Monday, May 20, 2024

උපත්පාලන කොපු , ඒච්අයිවී සහ සංස්කෘතිය- ‍‍සුනිල් ජයසේකර

මේ රටේ දැනුවත් පුරවැසියන් තමන්ගේ ණැන පමණින් මෙන්ම හදවතට ද යොමුව විමසා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම් නූතන දියුණුවට සාපේක්ෂව රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරිගාමී වී තිබේද යන්නය. අතීතයට සාපේක්ෂව අප බොහෝ කරුණු වලට අදාළව ඉහළ ප්‍රගතියක් අත්කරගෙන සිටිය හැකිමුත් සමාජයේ මුල් බැසගෙන ඇති පසුගාමීත්වය හා සමාජයක් ලෙස අප වෙලාගෙන ඇති කුහකත්වය තුළ ඇතැම් ප්‍රශ්න පිළිබඳව විවෘතභාවයක් නොදැක්වීම යන කරුණු සැලකීමේදී අද අපි ජීවත් වන්නේ අපගේ අතීත මුතුන් මිත්තන්ට ද වඩා බොහෝ සෙයින් පසුගාමී මානසිකත්වයක බව තේරුම්ගත හැකිවනු ඇත.

මෙම තත්වය වඩාත් සංකීර්ණ කර ඇත්තේ හුදු සම්මත සදාචාරයට අදාළ කරුණු කාරණා වලදී ය. එය වඩා භයානක වන්නේ සෞඛ්‍ය තත්නයන් හා අදාළව ඒ හා බැඳුණු කරුණු තුළදී ය. අද මේ කරුණ මතුකරලන්නට හේතු වූයේ මේ රටේ ඒඞ්ස් රෝගී ව්‍යාප්තියට අදාළව මේ දිනවල මාධ්‍ය තලයේ පළවන පුවත් පිළිබඳව අවධානය යොමුකිරීමේදී ය. අද පළව ඇති එක් පුවතකට අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ඒඞ්ස් ආසාධිතයන් 2766 දෙනෙකු හඳුනාගෙන තිබේ. 2016 සැප්තැම්බර් මස 21 වනදා වනවිට මේ රටේ හඳුනාගෙන සිටි ඒඞ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 2436 ක් වූ තත්වයක් තුළ වසරකදී එකී සමාජයට එක් වී ඇති සාමාජිකයන්ගේ සංඛ්‍යාව 330 ක් පමණ වී තිබේ. ඒ අනුව සාමාන්‍යයෙන් සෑම දිනකදීම එක් රෝගියෙකු බැගින් හඳුනාගන්නා තත්වයක ශ්‍රී ලංකාව පවතී. ශ්‍රී ලංකාව තවමත් සාපේක්ෂ වශයෙන් ඒඞ්ස් රෝගයේ ව්‍යාප්තිය අඩු රටක් වශයෙන් සැලකුව ද මේ වනවිට ඊට අදාළව රට තුළ පවත්නා තත්වය පිළිබඳව කිසිසේත්ම සතුටුවිය නොහැකිය.

එසේ කීමට සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ජනසමාජය විවෘතවම මේ ප්‍රශ්නය දෙස අවධානය යොමුකරන්නේ නම් හා කුහකත්වයෙන් හා පටු සාදාචාරවාදී කෝණයන්ගේ මේ ප්‍රශ්නය දෙස නොබලන්නේ නම් ශ්‍රී ලංකාව තුළ ඒඞ්ස් රෝගයේ ව්‍යාප්තිය දැනට වඩා ප්‍රශස්ත මට්ටමකින් අඩුකරගැනීමට ඇති හැකියාව සලකා බැලීමේදී ය. එහිදී සමාජයක් ලෙස අප පටු හා කුහක ආකල්පයන්හි එල්ඹගෙන සිටින්නේ ය යන උපකල්පනයට අදාළව යම් පැහැදිළි කිරීමක් ද සිදුකළයුතුව තිබේ. එහෙත් ඊට පෙර ඒඞ්ස් රෝගය බෝවීම හා ව්‍යාප්තිය කෙරෙහි බලපාන සාධක පිළිබඳව ද යම් අවබෝධයක් ලබා තිබීම ද වැදගත් වනු ඇත. සාමාන්‍යයෙන් අප එච්.අයි.වී ඒඞ්ස් හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා රෝගය වැළඳීම කෙරෙහි හුදු ලිංගික ක්‍රියාකාරකම් හේතුවන බව පිළිගැනීම සහේතුක වුවත් එය හුදු ලිංගික ක්‍රියාකාරකම් නිසා පමණක් ගොදුරු වියහැකි රෝගයක් ලෙස තේරුම් ගැනීම ද ඉතා වැරදිය. ඒ කෙසේවෙතත් ලෝකයේ ඒඞ්ස් ව්‍යාප්තිය හා ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ ඇති සබඳතාවය සළකා බැලීමේදී අද බොහෝ දෙනෙක් මේ රෝගය කෙරෙහි මෙන්ම රෝගීන් දෙස බලන්නේ ද වපර ඇසකිනි.

ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනෙක් සම්මත සදාචාරාත්මක මිනුම් දඬුවල සිරවී කුහක ආකල්ප පෙරටු කරගනිමින් ඊට විසදුම් ලබාදෙන්නට උත්සාහ කරන්නේ එවන් තත්වයක් තුළ ය. මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසය විමසා බැලීමේදී ලිංගිකත්වය හා ලිංගික කරුණු පිළිබඳව පොදු ඒකමතිකභාවයක පිහිටා කටයුතු කළ යුගයක් පිළිබඳව සාර්ථක උදාහරණ දක්නට නොලැබේ. එක් එක් සංස්කෘතීන්ට මෙන්ම ආගම් හා විශ්වාසයන්ට අනුව යම් යම් සීමාවන් හා ආචාරධර්ම පනවාගෙන ඇතත් ජෛව ලෝකය හා ලිංගිකත්වය අතර ඇත්තේ නොබිඳියහැකි බැදීමකි. ඒ අනුව පිළිගත් සදාචාරයන්ට අනුගත සමාජයක් ගොඩනැගීම හා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු මග පෙන්වීම් මෙන්ම දිරි ගැන්වීම් ද සිදුකරන අතරතුර විශ්ව සාධාරණ මානව අවශ්‍යතා කෙරෙහි ගරු කිරීමට ද සමාජයක් ලෙස අප කටයුතු කළයුතුය.

එහෙත් ඒ වෙනුවට අප අතරේ සිටින බොහෝ දෙනෙක් අනුබල දෙමින් සිටින්නේ කෙබදු ආකාරයේ ප්‍රවණතාවයන්ට ද? ලිංගික ශ්‍රමිකයන් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු උසාවිය හමුවේ අදාළ චෝදනා තහවුරු කිරීම සඳහා උපත්පාලන කොපු ඉදිරිපත් කරන රටක උපත් පාලන කොපු ස්වයංක්‍රීයව ලබාදෙන යන්ත්‍ර කඩා පොඩි පට්ටම් කර විනාශ කරන මානසිකත්වයකින් යුත් පිරිස් බහුල රටක, එවන් ක්‍රියාවන්ට අනුබල දෙන ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති රටක ඒ රෝගය මේ තරම් හෝ පාලනය වී තිබීම පිළිබඳව ඇත්තටම අප සතුටු විය යුතුය.

සමාජයක් ලෙස අප එසේ පෙළඹෙන්නේ ඇයි? එවැනි ක්‍රියාවන්හි නිරත පිරිස් කෙරෙහි වීරත්වයක් හෝ අනුකූලත්වයක් දක්වන්නේ ඇයි? සත්‍යවශයෙන්ම සංස්කෘතික හෝ ආගමික සදාචාරාත්මක ඉගැන්වීම් වලට බලහත්කාරයෙන් කොටුකර තබා පවත්වාගත හැකි සමාජයක් කෙරෙහි ඇති විශ්වාසය නිසාද? නූතන ලෝකය උපත්පාලන කොපු යොදාගන්නේ එහි මුල් අරුතට අනුගත වීම සඳහා පමණක්ම ද? එමගින් ලිංගික රෝග පාලනය කිරීමට ඇති හැකියාව අප නොපිළිගන්නේ ද? එසේ නම් අද සංස්කෘතික හා සදාචාරාත්මක ආකල්පයන්හි පටු ලෙස එල්ඹ සිටිමින් අප අතරේ සිටින බොහෝ දෙනෙක් සිදුකරමින් සිටින්නේ බරපතළ රෝග තත්වයක් පාලනය කිරීම සඳහා ඉවහල් වන ක්‍රියාවලීන් ට එරෙහි වීමක් නොවන්නේද? නූතන දියුණුවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරිගාමී වන්නේ ද යන ප්‍රශ්නය නගන්නට සිදුවන්නේ මෙවන් තත්වයන් සැලකීමේදී ය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news