Tuesday, May 21, 2024

මේ දෙමළාට සවන් දෙන්න! – සුනන්ද දේශප්‍රිය

මෑත කාලයෙහි මෙරට දේශපානලනයෙහි ස්වකීය නිරවුල් සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී සළකුන නොමැකෙන සේ කෙටූ දේශපාලනඥයෙක් වේද හේ ආර්. සම්පන්දන් නම් වෙයි. ඔහු විසින් පාර්ලිමේන්තුවෙහිදී ද දෙස් විදෙස් ප්‍රධානීන් හමුවෙහිද කරන ලද අදහස් දැක්වීම් මෙරට දෙමළ ජනයාගේ  පමණක් නොව සියළුම ජනයාගේ අයිතීන් සඳහා නගනු ලබන  සාමකාමී සහ ස්ථිරසාර කාහල නාදයකි.

අබසරණකාරකාදීන් විසින් මුස්ලිම් ජනයාට එරෙහිව ගිනි අවුලවමින් තිබියදී පසුගිය 06වැනි දින පාර්ලිමේන්තුවෙහිදී ඔහු විසින් කරනලද කතාවෙන් සිංහලට සකස් කල කොටස් කිහිපයක් පහත පළවේ.

‘ පසුගිය දිනයන්හි සිදුවීම් දෙකක් සිදුවුණා. අම්පාරෙහිදී සහ නුවර දිසාවෙහිදී…..

මෙවැනි සිදුවීම් මීට පෙරදීත් සිදුව තිබෙනවා. එනමුත් දැන් යම් කාලයක්, වෙසෙසින්ම ආණ්ඩු වෙනසින් පසු එවැනි සිදුවීම් අසන්නට ලැබුණේ නැහැ. මා කිව යුතුයි මෙවැනි සිදුවීම් පැහැදිළිවම ප්‍රතික්ෂේප කළ යුතු බව.

මෙම සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ දඩුවම් නොලබා සිටිය හැකි බවට ඇති හැගීමයි. තමන්ට එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදිය හැකි බවත් නීතියේ හස්තය ඔවුන් පසුපස නොඑනු ඇති බවටත් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවනු ඇති බවටත් ඇති බවටත් විශ්වාසයක් ඇති බවයි මෙයින් පෙනෙන්නේ. මේ සිදුවීම්වලින් පස්සේ මොනවා හරි පියවර කිහිපයක් ගැනීම ප්‍රමාණවත් නැහැ. මෙහිදී පැන නගින බරපතල ප්‍රශ්ණය නම් නීතිය ක්‍රියාත්මක තිරීමේ බලාධිකාරියේ භූමිකාවයි.

මා අහන්න කැමැතියි, තමන් මොනවා කරත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ගන්න ගන්නට අවශ්‍ය නැතැයි කියන තත්වයකට අප පැමිණ තිබෙනවාද කියා? නීතියේ පාලනය නොතකා හැරීමෙන් ඇතිවන්නේ ආණ්ඩුකරණයේ අවුල්ජාලාවක්.

මා තවත් ප්‍රශ්ණයක් මතු කරන්නට කැමැතියි.එනම් මෙවැනි සිදුවීම් පිට පිටම සිදුවිමෙන් පෙනී යන්නේ නීතියේ පාලනයේ ප්‍රශ්ණයක් පමණක්ද නැත්නම් ඊට ගැඹුරට ගිය කාරණයක්ද යන්නයි.

මේ රටෙහි සැම පුරවැසියකුටම සමානව සැළකෙනවාද? රාජ්‍යයේ වත්මන් ව්‍යුහය යටතේ සමානාත්මතාවය මත පදනම් වූ යුක්තියක් ලැබෙනවාද? මෙරට ආණ්ඩුකරණය, වත්මන් රාජ්‍ය වහ්‍යුය සකස්වී ඇති අන්දමට, එකිනෙක ප්‍රජාවන්ට අයත්  විවිධ පුරවැසියන්ගේ හැසිරීම කෙරෙහි වෙන වෙනස්   බලපෑමක් ඇති කරන්නේද?

