Monday, May 20, 2024

කේජීබී කුරුමිනියා සහ අතුරුදහන් වීරෝධාර මුර දේවතා හමුදාව

ජායාරූපය: ජනාධිපති පූටින් සහ අලුත්  විජිතවාදය.

රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ කොළ ගෙන්වීම තහනම් කර තිබේ. මෙයට හේතුව නම් කැප්රා නම් කුරුමිනියෙකු ලංකාවෙන් එරටට ගිය තේ තොගයක සිටීම බව කියැවේ. මේ කුරුමිනියාට කැප්රා කියා කීවාට උගේ පෙළපත් නාමය හෙවත් විද්‍යාත්මක නාමය ට්‍රොගොඩෙර්මා ග්‍රැනේරියම් යන්නය. තේ තහනම ගැන මුලින් ලැබුනු කතා වලට වඩා පසුව ලැබුනු සවිස්තර කතා එමට ය. එකක් ඇස්බැස්ටෝස් ගැනය. අනෙක රුසියානු යුද නැව් කබලක් ගැනය. කොහොම නමුත් දැන් දැන් පේන්නේ කුරුමිනියා යනු එක්තරා සංඛේතයක් පමණක් බවය. තාමත් අපේ අය මේ සංඛේත පණිවුඩය හරියට කියවා ගෙන නැතිවා වාගේ ය. අපට තේරෙන විදිහට මේ සංඛේතය අපි විග්‍රහ කර ගත්තේ මෙහෙම ය.

කැප්රා යන නම පටන් ගන්නේ ඉංග්‍රීසි ‘කේ‘ අකුරිනි. ට්‍රොගොඩෙර්මා යන වචනය වරහන් ඇතුලට දමා ග්‍රැනේරියම් යන වචනයෙ මුල් ‘ජී‘ අකුරක් කෘමියා හැඳින්වෙන බීට්ල් වචනයේ මුල් ‘බී‘ අකුරත් එකට පුරුද්දා ගත් කළ මේ කුරුමිනියා වූ කලී ‘කේජීබී‘ කාරයෙකි.

රුසියානු ජනාධිපති පුටින් ද ජනාධිපති රස්සාවට කලින් කේජීබීයේ ලොක්කා ලෙස කලක් කටයුතු කළ නිසා කුරුමිණියාත් පූටිනුත් අතර සම්බන්ධයක් ඇතැයි සිතන්නට ඕනෑ තරම් කරුණු තිබේ.

රාජ්‍ය තාන්ත්‍රිකයෝ හෙවත් ඩිප්ලොමැටික් ප්‍රජාව බොහෝ දෙනා කියන්නේ කෙලින් නොව ව්‍යංගයෙනි, හෙවත් වට වංගුවෙනි. ඒ කියන දෑ හැම මැට්ටාටම තේරෙන්නේ නැත. ඒවා තේරෙන්නේ වෘත්තීය ඩිප්ලොමැට්ටන්ටම පමණි.

ලංකාවේ අපි හැමදාම පරාණ බයෙන් උන්නේ සීඅයිඒ කාරයන්ට ය. අයිආර්සී කාරයන්ට බය නැති සීඅයිඩී කාරයන් පවා සීඅයිඒ කාරයන්ට බය ය. ඒ කාලේ ජේවීපී කාරයන් පහේ කමිටු හදද්දී අපේ වමේ අය කීවේ ජේවීපී යනු සීඅයිඒ කෙමනක් කියා ය. අපි හැමදාමත් සීඅයිඒ එක ගැන උනන්දු වුනා මිස කේජීබී එකක් ගැන උනන්දු වුනේම නැත. ඒත් දැන් කේජීබී කුරුමිණියෙකු දැන් අපට කෙළලා තිබේ.

මෙවැනි ජාතික විපතක් අර්බුදයක් විදේශීය කුමන්ත්‍රණයක් හමුවේ වෙනදා කාටත් පෙර පාරට පණින ‘ජාතියේ මුර දේවතා හමුදාව‘ කොයි ගියේ ද?

