Tuesday, July 16, 2024

මා ද අතුළුව මේ ආණ්ඩුවට සමාවට හේතු නෑ! – ජයම්පතී වික්‍රමරත්න

ජයාරූපය: විනාශයට ආණ්ඩුව වගකිව යුතුයි.

ගරු මුලාසනාරුඪ මන්ත්‍රිතුමනි,

පසුගිය සති කීපය තුල රටේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් කීපයක් පිළිබද පවත්වන මේ විවාදයේදී මම කතා කතා කරන්නේ තරමක් හැගීම් බරව.

ඊට හේතුව වන්නේ පසුගිය දිනවල තෙල්දෙණියේ උඩිස්පත්තුව ප්‍රදේශයේ සිදුවූ සිද්ධිය පිළිබද මට විශාල වේදනාවක් නිසා මොකද මම ඉපදුණේ උඩිස්පත්තුවේ. මම පාසල් ගියේ මේ සිද්ධිය වුනු පළාතේ. මං ඉගෙන ගත්තේ උඩිස්පත්තුව ප්‍රාථමික විද්‍යාලයේ. මෙම සිද්ධියට සම්බන්ධ අම්බාල, මැද මහනුවර ප්‍රදේශ අපි තරුණයන් හැටියට සති අන්තයේ ඇවිද්ද ප්‍රදේශ.

මගේ මව තෙල්දෙණිය මහා විද්‍යාලයේ අවුරුදු ගණනාවක් ගුරුවරියක් විදිහට සේවය කලා. ඇයට හැම ජාතියකටම අයිති විශේෂයෙන්ම සිංහල සහ මුස්ලිම් දරුවන් ඇයගෙන් ඉගෙන ගත්තා. මගේ පන්තියේ සිටියා මුස්ලිම් ශිෂ්‍යයෙක්. මට හොදට මතකයි උඩිස්පත්තුවෙ සිට මහරවෙල පහුකරලා ඉස්කොලේ මුදුනට යන හරියෙ එක මුස්ලිම් පවුලක තරුණයෙක් හිටියා ඔහු සාමාන්‍ය පෙල විභාගයේ බුද්ධාගම විෂයට සම්මාන සාමාර්ථයක් ලබාගත්තා.

ඒ පලාත තේ වතු තිබෙන පලාතක් ඒක නිසා විශාල දෙමල ජන සංඛ්‍යාවක් හිටියා, ඒ නිසා තමයි මට යන්තම් මට දෙමළ වචනයක් හරි කතා කරන්න පුලුවන්. උඩිස්පත්තුව නගරයේ ජාතීන් තුනටම අයත් ව්‍යාපාර තිබුණු නගරයක්, කවදාවත් මෙවැනි ප්‍රශ්න ඒ පළාතේ සිදුවුණේ නෑ.

මම උඩිස්පත්තුව, තෙල්දෙණිය, දිගන, හුන්නස්ගිරිය යන ප්‍රදේශ වල පසු කාලයේදී නීතිඥවරයෙකු ලෙස සේවය කළා. ඒ කාලයේ කිසිම දවසක ජාතිවාදී කෝලහාල තිබුණේ නෑ. මීට කලින් ජාතිවාදී කෝලාහල තිබුණු අවස්ථාවල අවම වශයෙන් තමා සිදුවුනේ. මට දැන් වගේ මතකයි උඩිස්පත්තුවේ අපේ ගෙදරට යන පාරේ පොඩි කඬේ කියලා මුස්ලිම් කඩයක් තිබුණා අපි ඒ කඩෙන් තමයි ගෙදරට අවශ්‍ය බඩු ගත්තේ. නමුත් ඒ තිබුණු සාමකාමී තත්වය දින කිහිපයකින් සම්පූර්ණයෙන් වෙනස් වූණා. මේ සිදුවීමෙන් ඇතිවූ සිත් තැවුල් නිසා පෙර පැවති තරම් සාමකාමී තත්ත්වයක් නැවත උදාවෙයි කියලා හිතන්න අමාරුයි.

