Tuesday, July 16, 2024

පිටු දහසකින් යුතු, රාජපක්ෂ සමයෙහි මුල්‍ය වංචා වාර්තාව ජනපති අතට

රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය ආයතන බො‍හොමයක සිදුවී තිබෙන මහාපරිමාණ මූල්‍ය අක්‍රමිකතා, රාජ්‍ය සම්පත් අවභාවිතය, නැවත ඇති නොවීමට අනුගමනය කළයුතු වැදගත් යෝජනා සහ නිර්දේශ රැසක් ඇතුළත් පිටු 1000ක පමණ විශේෂ අවසන් වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද (02) බාරදීමට නියමිත ආණ්ඩුවේ දිනමිණ පුවත්පත වාර්තා කරයි.

දැන් රාජපක්ෂ සමයෙහි සිදු කරුණු දූෂණ පිළිබඳ වාර්තා 34ක් ජනාධිපති සිරිසේන අත තිබේ.

කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත අද දින ඉහත කී වාර්තාව බාරදීම සිදු කරනු ඇත.

ඒ හා සමඟම රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ආයතන 17ක සිදුවී තිබෙන මහා පරිමාණ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ සිදුකෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵල හා නිර්දේශ ඇතුළත් වාර්තා 17ක් ද කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත බාරදෙනු ලැබේ.

එම වාර්තා 17ට අදාළ ආයතන 17 මෙසේය.

1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව.

2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව.

3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව.

4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව.

5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව.

6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව.

7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව.

8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව.

9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව.

10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව.

11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව.

12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව.

13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව.

14. සතොසට අදාළ වාර්තාව.

15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව.

16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව.

17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව.

මෙම වාර්තා 17 සමඟ ජනාධිපතිවරයා වෙත මේ වනවිට ලබාදී තිබෙන රාජ්‍ය ආයතන සම්බන්ධ වාර්තා සංඛ්‍යාව 34කි. මෙම වාර්තාව ලබාදීමේ අවස්ථාවට කොමිසමේ සෙසු සාමාජිකයින් වන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහත්වරු සමඟ හිටපු විගණකාධිපති පී. පේමතිලක මහතා ද සහභාගි වෙති.

Archive

Latest news

Related news