Friday, May 3, 2024

සිරිසේන අබ සරණ යෑම – සුනන්ද දේශප්‍රිය

අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන නම් දේශපාලනඥයා ද අබසරණ ගියේය. එහෙත් ජනප්‍රවාදගත කුඩු කෑ මිනිසා මෙන් සිරිසේන ද  පසුවන්නේ අබ සරණ ගිය බව ප්‍රසිද්ධවනවාට බියෙනි. සිරිසේනගේ ජපන් සංචාරය පිළිබඳව සිරිසේනගේ නිල පුවත් අඩවිය වන පීඑම්ඩීඩොට්එල්කේ හි ඔහුගේ ජපන් සංචාරය පිළිබඳ වාර්තා තුන හතරක්ම පළවී ඇතත් ඒවායෙහි ඔහු සමඟ ජපානයෙහි සංචාරය කරන බව පෙනෙන අබසරණ නායක ඥනසාර මහතෙරනුවන්ගේ එකද පින්තූරයක්වත් නැත.

එසේ නමුත් සිරිසේන විසින්ම තහනම් කරන ලද සමාජ මාධ්‍ය ජාලයන්හි සිරිසේන ඥණසාර හමුවෙහි අබසරණ යන ජයාරූප වැහි වැස තිබේ. සිරිසේන තමා අබසරණ ගිය බව සඟවන්නේ  නැට්ට පසුපස රුවා ගත් අකල්හි කල් ඉකුත්වූ බලු නකුටකු මෙන්ය.

පව්! තමා කරන දේ ප්‍රසිද්ධියේ කියා ගැනීමට බැරි විධායක ජනාධිපතිවරයකුගේ ආත්මය කොතරම් වකූරු වී ඇත්ද‍?

2014 වසරෙහි අලුත්ගම මුස්ලිම් පෙදෙස් ගිනි තැබීමට ජනයා කුපිතකරමින් ඥණසාර විසින් කියා සිටියේ මුස්ලිම් මිනිසුන් අබසරණ යැවීමට තමා සූදානම් බවයි. දැන් දිගනින් පටන් ගෙන මෙරට මෑත ඉතිහාසයෙහි මුස්ලිම් ජනයාට එල්ල කරන ලද මහම ප්‍රචණ්ඩත්වයන්ද අබසරණ ප්‍රකාශණයකි.

මෙරට සුලුතර ජාතීන්ට එරෙහිව වපුරන ලද ක්‍රෝධය සහ ගිනි අවුලවනසුළු කෝපය වෙනුවෙන් සිරගත වී සිටිය යුතු අබසරණ නායකයා දැන් සිරිසේනගේ තුරල්ල්ලේය! අදෝමැයි! යුක්තිය සහ සාධාරණත්වය ඉටු කරන බවට පොරොන්දු දී සුලුතර ජාතින්ගේ ජන්දය තීරණාත්මක සාධකයක් ලෙස ඇතිව බලයට පැමිණි සිරිසේනගේ මෙම පවාදීම  අන් දේශපාලනඥයන් පරදවයි.

අබසරණ නායක ඥණසාර තෙපැයක්ම මුස්ලිම් තරුණයින්ගේ පහරකැමෙන් මියගිය දිගන අහිංසක සිංහල රියදුරුගේ මළගෙදර  ගතකරමින් අබසරන ජාතකය දේශණා නොකලේද? ඔහුගේ මරණයට හේතුව වර්ගවාදී ප්‍රචණ්ඩත්වයක් නොව දාමරික ප්‍රචණ්ඩත්වයකි. ඒ වන විටත් අබසරණ හිමි විසින් සිරිසේන දමනය කරගෙන තිබුණි. අබසරණ ඥනසාර මළගෙදරට පැමිණි නිසාම එගම මුස්ලිම් ජනයා බියෙන් ඇලලී ගියහ. මුස්ලිම් විරෝධී ඔහුගේ සුමධුර කුණුහරුප දේශනා අසා ඇති ඔහුගේ දැක්මෙන් බිය නොව කවර හෝ මුසල්මානුවකු සිටිනු ඇත්ද? අබසරණ නායක ඥණසාර කොලඹ සිට එහි වැඩියේ කොස් කොටන්නද?

