රූපවාහිනි චැනලයක ප්‍රවෘත්ති ප්‍රකාශයක් අහම්බෙන් මගේ නෙත ගැටිණ. එහිදී එම නිවේදකයා කී වදනකින් මගේ ක්‌ෂණික අවධානය ඒ දෙසට යොමු විය. ඔහු කීවේ ‘එදින රාත්‍රිය බොහෝ උණුසුම් විය හැකි’ බවය. මුලදී මා සිතුවේ මෙය කිසියම් සුවිශේෂ කාලගුණ අනාවැකියක් විය යුතු බවකි. එහෙත් ඔහු කීවේ කාලගුණයට කිසිදු සබැඳියාවක් නැති වෙනම කතාවකි. එම උණුසුමට හේතුව වශයෙන් ඔහු දක්‌වා සිටියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එදින රාත්‍රියේ අන්තර් ජාලයට එක් කිරීම ය.
මගේ ළමා කාලය
එම ප්‍රවෘත්තියෙන් තරමක් අන්දමන්ද වූ මම මගේ ළමා කාලය දෙස එසැණින් හැරී බැලුවෙමි. අප සාමාන්‍ය පෙළ විභාගයට ලියූ කාලයේ එහි ප්‍රතිඵල නිකුත් වී ඇති බව දැන ගත හැකි වූයේ පාසලේ දැන්වීම් පුවරුවේ අලවා ඇති ප්‍රතිඵල ලේඛණයෙනි. එමෙන්ම එම ප්‍රතිඵල දැනගැනීමට අපට එතරම් ‘තදියමක්’ තිබුණේ ද නැත. අසවල් විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙනවා යෑයි දෙමාපියන්ට කී විට ඔවුන් ඇස් උඩහිඳුවා ගත්තේ ද නැත. ඒ හැරෙන්නට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූ පුවත එකල පුවත්පතක පළ වූයේ නම් ඒ පුවත් පත් පිටු අතරේ කොහේ හෝ ‘සඟවන ලද’ අඟල් දෙක තුනක පුංචි ප්‍රවෘත්තියක් ලෙසිනි.
එදා පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ අද පවත්නා සාමාන්‍ය පෙළ විභාගය අතර කිසිම අන්දමකින් ලොකු වෙනසක් ඇතැයි මට නොසිතේ. වෙනස ඇත්තේ වර්තමානයේ අධ්‍යාපන තරගය ඉතා තියුණු සේම එක්‌තරා අන්දමකින් බිහිසුණු ස්‌වරූපයක් ද ගැනීම පමණි.
අතීරණාත්මක තරගය
ඒ මදිවාට දිනුම් කණුවක්‌වත් සොයා ගත නොහැකි මේ අතීරණාත්මක තරගය කෙරෙහි විචාර බුද්ධියකින් තොර ජනතාව පෙළඹවීමට මාධ්‍ය මඟිsන් දරන ‘මෙහෙවර’ මෙරට බුද්ධිමත් ජනතාවගේ තියුණු අවධානයට වහා ලක්‌විය යුතුය.
2017 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෑදුම්කරුවන්ගේ සංඛ්‍යාව 6,88,573 කි. ඒ අනුව එක් අයෑදුම්කරුවකුගේ ප්‍රතිඵල වෙනුවෙන් ඒ අයෑදුම්කරුවාගේ ගුරුදෙගුරුන් ඇතුළු 10 දෙනකු විශේෂ උනන්දුවක් පළ කළ ද එම මුළු සංඛ්‍යාව 68,85,730 කි. මෙය ශ්‍රී ලංකා ජනගහනයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයකි. එහෙත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම ජාතික මට්‌ටමේ උන්නදුවක් පළ වන කරුණක් දක්‌වා වර්ධනය වීමට හේතුව කුමක්‌ද? මා පැහැදිළිවම පවසා සිටින්නේ මෙය මෙරට අවිචාරවත් ජනමාධ්‍ය කරනයේ ෙ€දනීය ප්‍රතිඵලයක් කියාය.