ෆීල්ඩ් මාර්ෂල් බෙංගමුවේ ආලවක, විශ්‍රාමික ජෙනරාල් මුරුආනා, ජෙනරාල් නානසාර, බ්‍රිගේඩියර් ඉත්තෑකන්දේ, බ්‍රිගේඩියර් බෙල්ලන්විල, කර්නල් ඇල්ලේ, මේජර් මැදගොඩ, මේජර් අතුරලියේ, මෑතකදී බැඳුනු කැප්ටන් ඉත්තෑපානේ වැනි වීරෝ දාර විරුවන් දැන් ඉදිරියට ආ යුතුය. පසුගිය සමයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවූ ජවයෙන්ම නොහොත් සිල් රෙදි උපාසකප්පුලා වෙනුවෙන් පාත්තර සන්නද්ධව පාරවල් දිගේ පැරේඩ් ගිය ජවයෙන් වහාම ගොස් කොළඹ රුසියානු තානාපති කාර්යාලය වැටලිය යුතුය. අඩුපාඩුවකට ඕනෑම නම් වරක් ඇමරිකානු තානාපති කාර්යාලය වටලන්නට පන්සලේ අලියා ද දක්කාගෙන ගිය ගංගාරාමේ පිස්තෝල පොඩ්ඩාව ද රැගෙන යා හැකිය. කහ රෙදි හමුදාව තාමත් පාරට නොබැස්සේ ඔවුන්ගේ අණ දෙන නිලධාරියා වූ ගෝඨාභය සෙන්පතියා මේ දිනවල ඇමරිකාවට ගොස් සිටින නිසාදැයි නොදනිමු. එසේ නැතිනම් ඒ වෙනුවට ඔහුගේ අයියන්ඩිය වූ හිටපු සේනාධිනායකයාගේ අණ ලැබෙන තුරුද වන්නට පුළුවන.

ඇත්තම කිව්වොත් මේ ඔක්කොම තක්කඩි ය. එකෙකුට රටක් ජාතියක් ගැන අබමල් රේනුවක සාංකාවක් නැත. ඔක්කොම කුරන්නේ මහ තක්කඩියාට ඕනෑ දේ ය. පාරට බසින්නේත් ආපසු හැරී කඳවුරු වලට යන්නේත් මහ තක්කඩියාගේ අණ දීම පරිදි ය. නැත්නම් අඩුම තරමින් පුටින්ගේ හිත හරියන්නට කියා බෝධි පූජාවක්, සත්‍යක්‍රියාවක්, සෙත් කවියක් වත් කියන්නට බැරිද? නැතිනම් අඩුම තරමින් දුක් ගැනවිල්ල කියා පෙත්සමක් අත්සන් කරන්නටවත් බැරිද?

මේකට නැති වුනාට ආණ්ඩුව මක බෑ වේවා කියා සීනි ගම දේවාලයේ පොල් ගහන්නට යන්නට නම් ඕනෑ තරම් සිටියහ. පොල් ගැසූවන් නොදැන සිටි තත්ත්වය නම් රාජ්‍යය යනු ජනතාව හෙවත් තම තමන්ම බවය. රජයේ පොල්වත්තකින්ම හොරෙන් කඩා පොල් ගැහීමේ ප්‍රථිපල දැන් දැන් ඇස් ඉදිරිපිටම පෙනේ. පොල් ගෙඩියක් රුපියල්ම එකසිය විස්සකි. තේ තහනම නිසා රටේ ආර්ථිකයට වැදී ඇත්තේ මරු පහරකි. සීනිගම දෙවොල් දෙවියන් ඉල්ලූ දේ හරියටම ඉටු කර දී ඇති සෙයකි.

-අඤ්ඤතරා පුත්ත- LeN

Archive

Latest news

Related news