එක් විශේෂ ප්‍රජාවක ජනයාට තමන් උසස්යැයි ද අනෙක් අය පහත්යැයිද හැගීමක් තිබෙන්නේද? අනෙක් පුරවැසියන් දෙවැනි පන්තියේ වන අතර තමන් උත්තරීතර පුරවැසියන් යැයි ඔවුන් සිතන්නේද? මෙය ආරූඩ කළ හැක්කේ කුමකටද? එය රාජ්‍යයේ ස්වභාවයට, රටෙහි ආණ්ඩුකරන ව්‍යුහයට ආරෑඩ කළහැකි නේද?

යම් ප්‍රජාවකට අයත් ජනයා මෙරට සුරක්ෂිත නැත්නම් එම ප්‍රජාවෙන් ඇමැතිවරු හතර පස් දෙනෙකු ආණ්ඩුවේ සිටීමෙන් ඇති ඵලය කුමක්ද? ස්වකීය ජනයාට තිබිය යුතු අයිතීන් ලබා දීමට බැරි නම් එම ප්‍රජාවෙහි අයට බලතල සහිත තනතුරු දීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

වත්මන් රාජ්‍ය ව්‍යුහය යටතේ වත්මන් ආණ්ඩුකරන ක්‍රමය යටතේ එවැනි සුරක්ෂිතබවක් ලබා දිය නොහැකි නම් එම ආණ්ඩුකරණ ක්‍රමය වෙනස් විය යුතුයි. එමගින් මෙරට සියළු ජනයාට තමන් සමානයින්ය යන හැඟීම ලබා දී කිසිදු ප්‍රජාවකට තමන් අනෙකාට වඩා උසස්ය  යන්න නැති කළ යුතුයි.

මාගේ අදහස නම් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හුදෙක් නීතිය සහ සාමය පිළිබද ප්‍රශ්ණයක් නොවන බවයි. එහි ඊට වඩා ගැඹුරු මානයක් තිබෙනවා. එනම් තමන් අනෙකාට වඩා උසස් බැවින් ඔවුන් තමන්ගේ ශ්‍රේෂ්ඨත්වයට යටත් විය යුතු යැයි  සමහර පිරිස් කල්පනා කිරීමයි.  මෙය තුරන් කළ යුතු අදහසක්. මා හිතන්නේ මෙය තමයි මෙම ප්‍රශ්ණයේ ප්‍රධාන හේතුව.

අද අපේ රට මානව හිමිකම් පෙරමුණෙහි ගැටළු ගණනාවකටම මුහුණ දී සිටිනවා. මානව හිමිකම් නීති කෙළෙසීම, අන්තර් ජාතික මානුශීය නීතිය කෙළෙසීම, වගවීම, යුක්තිය සහ සත්‍ය තහවුරු කිරීම යනාදී වශයෙන්. අන්තර් ජාතික ක්ෂේත්‍රයෙහිදීත් ගැටළු ගණනාවකට මුහුණ දී සිටින අප රටට පිළිතුරු බැදීමට ප්‍රශ්ණ බොහෝ ඉදිරිපත්ව තිබෙනවා. ආර්ථික වශයෙන් අප ඉන්නේ අවදානම් තත්වයක. රට මේ සියළුම ප්‍රශ්ණ වලින් ගොඩ ආ යුතුයි.

අප මේ තත්වය ඇතිකරගෙන තිබෙන්නේ කල යුතුව තිබූ දේ  නිසි අවස්ථාවෙහිදී නොකළ  නිසයි. අප එසේ කටයුතු කලා නම් මේ රට මේ තත්වයට පත්වෙන්නේ නැහැ.මෙරටත් සිංගප්පූරුව හෝ තායිලන්තය වැනි සංවර්ධිත රටක් වෙන්න තිබුණා. අනෙක් රටවල් ඉදිරියට යද්දී අප පසුපසට යනවා. එයයි මේ රටේ සිදුවෙමින් තියෙන්නෙ.

අප මෙම තත්වය වෙනස් කළ යුතුයි. අප කල යුතු ප්‍රධානතම වෙනසක් නම් ආණ්ඩුකරන ව්‍යුහය වෙනස් කිරීමයි. එය තමයි මූලික‍. පුද්ගලයින් කිහිප දෙනෙකුට තනතුරු සහ බලතල ලබා දීමෙන් වැඩක් වෙන්නේ නැහැ. සෑම දෙනාගේම අවශ්‍යතාවයන්  සැපිරෙන මූලික ආණ්ඩුක්‍රම වෙනසකුයි අවශ්‍ය.’

Archive

Latest news

Related news