැන දැනගැනීමෙන් පසුව අදාළ නාලිකාවේ ප්‍රධානීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඒ අනුව අදාළ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරින්ගෙන් හා නෙත් එෆ්.එම් නාලිකා ශ්‍රාවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත යැයි ද එම පොලිස් නිලධාරියා කීය.

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කුඹුරක් ගොඩකරන ලදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් විකාශය වූ මෙම වැඩසටහනින් පසුව නියෝජ්‍ය ඇමැතිවරයා නෙත් එෆ්.එම් ආයතනයට තොරතුරු ලබාදුන් අය ගැන විමසූ නමුත් මූලාශ්‍ර හෙළි නොකිරීමේ ජනමාධ්‍ය සම්ප්‍රදාය මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තම නාලිකාව කටයුතු කළේ යැයි නෙත් එෆ්.එම් නියෝජ්‍ය කළමනාකරු (කාලීන සිදුවීම්) කේ.ඒ.එස් විජයරංගන මහතා පැවැසීය.

පසුව ඇමැතිවරයා විසින් තම නාලිකාවට එරෙහිව කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ පසුගිය අප්‍රේල් 21 වැනි දා මූලික විමර්ශනයක් ආරම්භ වී යැයි ද විජයරංගන මහතා කීය.

එහෙත් පසුව දුරකථන ඇමතුම් දත්ත ඔස්සේ නෙත් එෆ්.එම් ශ්‍රාවකයන් පිරිසක් කැඳවා ප්‍රශ්න කිරීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කර ඇතැයි කී හෙතෙම ජනමාධ්‍ය නිදහසට මෙන්ම මූලාශ්‍ර සුරැකීමේ අයිතියට ද මෙමගින් සිදුව ඇති හානිය නිසා පොලිසියට එරෙහිව පැමිණිල්ලක් කිරීමට තම ආයතනය කටයුතු කළේ යැයි ද කීවේය.

මීට අමතරව මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට ද පැමිණිලි කරන්නේ යැයි විජයරංගන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනමාධ්‍යකට අදහස් ප්‍රකාශ කිරීම ප්‍රශ්න කිරීම මගින් මෙම සිදුවීමේදී පුරවැසියා සතු භාෂණයේ ප්‍රකාශනයේ ව්‍යවස්ථාපිත අයිතිය උල්ලංඝණය කර ඇතැයි ද මෙය පැහැදිලිවම මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමට මාධ්‍ය ආයතනයක් සතු අයිතිය උල්ලංඝණය කිරීමකැයි ද කියමින් මාධ්‍ය සංවිධාන කීපයක්ම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්නැයි පසුගියදා රජයෙන් ඉල්ලා සිටියේය.

– බිඟන් මේනක ගමගේ මුහුණූ පොතෙනි.

 

Archive

Latest news

Related news