සිරිසේන දැන් සිටින්නේ පිදුරු ගහේ හෝ එල්ලී තමා හසුවන්නට නියමිත ජනතා අප්‍රසාදයේ සැඩ පහරින් ගොඩ එන්නට දඟලමිනි. සමාජ මාධ්‍ය ජාල තහනම අනවශ්‍ය ලෙස දීර්ඝ කිරීම සිරිසේනගේ දේශපාලන කුණුවීමෙහි ප්‍රකාශණය වූ අතර ඥණසාර – සිරිසේන සහවාසය ඔහුගේ දේශපාලන කුණුවීමෙහි අවසානය සනිටුහන් කරයි.

අබසරණ ජාතකය යනු භයංකර ප්‍රචණ්ඩ මතවාදයකි. සිරිසේන එහි නූතන නියමුවා වූ ඥණසාර මහතෙර සරණ යෑමෙන් සංකේතවත් කරන්නේ පුද්ගලයකු පිළිබද කාරණයක් නොවේ. සිරිසේන විසින් එකී ප්‍රචණ්ඩ අබසරණ මතවාදය පිළිගත් බවයි.  දූෂ්ඨ පාවාදීම එයයි.

තවදුරටත් සිරිසේන 2015 ජනතා අපේක්ෂා නියෝජනය කරන්නේ නැත. ඔහු විසින් මෙරට සුළුතර ජාතීන්ගේ අපේක්ෂා දැනටමත් පාවාදී ඇති අතර ඉක්මණින්ම පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට ද කොකා පෙන්වනවා ඇත. දැන් ඔහු ද සිය පවුල මෙරට දේශපාලන පංතියේ පොල්මක්කාරයින් බවට පත් කිරීම එකම අරමුණ කරගෙන සිටින බව පෙනේ. සිරිසේන කෙසේ හෝ බලයේ සිටීමට දඟලන්නේ ඒ හැර කුමකටද?

පළාත් පාලන මැතිවරණය අභිමුවෙහි බැසිල් රාජපක්ෂ හමුවෙහි පින්සෙන්ඩු වූ සිරිසේන දැන් පා පහර කෑමට සූදානමින් ඕනෑම රාජපක්ෂවරයකු හමුවෙහි දනින් වැටෙනු ඇත.

අයකුට තමා කැමැති දේ කළ හැකි නමුත් එකී කැමැත්ත තීරණය වන්නේ බාහිර සහ අභ්‍යන්තර සාධකයන්හි සංකලනයක් විසිනි. දැන් සිරිසේනට මෙරට සුලුතර ප්‍රජාවන්හි සහයෝගය නැත. එමෙන්ම ප්‍රජාතන්‍ත්‍රවාදී බලවේගයන්ද ඔහු කෙරෙන් දුරස් වී තිබේ. පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනයා බලමුළු ගැන්වූ මාදුළුවාවේ හිමිවැනි බලවේගයක් නැත. සිරිසේනගේ ජන බලය සීමිතය. එය මැඩෙනු විනා වැඩෙන එකක් නොවේ. දැන් අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී බලවේගද සිරිසේනට එදිරිය.

ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාවට ඔසවා තබන ලද එකී බාහිර සාධක නැතිව ගිය කල ඉතිරිවන්නේ කඩු වැනීමේ, මඩු වලිගයේ, තනපට විරෝධයේ, බියර් විරෝධයේ, දෙමළුන්ගේ බෙලි කැපීම සාධාරණ කිරීමේ, සිවිල් සමාජ විරෝධයේ, අබසරණ ගිය  සහ පවුලට හම්බකර දීමේ සිරිසේන නම් ගමරාළ පමණි.

අප කැමැතිවුවත් නැතත් ශ්‍රී ලංකාව යළි අඳුරු කාල පරිච්ජේදයක් කරා ගමන් කිරීමට පටන් ගෙන තිබේ. එබැවින්ම දුෂ්ඨත්වය කරා හැරවී ඇති ගමන ආපසු හැරවිය හැකිද නැත්ද යන්න අපේ ප්‍රධාන කතිකාව බවට පත්විය යුතුව තිබේ.

 

Archive

Latest news

Related news