නොවිධිමත් අධ්‍යාපනික තරගය
මෙරට පාසල් දරුවන් මුහුණ දෙන ප්‍රධානතම රජයේ විභාග දෙක වනුයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළය. අතීතයේ ඉතා නිහඬ, සරල විභාගයක්‌ව පැවැති 5 වන ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය ද මේ වන විට මාධ්‍ය මඟින් අති දැවැන්ත සංසිද්ධියක් ලෙස හුවා දක්‌වා තිබේ. මෙය පැහැදිළිවම නොවිධිමත් අධ්‍යාපනික තරගය මුල්කොට ගත් සමාජ විපරීතයකි.
පාසල් දරුවෙකුගේ අධ්‍යාපන හැකියාව පළමු ශේ්‍රණියේ සිට උසස්‌පෙළ විභාගය දක්‌වා එකාකාර ප්‍රවර්ධනයකින් යුතු නොවේ. ඊට ප්‍රධාන හේතුව දරුවාගේ කායික වර්ධනය මෙන්ම මානසික වර්ධනය ද ළමා විය තුළ වරින් වර උච්ඡාවචනය වීමය. නිදසුනක් ලෙස පාසල් වියේ ප්‍රාථමික අවධියේ දී මම එතරම් දක්‌ෂ සිසුවෙක් නොවීමි. එහෙත් ද්විතීක අධ්‍යාපනයේ දී සෙසු සිසුන් අතරේ සැලකිය යුතු දක්‌ෂතාවක් දැක්‌වීමට මට හැකිවිය. අද මගේ විෂය ක්‌ෂේත්‍රය සිංහල වුව එකල මා පාසලේ ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ විද්‍යා විෂය ධාරාවෙනි. ඒ අනුව පස්‌වන ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ වැඩිම ලකුණු ගන්නා දරුවා සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් ම ප්‍රමුඛස්‌ථානය ලැබීමට හා අපොස උසස් පෙළ විභාගයෙන් එම ජයග්‍රහණය ම ලැබීමට ඇත්තේ ඉතා සුළු සම්භාවිතාවකි. මගේ විශ්වාසයේ හැටියට එහි ප්‍රතිශතය 20% ට වඩා අඩුවිය යුතු ය.
ඒ අනුව සමාන්‍ය ව්‍යවහාරයට අනුව කීවහොත් මූලික අධ්‍යාපනයේ දී ‘මැට්‌ටන්’ සේ පෙනෙන ඇතැම් දරුවන් ද්විතීයික අධ්‍යාපනයේ දී දක්‌ෂයන් වීමටත් ප්‍රාථමික අධ්‍යාපනයේ දී දක්‌ෂකම් දක්‌වන දරුවන් ද්විතීයික අධ්‍යාපනයේ දී ‘මැට්‌ටන්’ සේ පෙනීමටත් පුළුවන.
එමෙන්ම සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත්වන දරුවා අ.පො.ස. උසස් පෙළ සමත්විය නොහැකිවූ අවස්‌ථා සේ ම උසස් පෙළ සමත්ව සරසවියට පිවිසීමට නොහැකි වූ අවස්‌ථාද ඕනෑ තරම් තිබිය හැක. එමෙන්ම එක ලකුණකින් හමාරකින් සරසවියට ‘රිංගා ගන්නා’ සිසුවා සරසවියේ දී සෙසු දක්‌ෂයන් අභිබවා ඉදිරියට යාමේ ද යම් හැකියාවක් පවතී. විශ්වවිද්‍යාලයට අතුළු වූ පසු මූලික උපාධිය සඳහා පෙනී සිටින කාලයේ දී ද සිසුන් තුළින් මෙවන් හැකියාවන් පිළිබඳ විෂමතා පැන නගී. එමෙන්ම මූලික උපාධිය යන්තමින් ගොඩදමා ගන්නා සිසුවා පශ්චාත් උපාධියක දී විශිෂ්ට සාමර්ථ්‍යයක් දැක්‌විය හැක. ඒ අතර මූලික උපාධියේ දී විශිෂ්ට සමත්කම් දක්‌වන සිසුවා පශ්චාත් උපාධිය ‘ගොඩදමා ගැනීමට’ නොහැකිව වැඩිදුර අධ්‍යාපනය අතරමග නතර කරන අවස්‌ථා ද අපි කොතෙකුත් දැක ඇත්තෙමු.