විශේෂයෙන්ම මා නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම සහ එක්සත් වාමාංශික පෙරමුණේ අපි හැමදාම ජාතිවාදයට විරුද්ධව පෙනී සිටි පක්ෂයක්. ජාතිවාදයට එරෙහිව පෙනීසිටීම හේතුකොට ගෙනම අපට දේශපාලනික වශයෙන් බොහෝ අවාසි සිදුවුනා දේශපාලනමය වශයෙන් . භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපි ගත් ස්ථාවරය නිසා අපිට ඒ කාළේ කිව්වා එන්.එම්. පැටව්, කොච්චි පැටව් කියලා. විශාල වශයෙන් අපි පාඩු වින්දා. නමුත් අපේ ස්ථාවරයේ කිසිම වෙනසක් වුණෙ නෑ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මේ රටේ බොහෝ දෙනා විශ්වාස කලා අඩුම වශයෙන් ජාතික ගැටලුව පිළිබඳව, සංහිදියාව පිළිබඳ යම් වෙනසක් වෙයි කියලා. දැන් අපිට අවුරුදු තුනක් ගිහිල්ලා. අපි තාම සංහිඳියාව ගැන කතා කරනවා, නොයෙකුත් සැලසුම් ඉදිරිපත් කරනවා. ව්‍යවස්ථාව ගැන කතා කරනවා. නමුත් පොළව මත තවම අපිට ඒ සංහිඳියාව ඇති කරගන්න හැකිවෙලා නෑ.

මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්. මේ පිළිබඳ කවර ආණ්ඩුවකට සමාවට හේතු තිබුණත් මේ ආණ්ඩුවට සමාවට හේතු නෑ. 2015 ජනවාරි වලින් පස්සේ, 2015 අගෝස්තු මැතිවරණයෙන් පස්සේ මේ ජාතිවාදී කොටස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක  කරයි කියලා. අපි හිතුවා. එහෙම වෙලා නෑ. ඉතාමත්ම කණගාටුදායක තත්වයක්.

මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා මට කිව්වා ගිංතොට සිදුවීම ඇතිවූ වෙලාවේ එතුමා ඒ පලාතේ නියෝජ්‍ය පොලිස්පතිට කතා කරනකම් ඇතැම් සිද්ධීන් ගැන ඔහු නොදැන සිටි බව. 1994ට පසුව චන්ද්‍රිකා මැතිනිය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නියෝග කර සිටියේ කුමන හෝ ජාතිවාදී අරගලයක් ඇතිවුවහොත් ඔබ එයට වග කියන්න ඕනෑ කියල. එය කීප තැනකදී ඇරෙන්න බොහෝ තැන්වලදී එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුණා.

එක ව්‍යතිරේකයක් තමයි මාවනැල්ල සිදුවීම, එය නැවැත්වීමට හැකියාවක් තිබුණේ නෑ. එය කරන්න බැරි වුනේ එවකට ආණ්ඩුවේ දේශපාලඥයෙක් සම්බන්ධ වුන නිසයි. ඒකාලේ එහෙම කලා නම් අද මේක කරන්න බැරි වෙන්න කිසිම හේතුවක් නෑ. විශෙෂයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ රටේ එකතුවෙලා ඉන්න අවස්ථාවක මේ රජයට සම්බන්ධ වෙලා ඉන්න මාත් ඇතුළු සියලු දෙනාට මේ පිළිබඳ සමාවට හේතුවක් නෑ. ඒනිසා ප්‍රමාදවී හෝ ආණ්ඩුව පැහැදිලි සහ තීරණාත්මක පියවර ගන්න ඕනෑ.

