Tuesday, May 21, 2024

ආනමඩුවේ මදීනා හෝටලයට ගහන්න ආවේ O/L, A/L ළමයි. 

ජායාරපය: පැය 18ක් අතුළත ආනමඩුව වෙළද සංගමයේ මූලිකත්වයෙන් ගිනි තැබූ හෝටලය විවෘත කිරීමෙන් පසු.

අන්තර් ජාලය භාවිත කරමින් මාර්තු 10 (ඊයේ) 10pm ට පමණ ආනමඩුව ද.මු.දසනායක ක්‍රීඩාංගනයට රැස්වන ලෙස ‘සිංහල, බෞද්ධ‘ දේශප්‍රේමීන්ට කැදවීමක් ලැබී තිබුණි. ඒ අනුව, පැමිණි පිරිස 21 කි. බහුතරය සා.පෙ., උ.පෙ., ඉගෙන ගන්නා ළමුන් ය. එයින් 7 දෙනෙකු බයිසිකල් දෙකක් හා ස්කුටරයක නැගී මදීනා මුස්ලිම් හෝටලය අසලට පැමිණ එයට ගිණි තබා ඇත.

දැන් ඒ ගිණි තබන්නට පැමිණි 7 න් 4 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි තිදෙනා ද හෙට උදෑසන වන විට අත්අඩංගුවට ගනු ඇත. ඔවුන් සියලු දෙනා පාසල් යන දරුවන්ය. වාසනාවකට සිංහල බෞද්ධයන් 95%කටත් වැඩි ආනමඩුවේ තිබෙන මුස්ලිම් කඩ තුනට ජාතිආලය පැතිරුනේ නැත. ඒ වෙනුවට එකාවන්වන්, පැය 12 කට ත් අඩු කාලයකින් මදීනා හෝටලයට වහලයක් ගසා, කෙටි කෑම ටිකක්, බනිස්, ස්පංචි ටිකක්, කෙසෙල් කැනක් රැගෙන විත් නැවත හෝටලය විවෘත කළේය. උමතුව පරාජය කළේය. සාමුහිකත්වය පෙන්වීය.

මේ කථාව රත්නපුරේ කතාව හා සමානය. රත්නපුරේ සිදුවූයේ එකම එක සිද්ධියකි. හරියටම මුස්ලිම් පූජකතුමා නිදා ගන්නා කාමරයටම ප්‍ර‍හාරය එල්ල විය. පොලිස් නිලධාරියෙකු සිද්ධිය දුටු අතර ඔහුගේ කෑ ගැසීම නිසා මිනිසුන් දිව ආවේය. පැමිණි අය බයිසිකලය දමා පැන ගියේය. බයිසිකලයේ අයිතිකරු අනුව ප්‍ර‍හාරයට පැමිණි උ.පෙ. ළමයා අත්අඩංගුවට ගෙන ඇත. වයස යන්තම් 18 කි. නමුත්, අවුරුදු 4-5 කට පෙර කුරගල ට ගහන්නත් ගිය දරුවෙකි. ඔහුගේ උපදේශකයා මහනුවර ‘අක්කා කෙනෙකි.‘ ඒ අක්කා ‘අර අක්කා‘ ද යන්න ළමයා දන්නේ නැත. අක්කා තවම අසුවී නැති නිසා ‘අක්කා ගේ මල්ලිලා ටික ගැන‘ ද තවම දන්නේ නැත!

2009 යුද්ධය අවසන් වන විට මේ ළමයින්ට අවුරුදු 9-10 කි. යුද්ධය ඔවුන්ට මතක නැත. ආනමඩුවේ ද, රත්නපුරේ ද, කාලකන්නි නරුමයින් විනාශ කර ඇත්තේ මේ මල් වැනි ළමයින් ගේ සිත් ය. මේ වැඩේ පිටුපස සිටින නරුමයින් හදුණා ගැනීම වැදගත්වන්නේ මේ නිසාය. ඇත්තටම, ස්කුටියේ නැගී ගිය සා.පෙ. සිසුවෙකු රටක් ගැන, ජාතියක්, ආගමක් ගැන කුමන නම් අවබෝධයක් නිසා ලක්ෂ ගණනකට කන්නට දුන් වෙළෙදසැලක් ගිණි තබන්නට ඇති ද?

ඉගෙනගන්නවා නම් ආනමඩුවෙන් ඉගෙන ගත හැකි බොහෝ දේ තිබේ!
Keerthi Tennakoon

Archive

Latest news

Related news