සංකීර්ණ ක්‍රියාවලියකි
අධ්‍යාපනය සහ දරුවන්ගේ දක්‌ෂතාව සම්බන්ධ මෙම සංකීර්ණ ක්‍රියාවලිය සඳහා දරුවන්ගේ බුද්ධි වර්ධනය සේම අධ්‍යාපනයේ විවිධ විෂයන් සම්බන්ධයෙන් දරුවන් තුළ පවත්නා හැකියාවන් ප්‍රාමාණික සහ තුලනාත්මක වීම යන කරුණු ද බෙහෙවින් බලපාන බව මගේ වැටහීමය. එවන් තත්ත්වයක් තුළ පස්‌වන ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය හෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ නැතහොත් උසස් පෙළ ප්‍රතිඵල මුල්කොට මෙතරම් ජාතික ආන්දෝලනයක් ඇතිවීම එක්‌තරා විස්‌මයකි.
මේ අතර මෙවර 2017 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබා ගත් 18 දෙනෙකුගේ නාමලේඛනයක් විභාග කොමසාරිස් ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා වෙත නිකුත් කොට ඇත. මාධ්‍ය ලේකම්වරයා එය සියලුම මාධ්‍යයන් වෙත නිකුත් කොට එම දරුවන්ගේ සම්පූර්ණ නම් සහ ඔවුන් උගත් පාසල් ජාතික අවධානය පිණිස යොමුකොට තිබේ. එහෙත්, අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගත් සිසුන්ගේ නම් එලෙස මාධ්‍ය මඟින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? එමෙන්ම එම දරුවන්ගේ නාමලේඛනය ජනතාව වෙත ඉදිරිපත් කිරීමෙන් ජනමාධ්‍ය බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? අනෙක විභාග ප්‍රතිඵලයක් යනු කිසියම් කෙනෙකුගේ එක්‌තරා අන්දමකින් පෞද්ගලික රහස්‍ය ලේඛනයකි. කෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවෙකු සම්බන්ධයෙන් වුවද ඒ ප්‍රවෘත්තිය ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ඒ සඳහා එම තැනැත්තාගෙන් නිසි අවසරයක් ගත යුතුය. කිනම් හෝ හේතුවක් මත ‘මගේ මේ විභාග ප්‍රතිඵලය කාටවත් කීමට අවශ්‍ය නැතැ’යි මින් එක් අයෑදුම්කරුවෙකු හෝ ඔවුන්ගේ භාර කරුවන් තීරණය කොට තිබුණි නම් අධ්‍යාපන අමාත්‍යංශය සහ ජනමාධ්‍ය එක්‌ව කරන ලද මෙම ක්‍රියාව සදාචාර විරෝධී නොවන්නේද?
ටිියුෂන් ගුරුන් දරුවනුත් වදයිද?