වෛරී භාෂණය පිළිබඳව මෙහිදී අදහස් මතු වුණා. හකීම් ඇමතිතුමා ප්‍රකාශ කලා වෛරී භාෂණය අපරාධයක් විදිහට නියම කිරීමට සංශෝධනයක් ගෙනාපු වෙලාවේ එහි තිබුණේ පරණ ත්‍රස්තවාදය වැලැක්වීම පිළිබඳ පනතේ විධිවිධාන ඒ විදියට කට් ඇන් පේස්ට් කරලා තිබුණේ. එච්චර ඈතට යන්න ඕනනෑ. අපේ අයිසීසීපීආර් (ICCPR) පනත තියෙනවා. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මෙරට නීතියට ඇතුලු කරලා. එහි වගන්තියක් තිබෙනවා එසේ වෛරී භාෂණය පාවිච්චිකළ විට එය අපරාධයක් බව. මහ අධිකරණයේ නඩු අහලා දඩුවම් දෙන්නට මේ රටේ නීතිය තිබෙනවා අඩුම ගාණේ 2015 ජනවාරි 8 න් පස්සේ ඒවගේ නඩු කියක් දැක්කද? එවැනි නඩු පවරනවා දැක්කද? නැහැ. එහෙනම් ප්‍රමාද වෙලා හරි දැන් නීතිය ක්‍රියාත්මක කළයුතුයි. විශේෂයෙන් මේ සිද්ධිය පිළිබඳව.

මේ සිද්ධිය පිළිබඳ මං ගොඩක් කණගාටු වෙනවා එක් පැත්තකින් සිංහල පුද්ගලයෙක් මියගියා. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජාතිකයෙකුගේ ජීවිතය අහිමි වුණා. මේක ඉතාම කණගාටුදායකයි. රටේ නීතිය නැතුව නෙවෙයි. රටේ නීතිය තියෙනවා. ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ. ෆේස්බුක් එකට ගියොත් වීඩියෝ ගණනාවක් තිබෙනවා මේ සිද්ධින් සම්බන්ධයෙන්. එක වීඩියෝවක පුද්ගලයෙක් කියනවා මේ පළාතේ මෙච්චර ප්‍රමාණයක් වත් සිංහල කඩ නෑ කියලා. ඒවා සම්පුර්ණ බොරු. ආඩම්බරයෙන් කියනවා කරපු දේවල් ගැන, කළයුතුව තිබුණ දේවල් පිළිබඳව හා කරන්න ඕනෑ දේවල් පිළිබඳව කිසිම පැකිලීමකින් තොරව කතා කරනවා. එවැනි සාක්ෂි පාවිච්චි කිරීමට තරම් අද නීතිය නවීකරණය කරලා තිබේ නම් එය පාවිච්චි කිරීම තමයි අද කළ යුතුව තිබුණේ.

මම සතුටු වෙනවා කෙටි කාලයකට හෝ හදිසි නීතිය පාවිච්චි කිරීම සම්බන්ධව, ඒ වගේම මම එකඟ වෙනවා මන්ත්‍රිවරු කිහිපදෙනෙක් කිව්වා වාගේ හදිසි නීතිය අවශ්‍ය ප්‍රමාණයට වඩා එකදු දවසක්වත් තබා නොගත යුතු බව . මේ පිළිබඳව එක්පැත්තකින් අපට සමාවට හේතු නෑ. කණගාටුයි කියන්න සමහර මන්ත්‍රිවරුන් මේ ගැන කිඹුල් කඳුලු හෙලනවා. මේ සියලු සිද්ධීන් ආණ්ඩුව මත පටවා ආණ්ඩුව විසින් ඇතිකරපු දෙයක් ලෙස ප්‍රකාශයට පත්වුණා. එය ඉතාම කණගාටු දායකයි. විශේෂයෙන් චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීතුමා කරපු යෝජනාවට මං එකඟ වෙනවා. සියලුම පක්ෂ වල සමාජිකයින්ගේ එකතුවෙන් කමිටුවක් හදලා. මේ කාරණා පිළිබඳ ගැඹුරට සාකච්ඡා කරලා යෝජනා ඉදිරිපත් කරන්න කියලා. මම එයද අනුමත කරනවා. අවාසනාවන්ත සිදුවීම් වලට ගොදුරුවූ සෑම ජාතියකටම අයත් සියලුදෙනාටම හා ඔවුන්ගේ පවුල් වල අයට සහ දේපල නැතිවූ අයට මගේ කණගාටුව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තූතියි.

(රටේ මතු වී ඇති හදිසි තත්වය සම්බන්ධයෙන් 2018/03/06 දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහෝදරයා පලකල අදහස්)

Archive

Latest news

Related news