Monday, May 20, 2024

මේ වෙලාවෙ මේක ගේන්ඩ හොඳ නෑ කියන-එක… – බණ්ඩාගේ වාක්කිය

 

‘මේ වෙලාවෙ මේක ගේන්න හොඳ නෑ’ කියන-එකම තමයි මේ දවස්වල අබිලිංගෙ කඩේ මාත්තුරුකාව. මයික් විජේගෙ මායියා කරෝල කෑල්ලක් ගේන්ඩ කියද්දිත් ‘මේ වෙලාවෙ මේක ගේන්ඩ හොඳ නෑ’ කියලා මිනිහා මඟෑරලා! බලං ගියාම මේ කියමන විවිදප්පරකාර වැඩවලට පාවිච්චි වෙනවා නෙවැ!

“’මේ වෙලාව’ කියල අදහස් කරන්නෙ මොකද්ද මලේ?”

“තමන් අකමැති ඕනෑම දෙයක් ගේන්ඩ කියල කවුරු හරි කීවොත්, අන්න ඒ වෙලා‍ව.”

“ඒ අකමැති දේ හොඳද නරකද කියන-එක අදාළ නැද්ද?”

“නෑ නෑ… හොඳ උණත් නරක උණත් අකමැති නම් එච්චරයි.”

“’මේක’ කියල අදහස් කරන්නෙ මොකද්ද?”

“මයික් විජේට නං කඩේං ගේන බඩු. මායියා මොනවා ගේන්ඩ කීවත් සල්ලි යන්නෙ විජේගෙ පොකැට්ටුවෙං නෙවැ.”

“එතකොට අනික් උදවියට?”

“ඒ කියන්නෙ හාමුදුරුවන්ටද?”

“ඔව්. ඒත් එක පිරිසක් තමයි. ඒ අය මේක කියල අදහස් කොරන්නෙ මොකද්ද?”

“වියස්තාව.”

“මේ වෙලාවෙ හොඳ නෑ කියන්නෙ ඇයි?”

“ආයෙ යුද්දයක් එන තුරු.”

“දෙයිහාන්දුරුවනේ! යුද්දෙං මිනිස්සු මැරෙනවා නෙවැ!”

“මැරෙන්නෙ ජාති ද්‍රෝහියෝ –

මරන්නේ රණ විරුවෝ.”

“ඉතිං ඒක හොඳයිද? කොයි පැත්තෙනුත් මැරෙනවා නෙවැ.‍ මරණය කාටත් එකයි. රණ විරුවොත් මැරෙනවා. ද්‍රෝහියොත් මැරෙනවා.”

“මැරෙන කොට තමයි පන්සල්ඔලට වැඩ තියෙන්නෙ.”

“ඒ කීවෙ?”

“රණවිරුවන්ට සෙත් පතා දිගටම බෝදිපූජා. මිය ගිය රණවිරුවන්ට පිං පිණිස පන්සලට ආදාර… රටේ උරුමය ගැන කතා කරන්න හැම තැනින්ම ආරාදනා… කීයක් නං දේවල්ද?”

“දෙයිහාන්දුරුවනේ! මේ වෙලාවෙ මේක ගේන-එක හොඳ නෑ කියන-එකේ තේරුම දැනුයි හරියටම දැනුණේ.”

කතාබහෙන් පස්සෙ නිමලෙගෙයි මගෙයි ඇගේ මවිල් කෙළින් වෙලා, දාඩිය දාන්ඩ පටන් ගත්තා.

“මේ වෙලාවෙ මේක ගේන්ඩ හොඳ නෑ.”

අපි දෙන්නා ඕක මතුරමින් සැල්ටොංගෙ බාර්රේක පැත්තට ගෑටුවා. හිතට සහනයක් ගන්ඩ. එතෙන්ට ගියාම තමයි රට ජාතිය ආගම ගැන බොක්කෙම්ම කතා කොරන්ඩ පුළුවන්නෙ. බොරුද මං අහන්නෙ?

– සිළුමිණ

Archive

Latest news

Related news