දරුවෙකු බිහිකළ හැක්‌කේ කාන්තාවකට පමණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් දරුවන් බිහිකරන පිරිමින් පිළිබඳ පුවත් ඕනෑ තරම් ඉදිරි දිනවල රට පුරා නගර සේම ගම්බදව ඇලවෙන පෝස්‌ටර්වලින් දැක බලා ගන්නට පුළුවන. ඒ ‘මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වැඩිම සමතුන් පිරිසක් බිහිකළෙමි’ යනුවෙන් ටියුෂන් ගුරුවරුන් තමන්ගේ වර්ණ ඡායාරූප ද සහිතව පෝස්‌ටර් ප්‍රසිද්ධ කරවන බැවිනි. අනෙක පාසල් දරුවෙකුගේ සාමාන්‍යපෙළ ප්‍රතිඵලයේ හිමිකම ඒ සිසුවාගෙන් උදුරා ගැනීමට ඔහුගේ ටියුෂන් ගුරුවරුන්ට, පාසල් ගුරුවරුන්ට තබා දෙමාපියන්ටවත් නොහැක. මගේ විභාග ජයග්‍රහණය සම්බන්ධයෙන් අසවලුන්ට කෘතඥ විය යුතු යෑයි’ දරුවා පැවසීම වෙනම කතාවකි. නමුදු අසවල් දරුවාගේ ජයග්‍රහණයේ ගෞරවය මට ම හිමිවිය යුතුය. යනුවෙන් කිසියම් පුද්ගලයෙකු එම ජයග්‍රහණය පැහැර ගැනීමට උත්සාහ දැරීම නිහීන සොරකමකි.
[alert type=”success or warning or info or danger”]මෙසේ විභාග ප්‍රතිඵල පිළිබඳව ජනමාධ්‍ය මඟින් අතිප්‍රාමාණිකව හුවා දැක්‌වීමෙන් සිදුවන අයහපත කුමක්‌දැයි යමෙකුට හැඟී යා හැක. ඉන් ප්‍රධානම අයහපත වනුයේ වත්මන් අධ්‍යාපනය සම්බන්ධයෙන් හටගෙන ඇති තියුණු තරගකාරීත්වය තවදුරටත් දෙගුණ, තෙගුණ වීම පමණි.[/alert]
අධ්‍යාපනය සම්බන්ධව ඇති මෙම අතීරණාත්මක තරගය දියුණු තියුණු වත්ම සමාජයේ සදාචාරාත්මක බව ගිළිහී ගොස් හුදු ආත්මාර්ථය තහවුරු කර ගත් නොමිනිස් ප්‍රජාවක් බිහිවීමට ඇති ඉඩකඩ ශීඝ්‍රයෙන් වර්ධනය වේ. දැනටමත් එම සමාජ විපරිනාමය සිදුවන බව ඒ සම්බන්ධයෙන් සිහිනුවණින් බලන ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත.
එමෙන්ම මෙම විභාගයෙන් විශිෂ්ටතම ජයග්‍රහණයක් ලැබූ දරුවන් වෙත හිමිවන අසීමාන්තික ගෞරවය හා පිළිගැනීම මුල්කොට නොමේරූ මනැස් සහිත ඔවුන්ගේ ‘හිස මතට’ අතිරේක බරක් පැටවීම කිසිසේත් වළකාලිය නොහැක. ‘දැන් පළමුවෙනියාව සිටින මට යළි දෙවැනියෙකු විය නොහැකිය’ යන අගතිගාමී සිතුවිල්ල දැඩිව දරා සිටීම නිසා උසස් අධ්‍යාපනයට පිවිසෙන දරුවා කයින් මනැසින් රෝගීවීමේ පැහැදිළි හැකියාවක් තිබේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන අතරේ එසේ දැඩි මානසික පීඩනය යටතේ විෂාදය යන රෝග තත්ත්වයට පවා පත්ව සිටින දරුවන් අපි වරින්වර දකින්නෙමු. එවැනි දරුවන් උපදේශනාත්මක ප්‍රතිකාර වෙත යොමුකෙරෙන අතර ඉනුදු පළක්‌නොවන තරම් දැඩි මානසික පීඩාවෙන් පෙළෙන සිසු සිසුවියෝ ද ඉඳහිට හමුවෙති. ඔවුන්ගෙන් ඉතා සුළුතරයක් වුව දිවි නසා ගැනීම්වලට පවා උත්සාහ දරන ලද සේම දිවි නසාගත් බව වාර්තා වන අවස්‌ථා ද ඉඳහිට හෝ අසන්නට ලැබෙන බව ද කිව යුතු ය.
