Monday, May 20, 2024

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ මහ මොළකරු මේජර් ‍ජෙනරල් අමල් කරුණාසේකර

ද නේෂන්’ පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම හා කෲර ලෙස වධ හිංසා කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යාපීඨයේ සේනා විධායක විශ්‍රාමික මේජර් ‍ෙජනරාල් අමල් කරුණාසේකර එම සිද්ධියේ මහ මොළකරු බව රජයේ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (18) පැවසුවාය.

එම සැකකරු මැයි 02දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ‍ඊයේ (18) නියෝග කර සිටියාය.

අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය ප්‍රකාශ කර සිටියේ පැහැර ගැනීමට, නීති විරෝධි රඳවා තබා ගැනීමද, වධ හිංසා පැමිණවීම, මනුෂ්‍යය ඝාතනයකට තැත් කිරීම, පහරදීම යන චෝදනා යටතේ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බවය.

තවදුරටත් කරුණු දක්වමින් නීතිඥවරිය ප්‍රකාශ කර සිටියේ, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි නිසා මෙම තැනැත්තාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගත නොහැකි වූ බැවින් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබාදෙන ලෙසටය.

තවදුරටත් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය පවසා සිටියේ මෙම අපරාධ‍ෙයහි අමානුෂික බව මෙම අපරාධයට ලක් වූ කීත් නොයාර් මහතා රට හැර ගොස් සිටීමෙන්ම අනාවරණය වන බවද ප්‍රකාශ කර සිටියාය. එමෙන්ම කීත් නොයාර් මහතාව 2008 මැයි 22 වන පැහැරගෙන ‍ගොස් සඟවා තබාගෙන සිට ඇත්තේ බුද්ධි අංශ පාලනය යටතේ බවට රහස් පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන ඇති බවද නීතිඥවරිය ප්‍රකාශ කර සිටියාය. තවද අමල් කරුණාසේකර මහතාගෙන් මෙම අපරාධය සම්බන්ධව ඔහුට ඇති දැනුම පරීක්ෂා කිරීමට අවශ්‍ය බවද කියා සිටියාය.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුව නිර්වස්ත්‍රකර බදුඅත්ත ප්‍රදේශයේ බුද්ධි අංශයට අයත් ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ගොස් කෲර ලෙස වධ හිංසා කිරීමට මෙම අමල් කරුණාසේකරගේ අනුදැනුම මත සිදු වූවක් බවත් මෙම සිද්ධි‍ෙයහි මහමොළකරු මොහු බවත් නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියාය.

අමල් කරුණාසේකර වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ නලින් ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ අමල් කරුණාසේකර නිදහස් කිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යාමට බාධාවක් නොමැති බැවින් අමල් කරුණාසේකර හට ඇප ලබාදෙන ලෙසටය.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇප අයැදුම ප්‍රතික්ෂේප කළාය.

රක්ෂිත බන්ධනගාරගතව සිටින අමල් කරුණාසේකරගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය අවවාද කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ පිළිබඳ වැඩිදුර වාර්තා ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය.

මැයි 02 වන දින නඩුව යළි කැඳවීමට නියමිතය.

දිනමිණ

Archive

Latest news

Related news