Wednesday, April 24, 2024

අම්පාර – දිගන කළහකාරී සිදුවීම් රජය හෙළා දකී!

ජායාරෑපය: දිගන ප්‍රහාරකයින් අතර බෞද්ධ භික්ෂූහුද වුහ.

පූජනීය ස්ථාන, නිවාස හා ව්‍යාපාර ස්ථාන සමහරකට හානි සිදු කළ, අම්පාර සහ දිගන ප්‍රදේශයන්හි මෑතදී සිදුවූ සාමය කඩකළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකී.

අන්තර් ප්‍රජා සමගියට බාධා කිරීමේ සහ කළහ ඇති කිරීමේ පැහැදිලි පරමාර්ථයෙන්, මුස්ලිම් සහ අන් ප්‍රජාවන් අතර ද, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි මගින් සමහරුන් විසින් කෙරෙන නොමග යවන සුළු තොරතුරු සහ වෛරශීලීත්වය බෙදා හැරීමට කරන උත්සාහයන් ද රජය දැඩි ලෙස හෙළා දකී.

එවැනි වෛරශීලී සහ සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගෙන් රජය ඉල්ලා සිටී. දශක තුනකට ආසන්න කාලයක් තුළ කලහකාරීත්වයෙන් පීඩාවට පත් රටක් සහ ජාතියක් ලෙස අපි එවැන්නක් යළි යළිත් සිදුවීමෙන් බැහැර විය යුත්තෙමු. අද දින පවත්වන්නට යෙදුණ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලිසියට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමටත්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා අනිකුත් දිස්ත්‍රික් පරිපාලන බලධාරීන් සමඟ එක්ව ප්‍රජාවට අහිතකරව බලපාන කලහකාරී සිද්ධින්ට එරෙහිව වහාම ක්‍රියා කරන ලෙසත් නියෝග කරන ලදී. ප්‍රජා/ ආගමික අසමගිය ඇති කරන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා නීතිය නිර්පාක්ෂිකව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට දැනටමත් ඔවුහු ක්‍රියා කරමින් සිටිති.

අපරාධ කරන්නවුන් හා නීතිය හා සාමය කඩකරන්නවුන්ට එරෙහිව ස්ථිර සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය නොපැකිලේ. සම පුරවැසි අයිතිවාසිකම් රැකෙන ලෙස සියලුම නිදහස් අවස්ථාවන් සෑම කෙනෙකුම භුක්ති විඳින හා විවිධත්වයට ගරු කරන, ස්ථාවර, සාමකාමී සහ ප්‍රගතිශීලී ජාතියක් ගොඩ නැගීම සඳහා සියලුම පුරවැසියන්ගේ සහයෝගය සහ සහභාගීත්වය ජාති ආගම් භේදයෙන් තොරව රජය ඉල්ලා සිටී. පූජ්‍ය පක්ෂය, දේශපාලනඥයින්, සමාජ නායකයින්, සිවිල් සමාජ හා මාධ්‍යයෙන් සමන්විත ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුම ඕනෑම කලහකාරී බවක් ප්‍රතික්ෂේප කොට, සාමය හා සමගිය සංහිඳියාව ඇති කිරීමට සහයෝගය දිය යුතුවේ.

-සුදර්ශන ගුණවර්ධන / තොරතුරු දෙපාර්ථමේන්තුව

Archive

Latest news

Related news