කායික සහ මානසික වශයෙන් බිඳ වැටෙන ජීවිත
මේ අතර තමන් මුහුණදෙන විභාගය යම් තරමකින් සමත් වුවද එමගින් සුවිශිෂ්ටතම ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වීම මත කායික සහ මානසික වශයෙන් බිඳ වැටෙන සහ දිවි නසා ගැනීමට තැත් කරන සහ දිවි නසා ගත් දරුවන් පිළිබඳවද වාර්තා තිබේ.
එමෙන්ම මෙම අර්බුදයෙහි තවත් පැත්තක් තිබේ. එනම් පස්‌වැනි ශේණියේ ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගය අසමත් වූ හෝ විශිෂ්ට ලෙස සමත්වීමට නොහැකි දරුවන් කෙරෙහි ඔවුන්ගේ දෙමාපියන් වෙතින් එල්ලවන දැඩි පීඩනයයි. බොහෝ දෙමාපියන් එසේ කරනුයේ එම කරුණ මුල්කොට සමාජයෙන් ඔවුන් වෙත එල්ලවන අපවාදය නිසා හටගන්නා මානසික පීඩනය අසරණ දරුවා කෙරෙන් පිටකීරීමේ ඉතා පහසු කාරියක් බැවිනි. සමහර මාපියන් නිසි විභාග ප්‍රතිඵල නොලබන දරුවන් නිවෙස්‌වලින් පළවා හැරීමට පවා කටයුතු කොට ඇති බව දැනගන්නට තිබේ. ඔවුන් මේ මානසික අන්ධභාවයට පත්වන්නේ නිකම් නොවේ. ජනමාධ්‍ය විසින් ඔවුන් එසේ අන්ධභාවයට පත්කරන ලද බැවිනි.
ජෙරී මැක්‌ඩන් විසින් ලියන ලද දෙමර rguments for the elimintion of television නම් විශිෂ්ට කෘතියෙන් පැවසෙනුයේ රූපවාහිනිය ද සමාජය පාලනය කරන එක්‌තරා ආණ්‌ඩුවක් බවය. එම තත්ත්වය ජෙරී මැක්‌ඩන් සිතුවාටත් වඩා ප්‍රබල ලෙස අප රටේ ක්‍රියාත්මක වන බව පැහැදිළිවම පෙනෙයි.
ජනමාධ්‍ය මඟින් පාසල් විභාග ප්‍රතිඵල කෙරෙහි යොමු කරන මෙම අරුත් විරහිත අවධානයත්, මාධ්‍ය මඟින් දෙන ලද අනිසි ප්‍රසිද්ධියත් නිසා එක් වසරක් තුළ මෙරට තරුණ ජීවිත සහ වැඩිහිටියන්ගේ ජීවිත කිහිපයක් අකාලයේ විනාශ වන බව පැවසීම ද අතිශයෝක්‌තියක් නොවේ.
පස්‌වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වයස අවුරුදු දහයේ බුද්ධිය නොමේරූ දරුවෙකුගෙන් ‘ඔබේ අනාගත සිහිනය කවරෙකුවීමටද?’ වැනි ‘දෙකේ පන්තියේ’ ප්‍රශ්න අහන මාධ්‍යකරණයක් තුළ සිදුවන මෙම විනාශය වැළැක්‌වීමට නම් මෙම විභාග ප්‍රතිඵල සහ ඒවායින් එම දරුවන්ගේ අනාගතය සාර්ථක වීමට ඇති ඉඩකඩ විචාරාත්මකව විමැසීමට මාධ්‍යකරුවන්ට ප්‍රඥාව පහළ විය යුතුමය. එසේ නොමැති නම් අපට අකමැත්තෙන් වුව කිව හැක්‌කේ මෙලෙස විභාග ප්‍රතිඵල අනිසි ලෙස හුවා දැක්‌වීමෙන් මෙරට මාධ්‍යකරුවන් ‘මිනී මරන’ වැඩ කරන බව ය.
මහාචාර්ය සාලිය කුලරත්න
සිංහල අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.