Tuesday, July 16, 2024

වාර්ගික ප්‍රචණ්ඩකාරීන් ආගමික සහ වාර්ගික බැදියාවන්ද තරාතිරම සහ පූර්ව විශිෂ්ටතාද නොසලකා නීතිය හමුවට ගෙනෙන්න- ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

ජායාරූපය: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දැකීමේ උද්ඝෝෂන 08 මාර්තු 2018 ©slb photo.

(ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ – මාධ්‍ය නිවේදනය)

පසුගිය දින කිහිපයෙහි විවිධ ප්‍රදේශ තුළ විශේෂයෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පැවතුන ප්‍රචණ්ඩත්වය, පූර්ව සැලසුම් සහිතව සිදු වූ බවට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ විශ්වාස කරති.

මෑතදී ලංකාව පුරා සිදුවූ සිදුවීම් සලකන කළ විශේෂයෙන්ම මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය මගින් ගෙනගිය ප්‍රචාරයන්ද, මෑතකදී පළාත් පාලන මැතිවරණයට පසු සමාජය තුළ ගොඩනැගී තිබූ වෛරී දේශපාලනය තවදුරටත් උත්සන්න වූත් තිව්‍ර වූත් බව අපගේ පිළිගැනීමයි.

මෙම ප්‍රචණ්ඩ, ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් සම්බන්ධව රජය විසින් පියවර ගෙන තිබුන ද රජය විසින් පෙන්නුම් කරන ලද ධෛර්යය හා සාධාරණ මැදිහත්වීම් ප්‍රශස්ත මට්ටමක නොවූ බව අපගේ හැඟීමයි. රජය මෙම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බව පෙනුනද එම ගැටුම් වළක්වා ගැනීමට අපොහොසත් වූ බවද, මෙවැනි වාර්ගික හා ආගමික ප්‍රචණ්ඩ ගැටුම් හටගන්නා විට පූර්ව තොරතුරු රජයේ බුද්ධි අංශ වෙත වාර්තා වන බවද අපි පිළිගනිමු. එවැනි අවස්ථාවන්හිදී තොරතුරු මත නීතිය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයාගේ වගකීම වන අතර, එම වගකීම ඉටු කිරීමට පොලිස්පතිවරයා අසමත්ව ඇති බව රජයේ අවධානයට යොමු කරන්නෙමු.

නීතිඥයින්ද ඇතුළුව සියලු සාමයට ලැදි ජනතාව ආගමික හා වාර්ගික සමඟිය වෙනුවෙන් නැඟී සිටිය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන් වන අප ද ඔවුන් සමඟ සිටින බවත් අවධාරණය කරමු.

එමෙන්ම නීතිඥයන් ඇතුළු සියලුම වෘත්තිකයන්ගේ සංවිධාන ඉදිරියට පැමිණ මෙම තත්ත්වය සමනය කිරීමට හා වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ යුතු බවත්, දීර්ඝකාලීන සංහිඳියාවට ඔවුන්ගේ ඇති කැපවීම තම සාමාජිකයන් සමඟ හා බහු ජන කොටස් සමඟ එක්ව වහාම කටයුතු කළ යුතු බවත් අප පෙන්වා දෙන්නෙමු. රජය විසින් සාමය හා සංහිදියාව ඇති කිරීමට ක්‍ෂණිකව ගන්නා පියවරයන්ට අපගේ කොන්දේසි විරහිත සහය ලබා දෙන බවද දන්වා සිටිමු.

පසුගිය දින කිහිපයේ සිදු වූ ඇති ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වගකිවයුත්තන් ඔවුන්ගේ ආගමික සහ වාර්ගික බැදියාවන් හා පූර්ව විශිෂ්ටතා නොසලකමින් තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම සඳහා අධිකරණයට යොමු කළ යුතු අතර, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත මගින් වෛරී සහගත ප්‍රකාශන සම්බන්ධව ඇති වගන්ති මගින් නඩු පැවරිය යුතු බවත්, මෙම ප්‍රචණ්ඩ රැල්ල පිළිබඳ සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත්, සර්ව පාාක්‍ෂික රැස්වීමක් කැඳවන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ වෙනුවෙන්,
ලාල් විජේනායක
ජේ.සි. වැලිඅමුණ
කේ. එස් රත්නවේල්
සුදත් නෙත්තසිංහ
සුනිල් ජයරත්න
හරිෂ්ක සමරනායක
ප්‍රබෝධ රත්නායක
08 මාර්තු 2018

Archive

Latest news

Related news